8.
සක්කපඤ්හ සූත්රය
මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්යවතුන් වහන්සේ මගද රටෙහි, රජගහ පුරයට පෙර දිගැ අඹසඬ නම් යම් බමුණු ගමෙක් වී ද, එයට උතුරු දිගැ වේදියත නම් පව්වෙහි ඉඳුසලු ලෙනැ වැඩ වෙසෙති. එ සමයෙහි සක් දෙවිඳුට භගවත් බුදුරජු දක්නට උත්සුක බවෙක් උපන. එ කල්හි ඔහුට ‘අර්හත් සම්යක්සම්බුද්ධ වූ භාග්යවතුන් වහන්සේ දන් කොහි වැඩ වසන සේක් දෝ?’ යි මේ සිත විය. සක් දෙවිඳු මගද රටැ රජගහ නුවරට පෙර දිගැ අඹසඬ නම් යම් බමුණුගමෙක් වී ද, එයට උතුරු දිගැ වේදියක පව්වෙහි ඉඳුසල් ලෙනැ භගවත් බුදුරජුන් වැඩ වසන්නවුන් දුටුයේ ම ය. දැක, තවුතිසා වැසි දෙවියන් බණවා, “නිදුකාණනි, මේ භාග්යවතුන් වහන්සේ මගද රටැ රජගහ නුවරට පෙර දිගින් අඹසඬ නම් යම් බමුණුගමෙක් ඇද්ද, එයට උතුරු දිගැ වේදියක නම් පව්වෙහි ඉඳුසල් ලෙනෙහි වැඩ වසන සේක. නිදුකාණනි, ඉදින් අපි ඒ අර්හත් සම්යක්සම්බුද්ධ භාග්යවතුන් වහන්සේ දක්නට එළඹෙන්නමෝ නම් ඒ ඉතා යෙහෙකැ” යි මෙ බස් පැවැසී ය. ‘එසේ ය පින්වතුන් වහන්සැ’ යි ම තව්තිසා වැසි දෙවියෝ සක් දෙවිඳුට පිළිවදන් දුන්හ.
2. ඉක්බිති සක් දෙවිඳු පන්සිළු ගඳැවු පුතු බණවා, ‘දරුව පන්සිළු, මේ භාග්යවතුන් වහන්සේ මගද රටැ රජගහ නුවරට පෙර දිගැ අඹසඬ නම් යම් බමුණු ගමෙක් ඇද්ද, එයට උතුරු දිගැ වේදියක පව්වෙහි ඉඳුසල් ලෙනැ වැඩ වසන සේක. දරුව පන්සිළුව, අපි ඒ අර්හත් සම්යක්සම්බුද්ධ භාග්යවතුන් වහන්සේ දක්නා පිණිස ඔබ වෙත එළඹෙන්නමෝ නම් ඉතා යෙහෙකැ’ යි කී ය. ‘එසේ ය, ඔබට වැඩෙක් වේවා’ යි පන්සිළු ගඳෙවු දෙව්පුත් තෙම සක් දෙවිඳුට පිළිවදන් දී බේළුවපාණ්ඩු වීණාව ගෙන සක් දෙවිඳු අනුව යන බවට වන (අනුව යන්නට නික්මිණ.) ඉක්බිති සක් දෙවිඳු තව්තිසා වැසි දෙවියන් විසින් පිරිවැරුණේ පන්සිළු ගඳෙවු දෙව්පුතු විසින් පෙරටු කරන ලදුයේ බල ඇති මිනිසක්හු වක් කළ අතක් දික් කරන සේ ම දික් කළ අතක් හෝ වක් කරන සේ ම (කෙණෙන්) තව්තිසා දෙව් ලොවින් අතුරු දන් වැ මගද රටැ රජගහ නුවරට පෙර දිගැ පිහිටි අඹසඬ බමුණු ගමට උතුරු දිගැ වේදියක පව්වෙහි පහළ විය.
3. එ සමයෙහි වනාහි දෙවියන්ගේ දෙව් තෙදින් සෙයින් වේදියක පව්ව ද අඹසඬු බමුණුගම ද ඉතා ම බැබැලුණේ විය. ඒ කොතරම් මහත් වැ බැබැලුණේ ද යත හොත්: අවට ගම්හි මිනිස්සු “අද වේදියක පව්ව ගිනි ඇවිලගත්තේ වන, අද වේදියක පව්ව දැවෙන්නේ වන. අද වේදියක පව්ව දල්වෙනුයේ වන, අඹසඬු නියම්ගම ද ඉතා ම එකලු වැ ඇතැ’ යි සතුටු සොම්නස් වැ පිපී ගිය ලොම් ඇත්තෝ වූහ.
එක ලැ සක්දෙවිඳු ගඳෙවු දෙව්පුත් පන්සිළුහු බණවා, “දරුව පන්සිළු, දහන් කරන, දහන්හි ඇලුණු, මේ දැන් චිත්තවිවේකයෙහි යෙදුණු තථාගතයන් කරා මා වැන්නක්හු විසින් දුක සේ එළැඹිය යුතු ද! දරුව පන්සිළු, ඉදින් තෝ පළමු කොට භාග්යවතුන් වහන්සේගේ සිත් ගත්තෙහි වී නම්, දරුව, පළමු කොට තා විසින් පහදවා ගන්නා ලද සිතැති ඒ භගවත් අර්හත් සම්යක්සම්බුද්ධයන් වහන්සේ දක්නට පසු වැ අපි එළැඹෙන්නම් හ’ යි කී ය. පන්සිළු ගඳෙවු දෙව්පුත් ‘එසේ යැ, ඔබට වැඩෙක් වේව’ යි සක් දෙවිඳු කී බස පිළිගෙන, බේළුවපාණ්ඩු වීණාව ගෙනැ, ඉඳු සලු ලෙන කරා එළඹියේ ය, එළැඹ, ‘මෙතෙකින් භාග්යවතුන් වහන්සේ මට ඉතා දුර ද නො වන්නේ ය, ඉතා ළං ද නො වන්නේ ය, මගේ කටහඬ ද ඔබ අසන්නාහ’ යි සිතා, එක් පසෙක සිටියේ ය. එක් පසෙක සිටියේ ම බේළුව පාණ්ඩු වීණාව හැඬැවී ය. බුදුරජුන් පිළිබඳ වූ ද දහම පිළිබඳ වූ ද රහතුන් පිළිබඳ වූ ද කාමගුණ හා පිළිබඳ වූ ද මේ ගාථා ගැයි ය:
4. ගාථාවල අදහස :
“ළහිරුරස් බඳු සිරුර කැලුම් ඇති, හැම සිරුරඟින් හොබනා, මට සතුට දනවන සොඳුරිය, තෝ යමක්හු කරණ කොට ගෙන උපන්නෙහි ද, තීගේ පිය වූ ඒ තිම්බරු නම් ගඳැවු රජුහු වඳිමි.
‘ළහිරු රස් සෙයින් නැඟෙන සිරුරු කැලුම් ඇත්තිය, හොබනා අඟපසඟ ඇත්තිය, මට සතුට දෙනුවිය, සොඳුර, යමක්හු කරණ කොට ගෙන තෝ උපන්නෙහි ද, තීගේ පිය වූ තිම්බරු නම් ගඳෙවු රජුහු වඳිමි.
“ළහිරුරස් බඳු සිරුර කැලුම් ඇති, හැම සිරුරඟින් හොබනා, මට සතුට දනවන සොඳුරිය, තෝ යමක්හු කරණ කොට ගෙන උපන්නෙහි ද, තීගේ පිය වූ ඒ තිම්බරු නම් ගඳැවු රජුහු වඳිමි.
‘ළහිරු රස් සෙයින් නැඟෙන සිරුරු කැලුම් ඇත්තිය, හොබනා අඟපසඟ ඇත්තිය, මට සතුට දෙනුවිය, සොඳුර, යමක්හු කරණ කොට ගෙන තෝ උපන්නෙහි ද, තීගේ පිය වූ තිම්බරු නම් ගඳෙවු රජුහු වඳිමි.
සොසුලුවනට සුළඟ සේද, පැවැසියනට පැන් සේද, රහත්නට දහම් සේ ද තෝ මට ප්රියයෙහි ය.
ගිලන්හට බෙහෙද සේ ද, සා ඇතියනට බොජුන් සේ ද තෝ මට ප්රියයෙහි ය. සොඳුර, ඇවිලෙන ගින්න දියෙන් සේ (තී නිසා උපන් කාමරාග දැවිල්ලෙන් තැවුණු) මා නිවව.