10.
පායාසි රාජන්ය සූත්රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි කුමර කසුප් මහ තෙරණුවෝ මහණුන් පන්සියක් පමණ වූ මහත් මහණ මුළුවක් කැටු වැ කොසොල් රටැ සැරි සරනුවෝ, කොසොල් රැටියන්ගේ සේතව්යා නම නුවරට වැඩියාහ. කුමරකසුප් මහ තෙරණුවෝ එහි සේතව්යා නුවරට නොදුරැ උතුරු දිගැ සිංසපා වනයෙහි (ඇට්ටේරිය කැලැයෙහි) වැඩ වෙසෙති.
එ සමයෙහි වනාහි පායාසි නම් රාජන්ය (අබිසෙස් නොලත් රජ) තෙම බහුජනාකීර්ණ වූ, තණ දඬු දිය යන මෙයින් යුක්ත වූ, බොහෝ ධාන්ය ඇති, රජුගෙන් ලත් තමාගේ පරිභෝග වස්තුව වූ, රජුහු ගේ දායාද්යය වූ, පසේනදී කොසොල් රජුහු දුන් ශ්රේෂ්ඨ ත්යාගය වූ සේතව්යා නගරයෙහි වෙසෙයි.
එකලැ පායාසී රාජන්යයාහට “මේ කරුණින් පරලොවෙක් නැත, මෙසේත් මෙයින් සැවැ පරලොවැ උපදනා සත් කෙනෙක් නැත, මෙසේත් මොනොවට කළ හෝ නපුරු සේ කළ කර්මයනට ඵල විපාක නැතැ” යි මෙබඳු වූ ලාමක දෘෂ්ටියෙක් උපන්නේ වෙයි.
2. සේතව්යා නුවරැ වැසි බමුණෝ ද ගැහැවියෝ ද (රටෙහි පැතිරැ පැවැති) මතු දැක්වෙන කථාව ඇසූහ: “භවත්නි, ශ්රමණ ගෞතමයන් වහන්සේගේ ශ්රාවක වූ කුමරකසුප් (කුමාරකාශ්යප) මහණ වහන්දෑ මහණුන් පන්සියයක් පමණ වූ මහත් මහණ මුළුවක් කැටුවැ කොසොල් රටැ සැරි සරනුවෝ, කොසොල් රැටියන්ගේ සේතව්යා නුවරට වැඩියාහු, එ නුවර උතුරු දිගැ නුවරට නොදුරෙහි වූ සිංසපා වනයෙහි වැඩ වෙසෙති, ඒ භවත් කුමර කසුප් වහන් දෑ පිළිබඳ වැ ‘මොහු පණ්ඩිත හ, ව්යක්ත හ, ප්රඥාවත් හ, බහුශ්රුත හ, චිත්රකථි හ (විසිතුරු කථා ඇත්තාහ), මනා වැටැහෙන නුවණ ඇත්තාහ, නුවණින් වැඩී සිටියාහු ද රහත්හු ද වෙති. එබඳු රහතුන් දැක්ම වූ කලී වැඩ සිදු කරන්නෙකැ’ යි මෙසේ වූ උතුම් කීර්ති ඝෝෂයෙක් උස් වැ නැංගේ ය” යනු යැ.
3. එ කල්හි වනාහි සේතව්යා නුවර වැසි බමුණෝ ද ගැහැවියෝ ද සේතව්යායෙන් නික්මැ බොහෝ බොහෝ වැ රැස් වූවාහු, එකි එකී පැත්තෙහි මුළු මුළු වැ නුවරින් පිටත්හි දී මහ මුළුවෙක් වැ එකතු වූවාහු, උතුරු දිගට මුහුණු ලා සිංසපාවනය දෙසට යන්නාහු වෙත්. එ සමයෙහි වූකලී පායාසි රාජන්ය තෙම සිය පහයෙහි උඩු මහල් තලයෙහි දව යහනට පැමිණියේ වෙයි. හේ (කවුළුයෙන් බලනුයේ) සේතව්යායෙන් නික් මැ බොහෝ බොහෝ වී රැස් වැ, එකි එකී පස්හි මුළු මුළු වැ නුවරින් පිටතැ දී මහ මුළුවෙක් වැ එකතු වැ, උතුරු දෙසට මුහුණු ලා සිංසපාවනය දෙසට යන සේතව්යවාසී බමුණන් ද ගැහැවියන් ද දුටුයේ ම ය. දැක ක්ෂත්තෘහු බණවා, ‘භවත් ක්ෂත්තෘව, සේතව්යාවාසී බමුණෝත් ගැහැවියෝත් සේතව්යායන් නික්මැ, බොහෝ බොහෝ වැ රැස් වැ එකි එකී පසැ මුළු මුළු වැ නුවරින් පිටත්හි දී මහ මුළුවෙක වැ එකතු වැ, උතුරු දිගට මුහුණු ලා සිංසපාවනය දෙසට කවර හෙයින් යෙත් දැ?” යි විචාළේ ය.
“භවත, කාරණයයෙක් ඇත. මහණ ගොයුමන් වහන්සේගේ සවු වූ කුමර කසුප් වහන් දෑ මහණුන් පන්සියක් පමණ වූ මහත් මහණ මුළුවක් කැටු වැ කොසොල් රටැ සැරිසනුවෝ කොසොල් රැටියන්ගේ සේතව්යා නම් නුවරට වැඩියාහු, සේතව්යාට උතුරු දිගැ නුවරට නොදුරු තැනැ සිංසපා වනයෙහි වැඩ වෙසෙති. ‘ඔහු පණ්ඩිත හ, ව්යක්ත හ, ප්රඥාවත් හ බහුශ්රුත හ, චිත්රකථි හ, කල්යාණප්රතිභාන ඇතියාහු, නුවණින් වැඩී සිටියෝ ද රහත් කෙනෙක් ද වෙති’ යි ඒ භවත් කුමර කසුප් වහන් දෑ පිළිබඳ වැ උතුම් වූ කීර්ති ඝෝෂයෙක් ඉතා උස් වැ නැංගේ වෙයි. ඔහු ඒ භවත් කුමරකසුප් වහන්දෑ දක්නට එහි යෙත්” යැ යි ක්ෂත්තෘ කී ය.
“එසේ වී නම් භවත් ක්ෂත්තෘව, සේත්යාවාසී ඒ බමුණන් ද ගැහැවියන් ද කරා එළැඹෙව. එළැඹැ ඔවුනට, “භවත්හු ඉවසත් වා (මා එන තුරු බලත් වා), කුමර කසුප් මහණ සේතව්යාවාසී වූ අඥාන අව්යක්ත බමුණනට ද ගැහැවියනට ද “මෙසේ මෙසේ පර ලොවෙක් ඇත, සැව පර ලොවැ උපදනා සත්තු ඇත, සුකෘත දුෂ්කෘත කර්මයනට ඵල විපාක ඇතැ’යි ගිවිස්නට පෙරාතුව ම පායාසි රාජන්ය ද කුමරකසුප් මහණහු දක්නට එළැඹෙන්නේ යැ’ යි මෙසේ කියව, භවත් ක්ෂත්තෘව, පර ලොවෙක් නැත, උපපාදුක (මෙයින් සැව පර ලොවැ උපදනා) සත්හු නැත. සුකෘත දුෂ්කෘත කර්මයනට ඵල විපාක නැතැ” යි පායාසි රාජන්ය කී ය. ‘එසේ යැ පින්වත’ යි ම එ ක්ෂත්තෘ තෙම පායාසී රජන්යයාට පිළිවදන් දී, සේත්යාවාසී ඒ බමුණන් ද ගැහැවියන් ද කරා එළැඹියේ ය. එළැඹැ ඔවුන් බණවා, “භවත්හු මඳක් ඉවසත්වා, පායාසී රාජන්ය ද කුමර කසුප් මහණහු දකින්නට එළැඹෙන්නේ යැ” යි සැළ කෙළේ ය.