9.
මහා සතිපට්ඨාන සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක භාග්යවතුන් වහන්සේ කුරු රටැ කල්මාෂදම්ය නම් යම් නියම් ගමෙක් වී ද එහි වැඩ වෙසෙන සේක. එහි දී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි මහණුන් ඇමැතූ සේක. ‘පින්වතුන් වහන්සැ’ යි ම එ මහණහු ඔබට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ මේ (මතු දැක්වෙන) දහම වදාළ සේක:
2. “මහණෙනි, සතර සීවටන් (සතිපට්ඨාන) නම් වූ යම් දහමෙක් ඇද්ද, මෙය සත්වයන්ගේ පිරිසිදුව පිණිස ද, සෝවලප් ඉක්මෙනු පිණිස ද, දුක්දොම්නසුන් දුරුවනු පිණිස ද, අරී අටැඟි මඟට පැමිණෙනු පිණිස ද, නිවන් පසක් කරනු පිණිස ද එක් මැ මඟ වෙයි. ඒ කවර සීවටන් කෙනෙක් ද? යත්: මහණෙනි, මෙ සස්නැ මහණ තෙමෙ කෙලෙස් තවන වැර ඇති ව, මනා නුවණ ඇති ව, එළැඹැ සිටි සිහි ඇති වැ, ලොව (සිරුර) කෙරෙහි අභිධ්යාව (කාමච්ඡන්දය) ද, දොම්නස (ව්යාපාදය) ද, (සෙසු නීවරණ ද) (තදඞ්ග වශයෙන් ද විෂ්කම්භණ වශයෙන් ද) සන්හිඳුවා කයෙහි කායානුපස්සී වැ (කරජ කය අනිත්යාදි වශයෙන් නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ) වෙසෙයි.
කෙලෙස් තවන වැර ඇති ව, මනා නුවණ ඇති වැ, එළැඹැ සිටි සිහි ඇති වැ, ලොව (වේදනාවන්) කෙරෙහි අභිධ්යාව (කාමච්ඡන්දය) ද, දොම්නස (ව්යාපාදය) ද (සෙසු නීවරණ ද) (තදඞ්ග වශයෙන් ද විෂ්කම්භණ වශයෙන් ද) සන්හිඳුවා, වේදනාවන්හි වේදනානුපස්සී වැ (වේදනාවන් අනිත්යාදි වශයෙන් නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ) වෙසෙයි.
කෙලෙස් තවන වැර ඇති වැ, මනා නුවණ ඇති ව, එළැඹැ සිටි සිහි ඇති ව, ලොව (චිත්තය කෙරෙහි) අභිධ්යාව (කාමච්ඡන්දය) ද, දොම්නස ද (ව්යාපාදය ද) (සෙසු නීවරණ ද තදඞ්ග ප්රහාණ විෂ්කම්භණ ප්රහාණ වශයෙන්) සන්හිඳුවා සිතෙහි චිත්තානු පස්සී වැ (සිත් අනිත්යාදි විසින් නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ) වෙසෙයි.
කෙලෙස් තවන වැර ඇති ව, මනා නුවණ ඇති ව, එළැඹැ සිටි සිහි ඇති වැ, ලොවැ (නීවරණාදි ධර්මයන් කෙරෙහි) අභිධ්යාව ද (කාමච්ඡන්දය ද) දොම්නස ද (ව්යාපාද නීවරණය ද) (සෙසු නීවරණ ද තදඞ්ග ප්රහාණ විෂ්කම්භණ ප්රහාණ වශයෙන්) සන්හිඳුවා (නීවරණාදි) ධර්මයන්හි ධම්මානුපස්සී වැ (නීවරණාදීන් අනිත්යාදි විසින් නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ) වෙසෙයි.
උද්දේශවාරය නිමියේ ය.
3. මහණෙනි, කෙසේ නම් මහණ තෙමෙ කයෙහි කායානුපස්සී වැ (කරජ කය අනිත්යාදි විසින් නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වැ) වෙසෙයි ද? යත්: මහණෙනි, මහණ තෙම අරනකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ විවිත් සෙනස්නකට (ජනයාගෙන් වන සම්බාධ නැති හිස් ගෙයකට) ගියේ හෝ හසරමිණිය අවුළුවා (පලක් බැඳ), උඩු කය ඍජු කොට තබා ගෙන, සිහිය කමටහන් අරමුණට ම යොමු කොට පිහිටුවා ඉඳී. හේ සිහි ඇත්තේ ම (සිහිය කමටහන් අරමුණට යොමු කොට ම) ආශ්වාස කෙරෙයි, සිහි ඇත්තේ ම (සිහිය කමටහන් අරමුණට යොමු කොට ම) ප්රාශ්වාස කෙරෙයි. දීර්ඝ කොට (කල් ගනිමින් - සෙමෙන්) ආශ්වාස කරනුයේ, ‘දීර්ඝ කොට ආශ්වාස කෙරෙමි’ යි දනී. දීර්ඝ කොට (කල් ගනිමින් - සෙමෙන්) ප්රශ්වාස කරනුයේ, ‘දීර්ඝ කොට ප්රශ්වාස කෙරෙමි’යි දනී. හ්රස්ව කොට (ලුහුඬු කොට - ඉක්මනින්) ආශ්වාස කරනුයේ ‘ලුහුඬු කොට ආශ්වාස කෙරෙමි’යි දනී. හ්රස්ව කොට (ලුහුඬු කොට - ඉක්මනින්) ප්රශ්වාස කරනුයේ ‘හ්රස්ව කොට ප්රශ්වාස කෙරෙමි’යි දනී. ‘සියලු ආශ්වාස කයේ (මුල මැද අග යන තුන් තන්හි ම) පැවැත් ම ප්රකට කොට දනිමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙහි (ආසේවන වශයෙන් පුරුදු පුහුණු කෙරෙයි). සියලු ප්රශ්වාස කයේ (මුල මැද අග යන තුන් තන්හි ම) පැවැත් ම ප්රකට කොට දනිමින් ප්රශ්වාස කරන්නෙමි’ යි පුහුණු කෙරෙයි (ආසේවන වශයෙන් පුරුදු පුහුණු කෙරෙයි). ඖදාරික වූ කාය සංස්කාරය (ආශ්වාස වායුව) සංහිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි (පුරුදු පුහුණු කෙරෙයි). ඖදාරික වූ කාය සංස්කාරය (ප්රශ්වාස වායුව) සංහිඳුවමින් ප්රශ්වාස කරන්නෙමි යි හික්මෙයි (පුරුදු පුහුණු කෙරෙයි).
4. මහණෙනි, දක්ෂ වූ ලියන වඩුවෙක් හෝ ලියන වඩුවක්හුගේ අතවැස්සෙක් හෝ දික් වූ හෝ මහත් වූ බඩුවක් ලියන කල්හි දීර්ඝ කොට (කල්ගනිමින් සෙමෙන්) අත් පා ආදිය අදනේ ‘දීර්ඝ කොට (කල් ගනිමින් - සෙමෙන්) අදිමි’යි දනී ද, (ඉදි කටු කුලා ආදි කුඩා බඩුවක් ලියන කල්හි) අත් පා ලුහුඬු කොට (ඉක්මනින්) අදනේ, ලුහුඬු කොට (ඉක්මනින්) අදිමි’යි දනී ද, මහණෙනි, එ සේ ම මහණ තෙම දීර්ඝ කොට ආශ්වාස කරනුයේ හෝ ‘දීර්ඝ කොට ආශ්වාස කෙරෙමි’යි දනී, දීර්ඝ කොට ප්රශ්වාස කරනුයේ හෝ ‘දීර්ඝ කොට ප්රශ්වාස කෙරෙමි’යි දනී, හ්රස්ව කොට ආශ්වාස කරනුයේ හෝ ‘හ්රස්ව කොට ආශ්වාස කෙරෙමි’යි දනී. හ්රස්ව කොට ප්රශ්වාස කරනුයේ හෝ ‘හ්රස්ව කොට ප්රශ්වාස කෙරෙමි’යි දනී, සියලු ආශ්වාස කය (ආශ්වාසයේ මුල මැද අග යන හැම තැන ම පැවැත් ම) ප්රකට කොට දනිමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙයි (පුරුදු පුහුණු කෙරෙයි), සියලු ප්රශ්වාස කය (ප්රශ්වාසයේ මුල මැද අග යන හැම තැන ම පැවැත්ම) ප්රකට කොට දනිමින් ප්රශ්වාස කරන්නෙමි’යි හික්මෙයි (පුරුදු පුහුණු කෙරෙයි). කාය සංස්කාරය (ආශ්වාස වායුව) සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙයි (පුරුදු පුහුණු කෙරෙයි), කාය සංස්කාරය (ප්රශ්වාස වායුව) සන්හිඳුවමින් ප්රශ්වාස කරන්නෙමි’ යි හික්මෙයි (පුරුදු පුහුණු කෙරෙයි).