9.
පොට්ඨපාද සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුසිටුහු අරමැ වැඩ වසන සේක. එ සමයෙහි පොට්ඨපාද නම් පිරිවැජි තෙම, (බමුණුනිවටු ආදීන් රැස් වැ තමතමන් සමය පවසන හෙයින්) සමයප්රවාදක නම් වූ (තිඹිරිරුක්පෙලින් පිරිකෙවුණු හෙයින්) තින්දුකාචීර නම් වූ (පළමු එක් හලක් ම වූ තැන බැවින්) ඒකශාලක නම් වූ, මල්ලිකා දේවියගේ උයනෙහි, පිරිවැජියන් තුන්දහසක් පමණ වූ මහ පිරිවැජි පිරිසක් හා වෙසෙයි.
2. එ කල්හි භාග්යවතුන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳැ පෙරෙවැ පිඬු පිණිස සැවැත් නුවර පිවිසි සේක. එ විටැ “සැවැතෙහි පිඬු පිණිස හැසිරෙනුවට තව මැ ඉතා උදෑසන යැ. ඉදින් මම් සමයප්රවාදක තින්දුකාචීර ඒකශාලක නම් වූ මල්ලිකාරාමය කරා, පොට්ඨපාද පිරිවැජි වෙත ගියෙම් නම් යෙහෙකැ”යි භාග්යවතුන් වහන්සේට මේ සිත විය. ඉක්බිත්තෙන් භාග්යවතුන් වහන්සේ ... ඒ මල්ලිකාරාමය කරා වැඩි සේක.
3. එ සමයෙහි පොට්ඨපාද පිරිවැජි තෙම - රාජකථා චෝරකථා මහාමාත්රකථා සේනාකථා භයකථා යුද්ධකථා අන්නකථා පානකථා වස්ත්රකථා ශයනකථා ගන්ධකථා මාලාකථා ඥාතිකථා යානකථා ග්රාමකථා නිගමකථා නගරකථා ජනපදකථා ස්ත්රීකථා පුරුෂකථා ශූරකථා විසිඛාකථා කුම්භස්ථානකථා පූර්වප්රේතකථා ලෝකාඛයිකා සමුද්රාඛ්යායිකා ඉතිභවාභවකථා යන මේ හෝ මෙයින් අන්ය වූ මෙබඳු නොයෙක් වැදෑරුම් තිරිසන්කථා කියන, ඝෝෂවත් වූ, උස් හඬ මහහඬ ඇති මහපිරිවැජි පිරිස සහ හුන්නේ වෙයි.
4. පොට්ඨපාද පිරිවැජි තෙම දුරින් ම වඩනා භාග්යවතුන් වහන්සේ දුටුයේ ය. දැකැ “භවත්හු නිහඬ වෙත් වා. භවත්නි, හඬ නො කරවු. මේ මහණ ගොයුම් එයි. ඒ ආයුෂ්මත් තෙම නිහඬබව කැමැත්තේ ය. නිහඬබව්හි ගුණ කියන සුලු ය. පිරිස නිහඬ සේ දැන එළැඹියැ යුතු කොට සිතුවොත් යෙහෙකැ”යි සිය පිරිස සංහුන් කෙළේ ය. මෙසේ ඔහු කී කලැ ඒ පිරිවැජියෝ නිහඬ වූහ. ඉක්බිත්තෙන් භාග්යවතුන් වහන්සේ පොට්ඨපාද පිරිවැජියා කරා එළැඹි සේක. එ කල්හි පොට්ඨපාද පිරිවැජි තෙම භාග්යවතුන් වහන්සේට, “වහන්ස, භාග්යවතුන් වහන්සේ වඩනා සේක් වා. වහන්ස භාග්යවතුන් වහන්සේ වැඩි සේ යහපත. වහන්ස, භාග්යවතුන් වහන්සේ මෙහි වඩනට කලෙකින් පසු මේ අවස්ථාව ලත් සේක් වන. වහන්ස, භාග්යවතුන් වහන්සේගේ ශුභාගමනයෙකි. මේ අස්නෙක් පනවන ලදැ”යි කී ය. පනවන ලද අස්නෙහි භාග්යවතුන් වහන්සේ වැඩ හුන් සේක. පොට්ඨපාද පිරිවැජි ද එක්තරා මිටි අස්නක් ගෙන එක් පසෙක හුන්නේ ය. එක් පසෙක හුන් පොට්ඨපාද පිරිවැජියාට “පොට්ඨපාදයිනි , මෙහි දැන් තෙපි කවර නම් කථායෙකින් හුන්නහු ද? මා එන්නාට පෙර මා එන තෙක් මේ අතර තොපගේ කිනම් කථාවෙක් අඩාළ වී දැ?”යි අසාවදාළ සේක.
5. මෙසේ වදාළ කලැ, පොට්ඨපාද පිරිවැජි භාග්යවතුන් වහන්සේට මෙය කී ය: “වහන්ස, යම් කථාවෙකින් අපි මෙහි හුන්නමෝ නම්, ඒ කථාව තිබේවා. වහන්ස, ඒ කථාව පසු ව ද භාග්යවතුන් වහන්සේට අසන්නට දුර්ලභ නො වෙයි. පුරිම පුරිමතර දවස්හි (බොහෝ කලකට පෙරැ) කුතුහලශාලායෙහි එක් වැ හුන් එක් රැස් වූ මහණ බමුණන් අතරැ “භවත්නි, අභිසංඥානිරෝධය (චිත්ත නිරෝධය, ක්ෂණිකනිරෝධය) කෙසේ නම් වේ ද?”යි අභිසංඥානිරෝධයෙහි කථාවෙක් පහළ විය.
(1) එහි ඇතැම්හු “හේතු නැති වැ ප්රත්යය නැති වැ පුරිස්හට සංඥාවෝ උපදනාහු ද නිරුද්ධ වන්නාහු ද වෙත්. යම් විටෙක ඔහු උපදනාහු ද, එ විටැ හේ සංඥී (සංඥා ඇත්තේ) වෙයි. යම් විටෙක සංඥාවෝ නිරුද්ධ වන්නාහු ද, එ විට හේ අසංඥී වේ” යැ යි මෙසේ කීහ. මෙසේ ඇතැම් කෙනෙක් අභිසංඥානිරෝධය (චිත්තනිරෝධය) පණවත්.
(2) ඔහුට අනෙකෙක්, “භවත, මට මෙය මෙසේ නො වන්නේ ය. (මගේ දැනීම මෙසේ නො වන්නේ ය.) භවත, සංඥාව පුරුෂයාගේ ආත්මය ය. එ ද එළැඹෙන්නේත් වෙයි. ඉවත් වැ යන්නේත් වෙයි. යම් කලෙක එය එළැඹේ ද, එ කලැ හේ සංඥී වෙයි. යම් කලෙක පහ වැ යේ ද, එ කලැ, අසංඥී වේ යැ”යි මෙසේ කී ය. මෙසේ ඇතැම් කෙනෙක් අභිසඤ්ඤානිරෝධය පණවත්.
(3) ඔහුට අනෙකෙක්, භවත, මට මෙය මෙසේ නො වන්නේ ය. භවත, මහත් ඍද්ධි ඇති මහත් අනුභාව ඇති මහණ බමුණු කෙනෙක් වෙත් ම ය. ඔහු මේ පුරුෂයාට සංඥාව පමුණු වන්නෝ ද වෙති. ඔහුගේ සංඥාව ඉවතට අදනෝ ද වෙති. යම් විටෙක ඔහු කරා සංඥාව පමුණුවත් නම්, එ විටැ හෙතෙම සංඥී වෙයි. යම් විටෙක සංඥාව ඉවතට අදනාහු නම්, එ විටැ අසංඥී වේ” යැ යි කී ය. මෙසේ ඇතැම්හු අභිසංඥානිරෝධය පණවත්.
(4) ඔහුට අනෙකෙක්, “භවත, මෙය මට මෙසේ නො වන්නේ ය. භවත, මහත් ඍද්ධි ඇති, මහත් අනුභාව ඇති, දේවතා කෙනෙක් ඇත. ඔහු මේ පුරුෂයා වෙතට සංඥාව පමුණුවන්නෝ ද, මොහුගෙන් ඉවතට අදනෝ ද වෙත්. යම් විටෙක සංඥාව මොහු වෙතට පමුණුවත් ද, එවිටැ මෙ තෙම සංඥී වෙයි. යම් විටෙක එය මොහුගෙන් ඉවතට අදිත් ද, එ විටැ අසංඥී වෙයි. මෙසේ ඇතැම්හු අභිසංඥානිරෝධය පණවත්” යැ යි කී ය. මෙසේ ඇතැම්හු අභිසංඥානිරෝධය පණවත්.
6. වහන්ස “යම් කෙනෙක් මේ දහම්හි නිපුණ ද ඒ භාග්යවතුන් වහන්සේ අහෝ මෙය පවසන සේක් නම් ඉතා මැනැව නු. ඒ සුගතයන් වහන්සේ මෙය වදාරන සේක් නම් ඉතා මැනැව නො”යි (එ වේලෙහි) මට භාග්යවතුන් වහන්සේ ම ඇරැබ සිහිය උපන. වහන්ස, භාග්යවතුන් වහන්සේ අභිසංඥානිරෝධයෙහි නිපුණ සේක. ඇති සැටිය (ප්රකෘතිය) දන්නා සේක. වහන්ස අභිසංඥානිරෝධය කෙසේ වේ ද?”.