5.
ජනවසභ සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්යවතුන් වහන්සේ ඥාතිකා ගමැ ගෙඩිගෙහි වැඩ වසන සේක. එ සෙමෙහි භාග්යවතුන් වහන්සේ කාසි කෝසල වජ්ජිමල්ල චේති වංස කුරු පඤ්චාල මච්ඡ සූරසේන යන වටා වටා දනවුහි ඉකුත් කලැ වුසූ කලුරිය කළ උවසුවන් ඇරැබැ ‘අසෝ තැනැත්තේ අසෝ තැනැ උපන, අසෝ තැනැත්තේ අසෝ තැනැ උපනැ’ යි ඔවුන්ගේ උපපත්ති විෂයයෙහි කරුණු හෙළි කැරැ වදාරන සේක. ඥාතිකාවාසි වූ ද පනසකට වැඩි තරම් වූ, ඉකුත් කලැ වූ, කලුරිය කළ උවසුවෝ අවරභාගික සංයෝජන පස නැසූ හෙයින් ඒ ශුද්ධාවාසයෙහි උපන්නාහු, එහි ම පිරිනිවෙනසුලු වූවාහු, එ ලොවින් වටාලා නො එන සුලු වෙත්. ඉකුත් කලැ සිටි, කලුරිය කළ, ඥාතිකාග්රාමවාසී අධිකයක් සහිත අනූවක් (අනූවකට වැඩි) උවසුවෝ, තුන් සංයෝජනයන් නැසූ හෙයින් රාග ද්වේෂ මෝහ තුනී වූ හෙයින්, සෙදැගැමි වූවාහු, එක් වරක් ම මෙලොවට අවුත් දුක් කෙළවර කරන්නාහ. අතිරේකයක් සහිත පන්සියක් ඥාතිකාවාසී උපාසකයෝ ඉකුත් කලැ සිට කලුරිය කළාහු, තුන් සංයෝජනයන් නැසූ හෙයින් සෝවාන් වූවාහු, අපායට නොවැටෙන සුලු වූවාහු, රහත්බවට නියත වූවාහු, රහත් බව පිහිට කොටැත්තාහු වෙත්” යි ද වදාළ සේක.
2. “භාග්යවතුන් වහන්සේ කාසි කෝසල දෙ රටෙහි ද වජ්ජි මල්ල දෙ රටෙහි චේතී වංස දෙ රටෙහි ද කුරු පංචාල දෙ රටෙහි ද මච්ඡ සූරසේන දෙ රටෙහි ද යන වටා වටා දනවුහි ළඟ ඉකුත් කලැ සිටි, කලුරිය කළ උවසුවන් ‘අසෝ තැනැත්තේ අසෝ තැනැ උපන, අසෝ තැනැත්තේ අසෝ තැනැ උපනැ’ යි උපපත්ති නිමිත්තෙන් ඔවුන් (මරණින් පසු තතු) හෙළි කරන සේක. ළඟ ඉකුත් කලැ සිටි, කලුරිය කළ ඥාතිකාවාසී පනසකට වැඩි ගණනක් උවසුවෝ, අවරභාගික සංයෝජන පස නැසූ හෙයින් ශුද්ධාවාසයෙහි උපන්නාහු, එහි දී පිරිනිවෙන සුලු වූවාහු, වටාලා එයින් මෙහි නො එන සුලු වෙත්. ඉකුත් කලැ සිටි, කලුරිය කළ, ඥාතිකාවාසී අනූවකට වැඩි ගණනක් උවසුවෝ තුන් සංයෝජන නැසූයෙන්, රාග ද්වේෂ මෝහ තුනී වූයෙන්, සෙද ගැමි වූවාහු, එක් වරක් ම මෙ ලොවට අවුත් දුක් කෙළවර කරන්නාහ. ඉකුත් කලැ, සිටි, කලුරිය කළ පන්සියකට වැඩි ගණනක් ඥාතිකාවාසී උවසුවෝ, තුන් සංයෝජන නැසූයෙන් සෝවාන් වූවාහු, අපායට නොවැටෙන සුලු වූවාහු, රහත් බවට නියත වූවාහු, රහත්ඵලය ප්රතිෂ්ඨා කොටැත්තාහු වෙත් යැ යි වදාරන සේකැ” යි ඥාතිකාග්රාමවාසී උපාසකයෝ භගවත් බුදුරජුන්ගේ ප්රශ්නව්යාකරණය අසා එයින් ද ගන්නා ලද සිතැත්තාහු, සතුටු වූවාහු, හටගත් ප්රීති හා සොම්නස් හා ඇත්තෝ වූහ.
3. “භාග්යවතුන් වහන්සේ කාසි කෝසල දෙ රටෙහි ද වජ්ජි මල්ල දෙ රටෙහි ද චේතී වංස දෙ රටෙහි ද කුරු පංචාල දෙ රටෙහි ද මච්ඡ සූරසේන දෙ රටෙහිද යන වටා වටා දනවුහි ළඟ ඉකුත් කලැ සිටි කලුරිය කළ උවසුවන් ‘අසෝ තැනැත්තේ අසෝ තැනැ උපන, අසෝ තැනැත්තේ අසෝ තැන උපනැ’ යි ද උපපත්ති නිමිත්තෙන් (ඔවුන්ගේ මරණින් පසු ගතිය) හෙළි කරන සේක. ඉකුත් කලැ සිටි, කලුරිය කළ ඥාතිකාවාසි වූ පනසකට වැඩි ගණනක් උවසුවෝ අවරභාගික සංයෝජන පස නැසූ හෙයින් ශුද්ධාවාසයෙහි උපන්නාහු, එහි දී පිරිනිවෙන සුලු වූවාහු, වටාලා එයින් මෙහි නොඑන සුලු වෙතැ යි ද, ඉකුත් කලැ සිටි කලුරිය කළ ඥාතිකවාසී අනූවකට වැඩි ගණනක් උවසුවෝ තුන් සංයෝජන නැසූ හෙයින්, රාග ද්වේෂ මෝහ තුනී වූ හෙයින් සෙදැගැමි වූවාහු, එක් වරක් ම මෙ ලොවට අවුත් දුක් කෙළවර කරන්නාහ’ යි ද, ළඟ ඉකුත් කලැ සිටි, කලුරිය කළ පන්සියයකට වැඩි ගණනක් ඥාතිකාවාසී උවසුවෝ තුන් සංයෝජන නැසූ හෙයින් සෝවාන් වූවාහු, අපායට නොවැටෙන සුලු වූවාහු, රහත් බවට නියත වූවාහු, රහත්ඵලය ප්රතිෂ්ඨා කොටැති යාහු වෙතැයි ද වදාරන සේක් ල, භාග්යවතුන් වහන්සේගේ ප්රශ්නව්යාකරණය අසා එයින් ඥාතිකාවාසී උවසුවෝ ආරාධිත සිතැත්තාහු, සතුටු වූවාහු, හටගත් ප්රීති හා සොම්නස් හා ඇත්තාහු ද වෙත් ලැ” යි අනඳ තෙරණුවෝ ඇසූහ.
ආනන්ද පරිකථාව
4. එ කල්හි වනාහි අනඳ තෙරුනට මේ සිත විය: “ළඟ ඉකුත් කලැ සිටි, කලුරිය කළ, මගද රටැ වැසි චිරරාත්රඥ බොහෝ උවසුවෝ ද වූහ. ළඟ ඉකුත් කලැ සිට කලුරිය කළ අඟු මගද දෙරටැ වුසූ (අරීසවු) උවසුවන්ගෙන් මෙ දෙ රට හිස් වූ නියා යැ (හිස් වූවාක් මෙන් අන්යයනට පෙනෙයි). ඒ අඟු මගද දෙර ටැ වැසියෝ ද බුදුරජුන් කෙරෙහි පහන් ද දහම්හි පහන් ද සඟුන් කෙරෙහි පහන් ද සිල් පුරන සුලුද වූහ. ළඟ ඉකුත් කලැ කලුරිය කළ ඔහු භාග්යවතුන් වහන්සේ විසින් නො ම හෙළි කරන ලදුහ. ඔවුන්ගේ ද උපපත්තිය හෙළි කරනු මනා යැ. බොහෝ දෙනා පහදිනු ඇත. එයින් සුගතියට යනු ඇත. මේ මගධාධිපති ශ්රේණික බිම්බිසාර රජ ධාර්මික ද ධර්මරාජ ද බමුණු ගැහැවියනටත් නිගමවාසී ජනපදවාසී ජනයාටත් හිතකාමීද විය. මිනිස්සුද දැහැමි වූ, දැහැමින් රැජැයූ අපේ රජ රට සුවපත් කොට මෙසේ කලුරිය කෙළේ යැ’ යි ද, ‘මෙසේ අපි දැහැමි වූ දැහැමෙන් රජ වූ ඔබේ රටැ සුව සේ වුසූම්හ’ යි ද, එ රජුහු ගුණ වණන්නාහු ද වෙසෙත්. ඒ රජ ද බුදුරජුන් කෙරෙහි පහන් ද දහම්හි පහන් ද සඟුන් කෙරෙහි පහන් ද සිල් පුරන සුලු ද විය. කලුරිය කරන තෙක් දු මගධාධිපති ශ්රේණික බිම්බිසාර රජ භාග්යවතුන් වහන්සේගේ ගුණ වණන සුලු වැ වැස කලුරිය කෙළේ යැ’ යි මිනිස්සු ද මෙසේ කියත්.