10.
ශුභ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි නොබෝ කල්හි අනඳ තෙරණුවෝ සැවැත්නුවර නිසා දෙව්රම් නම් වූ අනේපිඬුසිටුහු අරමෙහි වෙසෙති. එ සමයෙහි තෝදෙය්‍ය බමුණුහු පුත් වූ ශුභ මාණව තෙම කිසි කටයුත්තෙකින් සැවැත්නුවරැ වෙසෙයි.
2. එකලැ තෝදෙය්‍ය බමුණහු පුත් ශුභ මාණව තෙම එක්තරා මාණවකයකු බණවා, “මාණවකය, මෙහි එන්නැ. අනඳ මහණහු කරා එළැඹෙන්නැ. එළැඹැ, “ශුභ මාණව තෙමේ පින්වත් අනඳ වහන්දෑ අල්පාබාධ නියා, නීරෝග නියා, හෑල්ලු පැවැතුම් ඇති නියා, කාබල ඇති නියා, සුවපහසු විහරණ ඇති නියා විචාරා”යි මා බසින් පින්වත් අනඳ වහන්දෑ අල්පාබාධ නියා ... විචාරන්නැ. “පින්වත් අනඳ තෙරණුවෝ අනුකම්පා සඳහා තෝදෙය්‍ය බමුණහු පුත් ශුභ මාණවයාගේ ගෙය කරා වඩිත් වා. එසේ වඩිතොත් ඒ ඉතා මැනැවැ”යි මෙසේත් කියන්නැ යි ඇණැවී ය.
3. “එසේ යැ භවතැ’ යි කියා ම ඒ මාණවක තෙමේ තෝදෙය්‍ය බමුණහු පුත් ශුභ මාණවයාට පිළිවදන් දී අනඳ තෙරුන් කරා එළැඹියේ ය. එළැඹැ, අනඳ තෙරුන් හා සතුටු විය. සතුටට කරුණු වූ සිතැ රැඳැවියැ යුතු වූ කථා නිමවා පසෙකැ හිඳැ ගත. පසෙකැ හුන් ම ඒ මාණවක තෙමේ “තෝදෙය්‍ය බමුණහු පුත් ශුභ මාණව භවත් අනඳ වහන්දෑ අල්පාබාධ නියා, නීරෝග නියා, හෑල්ලු පැවැතුම් ඇති නියා, කාබල ඇති නියා, සුඛ විහරණ ඇති නියා විචාරයි. ‘පින්වත් අනඳ වහන්දෑ තෝදෙය්‍ය බමුණහු පුත් ශුභ මාණවයාගේ ගෙය කරා එළැඹෙත් වා, එසේ එළැඹෙතොත් ඒ ඉතා මැනැවැ යි මෙසේත් කියා” යැ යි අනඳ තෙරුනට සැළ කෙළේ ය.
4. මෙසේ කී කලැ, අනඳ තෙරණුවෝ ඒ මාණවකයාට “මාණවකය, දැන් නොකල් ම ය. අද මා ස්වල්ප බෙහෙදක් පීවා ඇත. කල් වේලා සලකා සෙට වත් එළැඹෙන්නමෝ වේ දැ” යි වදාළහ. ‘එසේ යැ පින්වතැ’යි කියා ම ඒ මාණවක තෙම් අනඳ තෙරුනට පිළිවදන් දී හුනස්නෙන් නැගී තෝදෙය්‍ය පුත් ශුභ මාණවයා වෙත ගියේ ය. ගොස් තෝදෙය්‍ය පුත් ශුභ මාණවයාට ‘තෝදෙය්‍ය පුත් ශුභ මාණව තෙම් පින්වත් අනඳ වහන්දෑ අල්පාබාධ නියා, නීරෝග නියා, හෑල්ලු පැවැතුම් ඇති නියා, කාබල ඇති නියා, සුඛ විහරණ ඇති නියා, විචාරයි. පින්වත් අනඳ වහන්දෑ අනුකම්පා කොට තෝදෙය්‍ය බමුණු පුත් ශුභ මාණවයාගේ ගෙට වඩිත් වා. එසේ වඩිතොත් ඉතා මැනැවැ යි මෙසේත් කියා”යැ යි භවත්හුගේ වචනයෙන් ඒ පින්වත් අනඳ වහන්දෑට සැළ කළම්හ. භවත, අප එසේ සැළ කළ කල්හි අනඳ වහන්දෑ මට “මාණවකය, දැන් නොකල් ම ය. අද මා ස්වල්ප බෙහෙදක් පීවා ඇත. කල් වෙලා සලකා සෙට වත් එළැඹෙන්නමෝ වේ දැ’ යි වදාළහ” යි කීයේ ය. “භවත, යම් හෙයෙකින් පින්වත් අනඳ වහන්දෑ හෙට වත් මෙහි එළැඹෙන්නට අවකාශ කළෝ ද, මෙතෙකින් මත් මේ (අප නිමන්ත්‍රණය පිළිගැන්ම) කරන ලද්දේ මැ යැ” යි ශුභ මාණව කී ය.
5. ඉක්බිත්තෙන් අනඳ තෙරණුවෝ ඒ රැය ඇවෑමෙන් පෙරවරුයෙහි හැඳැ පෙරෙවැ පාසිවුරු ගෙන පසුමහණකු වූ චේතක භික්‍ෂුහු කැටුවැ තෝදෙය්‍ය පුත් ශුභ මාණවයාගේ ගෙය කරා එළැඹියහ. එළැඹ පණවන ලද අස්නැ හිඳැ ගත්හ. එ කල්හි ම තෝදෙය්‍ය පුත් ශුහ මාණව තෙම අනඳ තෙරුන් කරා එළැඹියේ ය. එළැඹැ අනඳ තෙරුන් හා සතුටු විය. සතුටට කරුණු වූ සිතැ රැඳවිය යුතු වූ කතා කොට නිමවා එක් පසෙක හිඳැ ගත.
6. එක් පසෙක හිඳැ ගත් ම තෝදෙය්‍ය පුත් ශුභ මාණව තෙම අනඳ තෙරුනට මෙය කී ය: “පින්වත් අනඳ වහන්දෑ වූ කලි ඒ භවත් ගෞතමයන් වහන්සේට දික් කලක් උපස්ථායක වූ, වෙත ම ගැවැසුණු, ළඟ ම හැසුරුණු කෙනෙක. ඒ භවත් ගෞතමයන් වහන්සේ යම් දහම් කෙනෙකුන්ගේ ගුණ කියන සුලු වූසේක් ද, යම් දහමෙක්හි මේ ජනසමූහයා ගැන්වූ සේක් ද, පිවිස්වූ සේක්ද, පිහිටුවූ සේක් ද, එය පින්වත් අනඳ වහන්දෑ දන්නාහ. පින්වත් අනඳ තෙරුනි, ඒ භවද් ගෞතමයන් වහන්සේ කවර නම් දහම් කෙනෙකුන්ගේ ගුණ කියන සුලු වූ සේක් ද? කවර නම් දහමෙක්හි මේ ජනමුළුව ගැන්වූ සේක් ද? පිවිස්වූ සේක් ද?” පිහිටු වූ සේක් ද?
7. (එ විට අනඳ තෙරණුවෝ මෙසේ වදාළහ:) “මාණවය, ඒ භාග්‍යවතුන් වහන්සේ ස්කන්‍ධ තුනෙක ගුණ වදාරන සුලු වූ සේක. එහි ම මේ දනමුළුව ගැන්වූ සේක, පිවිස්වූ සේක, පිහිටවූ සේක. කවර ස්කන්‍ධ තුනෙක් ද? යත්: ආර්‍ය්‍යශීලස්කන්‍ධයත් ආර්‍ය්‍යසමාධිස්කන්‍ධයත් ආර්‍ය්‍යප්‍රඥාස්කන්‍ධයත් යන තුනේ ය. මාණවය, ඒ භාග්‍යවතුන් වහන්සේ මේ තුන් ස්කන්‍ධයන්ගේ ගුණ වදාරන සුලු වූ සේක. මෙහි ම මේ දනමුළුව ගැන්වූ සේක, පිවිස්වූ සේක, පිහිටවූ සේක.”
8. [ශුභ මාණව:] “පින්වත් අනඳ තෙරුනි, ඒ භවද්ගෞතමයන් වහන්සේ යම් දහමක්හුගේ ගුණ වදාරන සුලු වූ සේක් නම්, යම් දහමෙක්හි මේ ජනතාව ගැන්වූ සේක් නම්, පිවිස්වූ සේක් නම්, පිහිටිවූ සේක් නම්, ඒ ආර්‍ය්‍ය ශීලස්කන්‍ධය කවරෙ යැ?”
9. [අනඳ තෙරණුවෝ:] “මාණවය, මෙහි අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ විද්‍යාචරණසම්පන්න වූ සුගත වූ ලෝකවිත් වූ නිරුත්තර පුරුෂදම්‍යසාරථී වූ දෙව්මිනිස්නට ශාස්තෘ වූ බුද්ධ වූ භගවත් වූ තථාගත තෙමේ ලොවැ පහළ වෙයි. හේ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ මේ ලෝකය ද, මහණ බමුණන් සහිත, සම්මත දෙවියන් (රජුන්) හා සෙසු මිනිසුන් හා සහිත සත්ත්‍වප්‍රජාව ද තෙමේ විශිෂ්ට නුවණින් දැන, ප්‍රත්‍යක්‍ෂ කොට, ඔවුනට අවබෝධ කරවයි. හේ දහම් දෙසනුයේ ආදියෙහි භද්‍රක (නිවරද) කොට, මධ්‍යයෙහි භද්‍රක (නිවරද) කොට, අවසනැ භද්‍රක (නිවරද) කොට, අර්‍ත්‍ථ සහිත කොට, ව්‍යංජන සහිත කොට, සර්‍වප්‍රකාරයෙන් පරිපූර්‍ණ කොට, දහම් දෙසයි. (එසේ දෙසනුයේ ශික්‍ෂාත්‍රයයෙන් සංගෘහීත වූ) පරිශුද්ධ ශාසනබ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙයි.