සියලු පව් නොකරනු ද, කුසල් උපදවනු හා වඩනු ද, සිය සිත පිරිසිදු කරනු ද යන මේ බුදුවරුන්ගේ ශාසන ය.
මෙරමාහට උපවාද නොකරනු ද, මෙරමා නොපෙළනු ද, පාමොක් හි සංවරය ද, බතෙහි පමණ දැන්ම ද, ගමින් ඈත සෙනස්නෙහි ඇල්ම ද, අධිචිත්තයෙහි (රූපාරූප අටසමවත්හි) යෙදෙනු ද යන මේ බුදුවරුන්ගේ ශාසන යි.”
116. මහණෙනි, මම් එක් සමයෙක්හි උක්කට්ඨාපුරය සමීපයෙහි වූ ශුභගවනයෙහි මහරුක් මුලැ වෙසෙමි. මහණෙනි, එකලා වැ චිත්ත විවේකයෙන් යුක්ත වූ ඒ මට “මේ දීර්‍ඝකාලය තුළ ශුද්ධාවාසයන් හැර මා නො වුසූ විරූ අන් සත්‍වාවාසයෙක් වේ ද, එය සුලභරූප නො වේ (දුර්‍ලභ ය). ශුද්ධාවාසි දෙවියෝ යම් තැනෙක ඇද්ද එතැනට එළැඹෙන්නෙම් නම් යෙහෙකැ” යි මෙසේ චිත්තසංකල්පනාවෙක් උපන. මහණෙනි, ඉක්බිති මම් බල ඇති පුරුෂයෙක් යම්සේ හැකුළූ හෝ අත දිගු කරන්නේ ද, දිගු කළ හෝ අත හකුලන්නේ ද, එසේ ම උක්කට්ඨායෙහි ශුභගවනයෙහි වෘක්‍ෂරාජ මූලයෙහි අතුරුදහන් වැ අවිහ දෙවියන් අත්රෙහි පහළ වීමි.
117. මහණෙනි, ඒ දෙව්නකාහි නොයෙක් දහස් ගණන් දෙවියෝ, නොයෙක් ලක්‍ෂ ගණන් දෙවියෝ මා කරා එළැඹුණහ. එළැඹ මා වැඳ එක් පසෙක සිටියහ. මහණෙනි, එක් පසෙක සිටියා වූ ම ඒ දෙවියෝ මට මෙය කීහ: “නිදුකාණන් වහන්ස, යම් කලෙක භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු ලොවැ පහළ වූහු ද, ඒ මෙයින් එක්අනූ වන කප ය. නිදුකාණන් වහන්ස, භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු ජාතියෙන් ක්‍ෂත්‍රිය වූහ, ක්‍ෂත්‍රියකුලයෙහි උපන්හ. නිදුකාණන් වහන්ස, භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු ගෝත්‍රයෙන් කොණ්ඩඤ්ඤ වූහ. නිදුකාණන් වහන්ස, භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුනට ආයුෂප්‍රමාණය වස් අසූදහසෙක් විය. නිදුකාණන් වහන්ස, භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු පළොල් රුක්මුලැ බුදු වූහ. නිදුකාණන් වහන්ස, භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන්හට ඛණ්ඩ තිස්ස නම් භද්‍රයුගල වූ අගසවු යුවලෙක් විය. නිදුකාණන් වන්ස, භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන්ගේ සව්වන් පිළිබඳ තුන් සන්නිපාත කෙනෙක් වූහ: සව්වන් පිළිබඳ එක් සන්නිපාතයෙක් භික්‍ෂූන් එක්සිය අටසැට දහසෙක් විය. සව්වන්ගේ එක් සන්නිපාතයෙක් භික්‍ෂූන් සියදහසෙක් විය. සව්වන්ගේ එක් සන්නිපාතයෙක් භික්‍ෂූන් අසූදහසෙක් විය. නිදුකාණන් වහන්ස, භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන්ගේ හැම දෙන ම රහතුන් වූ ශ්‍රාවකයන් පිළිබඳ මේ තුන් සන්නිපාත කෙනෙක් වූහ. නිදුකාණන් වහන්ස, භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුනට අශෝක නම් භික්‍ෂූ අග්‍ර උපස්ථායක් වූ උවටු විය. නිදුකාණන් වහන්ස, භගවත් වූ අර්‍හත් වූ විපස්සී සම්මාසම්බුදුන්ගේ පිය තෙම බන්‍ධුමත් නම් රජ වී ය. වැදූ මෑණියෝ බන්‍ධුමතී නම් දේවි වූහ. බන්‍ධුමත් රජහුගේ රාජධානිය බන්‍ධුමතී නම් නගරය විය. නිදුකාණන් වහන්ස, භගවත් වූ අර්‍හත් වූ විපස්සී සම්මාසම්බුදුන්ගේ අභිනිෂ්ක්‍රමණය මෙසේ විය. පැවිද්ද මෙසේ විය. ප්‍රධන් වීර්‍ය්‍ය වැඩීම මෙසේ විය. අභිසම්බෝධිය මෙසේ විය. දම්සක් පැවැත්වීම මෙසේ විය. නිදුකාණන් වහන්ස, ඒ අපි විපස්සී භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වැස කාමයන්හි කාමච්ඡන්‍දය දුරු කොට මෙහි උපන්‍නමෝ යැ” යි (සැළ කළහ) ...