1.
මහාපදාන සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර නිසා ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි කරෙරිකුටිකායේහි (ලුණුවරණ රුක අසල කරන ලද කිළියෙහි) වැඩ වසන සේක. එ කල්හි පිණ්ඩපාතයෙන් පෙරළා පැමිණ (බත්කිස කොට නැඟී සිට) කරෙරිමණ්ඩලමාළයෙහි (යටකී කරෙරිමණ්ඩපය අසලැ නිෂීදන ශාලායෙහි) එක් වැ හුන් එක් රැස් වූ බෙහෝ භික්‍ෂූන් අතරැ ‘පෙරැ වුසූ කඳපිළිවෙළ මෙසේත් වේ. පෙරැ වුසූ කඳ පිළිවෙළ මෙසේත් වේ’ යැ යි පූර්‍වනිවාසප්‍රතිසංයුක්ත වූ දැහැමි කතාවෙක් පහළ විය.
2. භාග්‍යවතුන් වහන්සේ මිනිසුන්ගේ ඇසුම්ඉම ඉක්මැ අසනුවට සමත් වූ පිරිසිදු දිවකනින් ඒ මහණුන්ගේ මේ කථාසංලාපය අසා වදාළ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හුනස්නෙන් නැගී කරෙරිමණ්ඩලමාළය කරා එළැඹි සේක. එළැඹ පනවා තුබුණු අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ ම භාග්‍යවතුන් වහන්සේ මහණුන් බණවා, ‘මහණෙනි, දැන් තෙපි කවර නම් කතාවෙකින් මෙහි හුන්නහු ද? තොපගේ කවර නම් අතුරු කතාවෙක් අඩාළ වී දැ?’ යි අසා වදාළ සේක.
3. මෙසේ වදාළ කල්හි මහණහු භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, පසුබත්හි පිණ්ඩපාතයෙන් පෙරළා ආ, මෙහි කරෙරිමණ්ඩලමාළයෙහි එක්වැහුන් එක් රැස් වූ අප අතරැ ‘පූර්‍වනිවාසය මෙසේත් වේ, පූර්‍වනිවාසය මෙසේත් වේ’ යැ යි පූර්‍වනිවාසප්‍රතිසංයුක්ත දැහැමි කතාවෙක් උපන. වහන්ස, අපගේ මේ අතුරු කතාව අඩාළ විය. එකලැ භාග්‍යවතුන් වහන්සේ වැඩි සේකැ” යි මෙ බස් පැවැසූහ.
4. “මහණෙනි, තෙපි පෙරැ වුසූ කඳපිළිවෙළ පිළිබඳ වූ දහම්කතාවක් අසන්නට කැමැත්තහු දැ?” යි භාග්‍යවතුන් වහන්සේ පුළුවුත් සේක.
“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පෙරැ වුසූ කඳපිළිවෙළ පිළිබඳ වූ දැහැමි කතාවක් කරන සේක යන යමෙක් ඇද්ද, භාග්‍යවතුන් වහන්ස, එයට මේ කාලය ය. සුගතයන් වහන්ස, එයට මේ කාලය ය. භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසා මහණහු සිත්හි ලා දරන්නාහ” යි භික්‍ෂූහු කීහ. “මහණෙනි, එසේ වී නම්, අසවු. මොනොවට මෙනෙහි කරවු, කියන්නෙමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “එසේ යැ වහන්සැ” යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මේ (මතු දැක්වෙන) ධර්‍මකථාව වදාළ සේක.
5. මහණෙනි, යම් කලෙක අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ විපස්සී භගවත්හු ලොවැ පහළ වූහු නම්, ඒ මෙයින් පෙරැ එක් අනූවන කප ය. මහණෙනි, යම් කලෙක අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ සිඛී භගවත්හු ලොවැ පහළ වූහු නම්, ඒ මෙයින් යටැ එක්තිස්වන කප ය. මහණෙනි, ඒ එක් තිස්වන කපෙහි ම අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ වෙස්සභූ භගවත්හු ලොවැ පහළ වූහ. මහණෙනි, මෙ බදුරුකප්හි ම අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසන්‍ධ භගවත්හු ලොවැ පහළ වූහ. මහණෙනි, මෙ බදුරුකප්හි ම අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කෝණාගමන භගවත්හු ලොවැ පහළ වූහ. මහණෙනි, මෙ බදුරුකප්හි ම අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කාශ්‍යප භගවත්හු ලොවැ පහළ වූහ. මහණෙනි, මෙ බදුරුකප්හි ම අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ මම් මෙ සමයෙහි ලොවැ පහළ වීමි.
6. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ විපස්සී භගවත්හු ජාතියෙන් ක්‍ෂත්‍රිය වූහ, කැත්කුලෙහි උපන්හ. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ සිඛී භගවත්හු ජාතියෙන් ක්‍ෂත්‍රිය වූහ. කැත්කුලෙහි උපන්හ. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ වෙස්සභූ භගවත්හු ජාතියෙන් ක්‍ෂත්‍රිය වූහ, කැත්කුලෙහි උපන්හ. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසන්‍ධ භගවත්හු ජාතියෙන් බ්‍රාහ්මණ වූහ, බමුණුකුලයෙහි උපන්හ. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කෝණාගමන භගවත්හු ජාතියෙන් බ්‍රාහ්මණ වූහ, බමුණුතුලෙහි උපන්හ. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කාශ්‍යප භගවත්හු ජාතියෙන් බ්‍රාහ්මණ වූහ, බමුණුකුලෙහි උපන්හ. මහණෙනි, මෙ කලැ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ මම් ජාතියෙන් ක්‍ෂත්‍රිය වීමි, කැත්කුලෙහි උපන්මි.
7. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ විපස්සී භගවත්හු ගෝත්‍රයෙන් කෞණ්ඩිණ්‍ය වූහ. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ සිඛී භගවත්හු ගෝත්‍රයෙන් කෞණ්ඩිණ්‍ය වූහ. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ වෙස්සභූ භගවත්හු ගෝත්‍රයෙන් කෞණ්ඩිණ්‍ය වූහ. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසන්‍ධ භගවත්හු ගෝත්‍රයෙන් කාශ්‍යප වූහ.