2.
මහානිදාන සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ කුරු රටැ කුරු දනවු වැස්සන්ගේ කල්මාෂදම්ය නම් යම් නියම් ගමෙක් වී ද, එහි වැඩ වසන සේක. එ කල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හිඳ ගත්හ. එක්පසෙක හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ “වහන්ස, මේ ප්රතීත්යසමුපත්පාදය කොතරම් ගැඹුරු ද, කොතරම් ගැඹුරු පෙනුම් ඇත්තේ ද යනු ආශ්චර්ය්ය ය, අද්භූත ය. එතෙකුදු වුවත් මට එය ප්රකට වූවක් මෙන්, ඉතා ප්රකට වූවක් මෙන් වැටහේ යැ” යි කීහ.
2. ආනන්දය, එසේ නො කිය. ආනන්දය එසේ නො කිය. ආනන්දය, මේ ප්රතීත්යසමුත්පාදය ගැඹුරු ද වේ, ගැඹුරු පෙනුම් ඇත්තේ ද වේ. ආනන්දය, මේ ධර්මය අනුබෝධ නො කිරීමෙන්, ප්රතිවේධ නො කිරීමෙන්, මෙසේ මේ සත්ත්වප්රජාව (පෙහෙර) හූකැටියක් මෙන් අවුල් වූවා, කැඳ ලූ පෙහෙර හූ මෙන් ගැට ගැසුණී නොහොත් කිරිලි කසල්ලක් බඳු වූවා, මුදුතණ බබුස් තණ සේ අවුල් වූවා සැපයෙන් පහ වූ, නපුරු ගති ඇති, විවශ ව පතිත වීම් ඇති අපාය ද සසර ද ඉක්ම නො යෙයි.
3. ආනන්දය, ‘මේ යම් ප්රත්යයයෙකින් ජරාමරණ වේ නම්, එසේ වූ ප්රත්යයයෙක් ඇත් දැ?’ යි විචාරන ලද්දාහු විසින් ‘ඇතැ’ යි ඔහුට කිය යුතු. ‘කිමෙක ප්රත්යයයෙන් ජරාමරණ වේ දැ’ යි මෙසේ විචාරන්නේ නම් ‘ජාතිප්රත්යයයෙන් ජරාමරණ වේ යැ’ යි මෙසේ ඔහුට කිය යුතු.
ආනන්දය, ‘මේ යම් ප්රත්යයයෙකින් ජාතිය (ඉපැත් ම)වේ නම්, එසේ වූ ප්රත්යයයෙක් ඇත් දැ?’ යි විචාරන ලද්දාහු විසින් ‘ඇතැ’ යි ඔහුට කිය යුතු. ‘කිමෙක ප්රත්යයයෙන් ජාතිය වේ දැ’ යි මෙසේ විචාරන්නේ නම් ‘භවප්රත්යයයෙන් ජාතිය වේ යැ’ යි මෙසේ ඔහුට කිය යුතු.
ආනන්දය, ‘මේ යම් ප්රත්යයයෙකින් භවය වේ නම්, එසේ වූ ප්රත්යයයෙක් ඇත් දැ?’ යි විචාරන ලද්දාහු විසින් ‘ඇතැ’ යි ඔහුට කිය යුතු. ‘කිමෙක ප්රත්යයයෙන් භවය වේ දැ’ යි මෙසේ විචාරන්නේ නම් ‘උපාදානප්රත්යයයෙන් භවය වේ යැ’ යි මෙසේ ඔහුට කිය යුතු.
ආනන්දය, ‘මේ යම් ප්රත්යයයෙකින් උපාදානය වේ නම්, එබඳු ප්රත්යයයෙක් ඇත් දැ?’ යි විචාරන ලද්දාහු විසින් ‘ඇතැ’ යි ඔහුට කිය යුතු. ‘කිමෙක ප්රත්යයයෙන් උපාදානය වේ දැ’ යි මෙසේ විචාරන්නේ නම් ‘තෘෂ්ණාප්රත්යයයෙන් උපාදානය වේ යැ’ යි මෙසේ ඔහුට කිය යුතු.
ආනන්දය, ‘මේ යම් ප්රත්යයයෙකින් තෘෂ්ණාව වේ නම්, එසේ වූ ප්රත්යයයෙක් ඇත් දැ?’ යි මෙසේ විචාරන ලද්දාහු විසින් ‘ඇතැ’ යි ඔහුට කිය යුතු. ‘කිමෙක ප්රත්යයයෙන් තෘෂ්ණාව වේ දැ’ යි මෙසේ විචාරන්නේ නම් ‘වේදනාප්රත්යයයෙන් තෘෂ්ණාව වේ යැ’ යි මෙසේ ඔහුට කිය යුතු.
ආනන්දය, ‘මේ යම් ප්රත්යයයෙකින් වේදනාව වේ නම්, එබඳු වූ ප්රත්යයයෙක් ඇත් දැ?’ යි මෙසේ විචාරන ලද්දාහු විසින් ‘ඇතැ’ යි ඔහුට කිය යුතු. ‘කිමෙක ප්රත්යයයෙන් වේදනාව වේ දැ’ යි මෙසේ විචාරන්නේ නම් ‘ස්පර්ශප්රත්යයයෙන් වේදනාව වේ යැ’ යි මෙසේ ඔහුට කිය යුතු.
ආනන්දය, ‘මේ යම් ප්රත්යයයෙකින් ස්පර්ශය වේ නම්, එසේ වූ ප්රත්යයයෙක් ඇත් දැ?’ යි මෙසේ විචාරන ලද්දාහු විසින් ‘ඇතැ’ යි ඔහුට කිය යුතු. ‘කිමෙක ප්රත්යයයෙන් ස්පර්ශ්ය වේ දැ’ යි මෙසේ විචාරන්නේ නම් ‘නාමරූපප්රත්යයයෙන් ස්පර්ශය වේ යැ’ යි මෙසේ ඔහුට කිය යුතු.
ආනන්දය, ‘මේ යම් ප්රත්යයයෙකින් නාමරූප වේ නම්, එසේ වූ ප්රත්යයයෙක් ඇත් දැ?’ යි මෙසේ විචාරන ලද්දාහු විසින් ‘ඇතැ’ යි ඔහුට කිය යුතු. ‘කිමෙක ප්රත්යයයෙන් නාමරූප වේ දැ’ යි මෙසේ විචාරන්නේ නම් ‘විඥානප්රත්යයයෙන් නාමරූප වේ යැ’ යි මෙසේ ඔහුට කිය යුතු.
ආනන්දය, ‘මේ යම් ප්රත්යයයෙකින් විඥානය වේ නම්, එසේ වූ ප්රත්යයයෙක් ඇත් දැ?’ යි විචාරන ලද්දාහු විසින් ‘ඇතැ’ යි ඔහුට කිය යුතු. ‘කිමෙක ප්රත්යයයෙන් විඥානය වේ දැ’ යි මෙසේ විචාරන්නේ නම් ‘නාමරූපප්රත්යයයෙන් විඥානය වේ යැ’ යි මෙසේ ඔහුට කිය යුතු.
ආනන්දය, මෙසේ නාමරූපප්රත්යයයෙන් විඥානය වේ. විඥානප්රත්යයයෙන් නාමරූප වේ. නාමරූප ප්රත්යයයෙන් ස්පර්ශය වේ. ස්පර්ශ ප්රත්යයයෙන් වේදනාව වේ. වේදනාප්රත්යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්රත්යයයෙන් උපාදානය වේ. උපාදානප්රත්යයයෙන් භවය වේ. භවප්රත්යයයෙන් ජාතිය වේ. ජාතිප්රත්යයයෙන් ජරාමරණ, ශෝක පරිදේව දුක් දොම්නස් උපායාස යන මොහු පහළ වෙත්. මෙසේ මේ සියලු දුක්රැසේ ඉපැත් ම වේ.”
4. “ආනන්දය, ‘ජාතිප්රත්යයයෙන් ජරාමරණ වේ’ යැ යි මෙසේ ම මෙය කියන ලදි. ආනන්දය, යම්සේ ජාතිප්රත්යයයෙන් ජරාමරණ වේද, මෙය මේ කරුණිනුත් දත යුතු: ආනන්දය, හැම අයුරින් ම හැම ලෙසින් ම ජාතිය කිසිවකුට කිසිදු තැනෙක නොවී නම්, විභාග විසින් - දෙවියන්ගේ දෙව්බව පිණිස හෝ ගඳෙව්වන්ගේ ගඳෙව්බව පිණිස හෝ යකුන්ගේ යක්බව පිණිස හෝ උපන් කවර හෝ සතුන්ගේ ඒ ලත් අත්බව පිණිස හෝ මිනිසුන්ගේ මිනිස්බව පිණිස හෝ සිවුපාවුන්ගේ සිවුපාබව පිණිස හෝ පක්ෂීන්ගේ පක්ෂි බව පිණිස හෝ සරීසෘපයන්ගේ (බඩ ගා යන සතුන්ගේ)සරීසෘප බව පිණිස හෝ ඒ ඒ සතුන්ගේ එසේ වීම පිණිස ජාතිය නො වී නම්, සර්වප්රකාරයෙන් ම ජාතිය නැති කල්හි ජාතියගේ නිරෝධයෙන් (අභාවයෙන්) ජරාමරණය පැනෙන්නේ ද?”
“වහන්ස, මෙය නො ම වන්නේ යැ” යි අනඳ තෙරණුවෝ වදාළහ.
“එහෙයින් ආනන්දය, යම් මේ ජාතියෙක් වේ ද, ජරාමරණයට මෙය ම හේතු ය, මෙය ම නිදාන ය, මෙය ම සමුදය ය, මෙය ම ප්රත්යය ය.”