2.
උදුම්බරික සීහනාද සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී:
එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරට නොදුරු නොළං තන්හි වූ ගිජුකුළු පව්වෙහි වැඩ වසන සේක. එ සමයෙහි න්‍යග්‍රෝධ නම් පිරිවැජි තෙමේ තුන් දහසක් පමණ වූ මහත් පිරිවැජි පිරිසක් හා උදුම්බරිකා දේවියගේ පිරිවැජි අරමෙහි වෙසෙයි. එ කල්හි සන්‍ධාන නම් ගෘහපති භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස ඉරමුදුන් වේලෙසහි රජගහ නුවරින් නික්මිණ. එ කලැ ඔහුට ‘තව ම භාග්‍යවතුන් වහන්සේ දක්නට නො කල් ම ය. භාග්‍යවතුන්වහන්සේ චිත්ත විවේකයෙන් වැඩ ඉන්නා සේක. සිත වඩන භික්‍ෂූන් ද දක්නට කාලය නො වේ. සිතවඩන භික්‍ෂූහු චිත්ත විවේකයෙන් උන්නාහු වෙති. උදුම්බරිකා දේවියගේ පිරිවැජි අරමට, න්‍යග්‍රෝධ පිරිවැජියා කරා ගියෙම් වීම් නම් යෙහෙකැ යි මේ සිත විය.
2. එ කල්හි සන්‍ධාන ගෘහපති තෙම උදුම්බරිකා දේවියගේ පිරිවැජි අරම කරා, න්‍යග්‍රෝධ පිරිවැජියා වෙතට ගියේ ය. එ සමයෙහි න්‍යග්‍රෝධ පිරිවැජි තෙම උන්නාදී වැ ඝෝෂයෙන් යුක්ත වැ උස් හඬ මහ හඬ ඇති වැ, මහත් පිරිවැජි පිරිස හා රාජකථා, චෝරකථා, මහාමාත්‍යකථා, සේනාකථා, භයකථා, යුද්ධකථා, අන්නකථා, පානකථා, වස්ත්‍රකථා, මාලාකථා, ගන්‍ධකථා, ඥාතිකථා, යානකථා, ග්‍රාමකථා, නිගමකථා, නගරකථා, ජනපදකථා, ස්ත්‍රීකථා, පුරුෂකථා, සූරකථා, විසිඛාකථා, කුම්භස්ථානකථා, පූර්‍වප්‍රේතකථා, නානාත්‍වකථා, ලෝකාඛ්‍යායිකා, සමුද්‍රාඛ්‍යායිකා, ඉතිභවාභවකථා යන මේ කථා හෝ මෙ බඳු වූ තිරශ්චීන කථා කියමින් හුන්නේ වෙයි. න්‍යග්‍රෝධ පිරිවැජි තෙම එන්නාවූ සන්‍ධාන ගෘහපතියා දුටුතේ ය. දැක ‘භවත්හු නිහඬ වෙත් වා. භවත්නි, ශබ්ද නො කරවු. මහණ ගොයුමන්ගේ සවු වූ මේ සන්‍ධාන ගෘහපති එයි. මහණ ගොයුමන්ගේ සවු වූ සුදු වත් හඳිනා, යම් පමණ ගිහි කෙනෙක් රජගහ නුවරැ වෙසෙත් ද, මේ සන්‍ධාන ගෘහපති ඔවුන්ගෙන් එක්තරා කෙනෙක. මේ ආයුෂ්මතුන් නිහඬ බව කැමැත්තෝ ය, නිහඬ බව්හි හික්මුණෝ ය, නිහඬ බවේ ගුණ කියන්නෝ ය. නිහඬ පිරිස දැන මෙහි එළැඹියැ යුතු යැ යි සිතුවොත් යෙහෙකැ” යි කියා සිය පිරිස නිහඬ කෙළේ ය. මෙසේ කී කල්හි ඒ පිරිවැජියෝ නිහඬ වූහ.
3. එ කල්හි සන්‍ධාන ගෘහපති න්‍යග්‍රෝධ පිරිවැජියා කරා එළඹියේ ය. එළැඹ න්‍යග්‍රෝධ පිරිවැජියා හා සතුටු විය. සතුටු විය යුතු සිතැ රැඳැවිය යුතු කථාව අවසන් කොට එකත් පසෙක හුන්නේ ය. එකත් පසෙක හුන්නාවූ ම සන්‍ධාන ගෘහපති තෙම න්‍යග්‍රෝධ පිරිවැජියාට මෙය කී ය: “මේ භවත් අන්තොටු පිරිවැජියෝ එක්තැන් ව එක්රැස් ව ඝෝෂා ඇත්තාහු, උස් හඬ මඟ හඬ ඇත්තාහු, රාජකථා ... ඉතිභවා භව කථා යන මේ හෝ මෙබඳු වූ අනේකවිධ තිරශ්චීන කථාහි යෙදුණාහු අන් සැටියෙකින් වෙසෙත්. ඒ භාග්‍යවතුන් වහන්සේ ස්වල්ප භඩ ඇති, මඳ භඩ ඇති, ජනවාත රහිත වූ, හුදෙකලා වැ කරන කටයුතුවලට සුදුසු වූ, ඒකීභාවයට යෝග්‍ය වූ අරණ්‍ය වනප්‍රස්ථයන්, ගොදුරු ගමට දුරැ සෙනසුන් සෙව්නාහු අන් සැටියෙකින් ම වෙසෙත්” (යනුයි).
මෙසේ කී කල්හි න්‍යග්‍රෝධ පිරිවැජි තෙම, සන්‍ධාන ගෘහපතියාට මෙය කී ය: “එසේ නම් ගැහැවිය දැන ගන්න. මහණ ගොයුම් කවරකු හා කතා බස් කෙරේ ද? කවරකු හා සාකච්ඡාවට බස්නේ ද? කවරකු හා උතුරු පිළිතුරු කතායෙන් ප්‍රඥාව්‍යක්තතාවට පැමිණේ ද? මහණගොයුම්හුගේ ප්‍රඥාව ශූන්‍යාගාරයන්හි ම නටුයේ ය. මහණ ගොයුම් අවිසාරද බැවින් පිරිස් මැදට බස්නට නො හැක්කේ ය. ආලාපසංලාපයට සමත් නො වෙයි. ඇඟේ කිසිවක් හැපෙතැ යි මඟ හැර හැර යන එකැස් කණ දෙනක සේ ප්‍රශ්න අසතැ යි බියෙන් ගමින් බොහෝ දුරැවූ සෙනසුන් සෙව්නේ ය. එබැවින් දැනගනුව, ගැහැවිය, මහණ ගොයුම් මේ පිරිසට ආවොත් එක් ප්‍රශ්නයෙන් ම ඔහු යටපත් කරන්නමු, හිස් කළයක් (ඒ මේ අත පෙරළා බැඳ තබන්නාක්) සෙයින් වාද කථායෙන් බැඳ තබන්නෙමු” (යනු යි).
4. භාග්‍යවතුන් වහන්සේ මනුෂ්‍ය විෂය සීමා ඉක්මි පිරිසිදු දිවකන් නුවණින් සන්‍ධාන ගෘහපතිහු න්‍යග්‍රෝධ පිරිවැජියා හා කැරෙන මේ කථාසංලාපය අසා වදාළසේක. ඉක්බිති ගිජුකුළු පව්වෙන් බැස, සුමාගධා පොකුණු තෙරැ වූ මයුරනිවාප නම් තැනට වැඩි සේක. වැඩ එහි සුමාගධා පොකුණු තෙරැ මයුර නිවාපයෙහි එළිමහනෙහි සක්මන් කළසේක. න්‍යග්‍රෝධ පිරිවැජි තෙම සුමාගධාතීරයෙහි මයුර නිවාපයෙහි එළිමහනැ සක්මන් කරන භාග්‍යවතුන් වහන්සේ දිටී ය. දැක සිය පිරිස බණවා, ‘භවත්හු නිහඬ වෙත් වා. භවත්නි, ශබ්ද නො කරවූ. මේ ශ්‍රමණ ගෞතම තෙමේ සුමාගධාව තෙරැ මයුර නිවාපයෙහි පිළිමිහනැ සක්මන් කෙරෙයි. ඒ ආයුෂ්මත් තෙමේ නිහැඬියාව කැමැත්තේ, නිහඬ බවැ ගුණ කියන සුලු ය. මෙ පිරිස නිහඬ වැ ඉඳිනාහු දැන එළැඹියැ යුතු කොට සිතුයේ වී නම් ඉතා යෙහෙක. ඉදින් ශ්‍රමණ ගෞතම තෙමේ මෙ පිරිස කරා ආයේ වී නම්, ‘වහන්ස’ භාග්‍යවතුන් වහන්සේ යම් දහමෙකින් ශ්‍රාවකයන් හික්මවන සේක්ද භාග්‍යවතුන් වහන්සේ විසින් යම් දහමෙකින් හික්මවන ලද සව්වෝ සතුටට පැමිණියාහු උත්තම නිඃශ්‍රයයක්, ආදිම බ්‍රහ්මචර්‍ය්‍යක් (ලොවුතුරා මඟක්) තමන් සතුටට කාරණ යැ යි) පිළින කෙරෙත් ද, භාග්‍යවතුන් වහන්සේගේ ඒ ධර්‍මය කවරේ වේ ද?’යි මේ පැණය විචාරන්නමු’ යි කී ය. මෙසේ කී කලැ ඒ පිරිවැජියෝ නිහඬ වූහ.