6.
මහාගෝවින්ද සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහ නුවරට නොදුරු තන්හි වූ ගිජුකුළු පව්වෙහි වැඩ වෙසෙන සේක. එ කලා පන්සිළු නම් ගඳැවු පුත් රෑ බොහෝ වේලා ඉක්මි කල, (මැදුම් රැයෙහි) ඉතා දැකුම් කලු පැහැ සපුව ඇත්තේ, ගිජුකුළු පව්ව මුළුල්ල බබුළුවා භගවත් බුදුරජුන් කරා එළැඹියේ ය. එළැඹැ, ආදරයෙන් ඔබ වැඳ එක් පසෙක සිටියේ ය. පන්සිළු ගඳැවුපුත් (එසේ) එක් පසෙක සිටියේ ම, “වහන්ස, තව්තිසා වැසි දෙවියන් හමුයෙන් යම් කරුණෙක් මා විසින් අසන ලද ද, (ඔවුන් හමුයෙන්) අසා පිළිගන්නා ලද ද, එය භාග්යවතුන් වහන්සේට සැළ කෙරෙමි” යි කී ය. “පන්සිළුවෙනි, තෙපි එය මට දන්වවු” යැ යි භාග්යවතුන් වහන්සේ වදාළ සේක.
දෙව් සබය
2. “වහන්ස, පෙර දවසැ, බොහෝ පෙර දවසැ, ඒ පසොළොස් වක් පොහෝ දිනැ, වස් පවාරණය ඇති, පිරුණු පුණුපොහෝ දා රැයෙහි තව්තිසාවැසි සියලු දෙවියෝ සුදම් දෙව් සෙබෙහි එක් වැ හුන්නාහු, එක් රැස් වූවාහු වෙත්. මහත් දෙව් පිරිස්හු ද හාත්පසැ එක් වැ හුන්නාහු එක් රැස්වූවාහු වෙත්. සතර වරම් දෙව් මහ රජු ද සතර දිගැ හුන්නාහු වෙත්. ධෘතරාෂ්ට්ර මහරජ දෙවියන් පෙරටු කොට පෑළ දිගට මුහුණ ලා පෙරදිග්හි හුන්නේ වෙයි. විරූඪක මහ රජ දෙවියන් පෙරටු කොට උතුරු දිගට මුහුණ ලා දකුණු දිග්හි හුන්නේ වෙයි. විරූපාක්ෂ මහරජ දෙවියන් පෙරටු කොට පෙර දිගට මුහුණ ලා පෑළ දිගැ හුන්නේ වෙයි. වෙසවුණු මහරජ දකුණු දිගට මුහුණ ලා දෙවියන් පෙරටු කොට උතුරු දිග්හි හුන්නේ වෙයි. වහන්ස, යම් කලෙක තව්තිසා වැසි සියලු දෙවියෝ සුදම් සෙබෙහි එක් වැ හුන්නාහු, එක් රැස් වූවාහු වෙත් ද, මහත් දෙව් පිරිස්හු හාත්පසැ එක් වැ හුන්නාහු, එක්රැස් වූවාහු වෙත් ද, සතර වරම් මහරජහුත් සතර දිගැ හුන්නාහු වෙත් ද, මේ ඔවුන්ගේ අසුන් වේ. එක්බිති ඔවුනට පසු භාගයෙහි අපගේ අසුන් වෙයි. වහන්ස යම් දෙවි කෙනෙක් භාග්යවතුන් වහන්සේ වෙතැ බඹසර කොට තව්තිසා දෙව් මුළුවට (උත්පත්ති විසින්) අළුත පැමිණියාහු වෙත් ද, ඔහු පැහැ සපුයෙනුත් යසසිනුත් සෙසු දෙවියන් ඉක්මා බබලත්. වහන්ස, එයින් තව්තිසා වැසි දෙවියෝ ‘භවත්නි, ප්රීතියෙක! දෙව්මුළුහු පිරෙත්, අසුර මුළුහු පිරිහෙත්’යි සතුටු සිතැත්තාහු ප්රමුදිත වූවාහු, හටගත් ප්රීති හා සොම්නස් හා ඇත්තාහු වෙත්.
3. වහන්ස, එ කල්හි සක් දෙවිඳු තව්තිසා වැසි දෙවියන්ගේ පහන් බව දැන, මේ ගාථාවලින් ඔවුන්ගේ සතුට මෙසේ අනුමොවන් විය:
“භවත්නි, ප්රීතියෙක! ඉන්ද්රයා සහිත වූ තව්තිසා වැසි දෙවියෝ තථාගතයනට ද ධර්මයාගේ සුධර්මත්වයට ද නමස්කාර කරනුවෝ,
‘සුගතයන් වහන්සේ වෙතැ බඹසර හැසිරැ මෙහි ආ පැහැපත් යසස් ඇති අළුත් දෙවියන් ද දක්නාහු සතුටු වෙත්.
මෙහි ගුණවිශේෂයට පැමිණි මහ පැණැති බුදුරජුන්ගේ සවු වූ ඔහුතුමූ පැහැයෙන් ද යසසින් ද ආයුෂයෙන් ද අන් දෙවියන් ඉක්මා බබලත්.
ඉන්ද්රයා සහිත තව්තිසා වැසියෝ මෙය දක, තථාගතයන් වහන්සේ ද ධර්මයාගේ සුධර්මත්වය ද නමදනාහු සතුටු වෙත්’ යැ යි කීය.
වහන්ස, එ කරුණින් තව්තිසා වැසි දෙවියෝ ‘භවත්නි, ප්රීතියෙක! දෙව්මුළුහු පිරෙත්, අසුර මුළුහු පිරිහෙත්!’ යැ යි බෙහෙවින් සතුටු වෙත්, ප්රමුදිත වෙත්, හටගත් ප්රීති හා සොම්නස් හා ඇත්තෝ වෙත්.
ඇති ගුණ වැනුම් අට
4. වහන්ස, ඉක්බිති සක් දෙවිඳු තව්තිසා වැසි දෙවියන්ගේ පැහැදීම දැන, ඔවුන් බණවා, ‘භවත් නිදුකාණනි, තෙපි භගවත් බුදුරජුන්ගේ විද්යමාන වූ ම ගුණ අට අසන්නට කැමැති වන්නහු ද?’ යි විචාළේ ය.
“නිදුකාණෙනි, අපි ඒ භගවත් බුදුරජුන්ගේ විද්යමාන වූ ගුණ අට අසනු රිස්සම්හ’ යි දෙවියෝ කීහු.
වහන්ස, ඉක්බිති සක් දෙවිඳු තව්තිසා වැසි දෙවියනට භාග්යවතුන් වහන්සේගේ විද්යමාන වූ ම ගුණ අට මෙසේ පැවැසී ය:
“භවත් තව්තිසාවැසි දෙවියනි, එය කිමැ යි සිත වූ ද? ඒ භගවත්හු කොතරම් බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට වැඩ පිණිස, හිත පිණිස, සුව පිණිස පිළිපන් සේක් ද යත හොත්: මෙසේ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට වැඩ පිණිස, හිත පිණිස, සුව පිණිස පිළිපන් මෙ කී අංගයෙන් ද සමන්විත අන් ශාස්තෘවරයෙකු ඒ භගවත් බුදුරජුන් හැර අතීතයෙහි ද නො දකිමු, දැනුදු නො දකිමු. (1)