11.
කේවට්ට සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක භාග්යවතුන් වහන්සේ නාලන්දා නුවරට නොදුරු නොළං තන්හි වූ පාවාරික අඹවෙනෙහි වැඩ වසන සේක. එ කල්හි කේවඩ්ඪ නම් ගැහැවිපුත් භාග්යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්යවතුන් වහන්සේ සාදර ව වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන්නා වූ ම කේවඩ්ඪ ගැහැවිපුත් තෙම “වහන්ස, මේ නාලන්දා නගරිය සමෘද්ධ ය, ස්ථිත ය (නන් වැදෑරුම් භාණ්ඩයෙන් පිරුණේ ය), බොහෝ ජනයා ඇත්තේ ය, ගැවැසුණු මිනිසුන් ඇත්තේ ය, භාග්යවතුන් වහන්සේ කෙරෙහි වෙසෙසින් පැහැදුණේ ය. වහන්ස, යාච්ඤා කරම්, යමෙක් උතුරුමිනිස්දහමින් ඉදුපෙළහර කරන්නේ නම්, එසේ වූ එක් මහණකුට භාග්යවතුන් වහන්සේ අණ කරන සේක් වා. මෙසේ මේ නාලන්දාව වඩාලාත් භාග්යවතුන් වහන්සේ කෙරෙහි පහදින්නේ යැ”යි භාග්යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය.
2. මෙසේ කී කල්හි භාග්යවතුන් වහන්සේ කේවඩ්ඪ ගැහැවිපුතු බණවා, “කේවඩ්ඪය, ‘මහණෙනි, තෙපි (මෙසේ) එවු. සුදුවත් හඳින ගිහිනට උතුරුමිනිස්දහමින් පෙළහර කරවු’ යැ යි මහණුනට මෙසේ දහම් නො දෙසමි’යි වදාළ සේක.
3. දෙවෙනි වර ද කේවඩ්ඪ ගැහැවිපුත් තෙම “වහන්ස, මේ නාලන්දා නගරිය සමෘද්ධ ය, ස්ථිත ය. බොහෝ ජනයා ඇත්තේ ය. මිනිසුන්ගේ ගැවැසුණේ ය. භාග්යවතුන් වහන්සේ කෙරෙහි වෙසෙසින් පැහැදුණේ ය. වහන්ස, යාච්ඤා කරම්, යමෙක් උතුරු මිනිස් දහමින් ඉදුපෙළහර කරන්නේ නම්, එසේ වූ එක් මහණකුට භාග්යවතුන් වහන්සේ කෙරෙහි පහදින්නේ යැ යි භාග්යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. දෙවෙනි වර ද භාග්යවතුන් වහන්සේ කේවඩ්ඪ ගැහැවිපුතුට, “කේවඩ්ඪය, ‘මහණෙනි, තෙපි (මෙසේ) එවු. සුදුවත් හඳනා ගිහිනට උතුරුමිනිස් දහමින් පෙළහර කරවු’යි මහණුනට මෙසේ දහම් නො දෙසමි”යි වදාළ සේක.
4. තෙවෙනි වර ද කේවඩ්ඪ ගැහැවිපුත්, වහන්ස, මම් භාග්යවතුන් වහන්සේ (ගුණ නසා) පහත හෙළනුයෙම් නො වෙමි. වැලි දූ මේ නාලන්දා නුවර සමෘද්ධ ය. ස්ථිත ය. බොහෝ ජනයා ඇත්තේ ය. මිනිසුන්ගේ ගැවැසුණේ ය. භාග්යවතුන් වහන්සේ කෙරෙහි වෙසෙසින් පැහැදුණේ ය. වහන්ස, යාච්ඤා කරම්, යමෙක් උතුරුමිනිස්දහමින් ඉදුපෙළහර කරන්නේ නම්, එසේ වූ එක් මහණකුට භාග්යවතුන් වහන්සේ අණ කරන සේක් වා. මෙසේ මේ නාලන්දාව වඩාලාත් භාග්යවතුන් වහන්සේ කෙරෙහි පහදින්නේ යැ යි සිතා ම මෙසේ කියමි”යි මෙ වචන කී ය.
5. (එවිට භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “කේවඩ්ඪය, මා විසින් ම වෙසෙසින් දැන පසක් කොට දෙසන ලද මේ පාතිහාර්ය තුනෙකි. කවර තුනෙක් ද? යත්, ඍද්ධිප්රාතිහාර්ය්යය, ආදේශනාප්රාතිහාර්ය්යය, අනුශාසනප්රතිහාර්ය්යය යන තුන ය. කේවඩ්ඪය, ඍද්ධිප්රාතිහාර්ය්යය කවර යැ? කේවඩ්ඪය, මෙහි මහණ පියෙවියෙන් එකෙක් වැ ම සිටැ බොහෝ පරිදි වෙයි. එසේ බොහෝ වැ සිටැ යලි දු එකෙක් වෙයි. පැනෙන බවට යෙයි. නොපැනෙන බවට ද යෙයි. බිත්තියෙන් පිටතට ද පවුරෙන් පිටතට ද පව්වෙන් පිටතට ද අහසෙහි මෙන් නොගැටෙනුයේ විනිවිද යෙයි. පොළොවෙහි ද දියෙහි මෙන් ගිලීම මතු වීම කෙරෙයි. පොළොවෙහි සේ නොබිඳෙන දියෙහි (දිය නොබිඳැ) යෙයි. අහසෙහි ද පියාපත් ඇති ලිහිණියකු මෙන් පලඟින් යෙයි. මේසා මහ ඉදුමත් මේසා මහ තෙදවත් සඳ හිරු දෙදෙනාපවා අත්ලෙන් ස්පර්ශ කෙරෙයි, පිරිමදියි. බඹලොව දක්වා ද කයින් වශය පවත්වයි. නොයෙක් වැදෑරුම් ඍද්ධිවිධ පසක් කෙරෙයි.
6. සැදැහැති පැහැදුණු එක්තරා පුරුෂයෙක්, පියෙවියෙන් එකකු ව සිට බොහෝ පරිදි වන, බොහෝ පරිදි වැ යලි දූ එකකු වන, පැනෙන බවට නොපැනෙන බවට යන, අහසෙහි මෙන් බිත්තියෙන් පිටතට ද පවුරෙන් පිටතට ද නොගැටෙමින් විනිවිද යන, පොළොවෙහි ද දියෙහි මෙන් ගිලීම මතු වීම කරන, පොළොවෙහි සේ නොබිඳෙන දියෙහි යන, අහසෙහි ද පියාපත් ඇති ලිහිණියකු මෙන් පලඟින් යන, මේසා මහ ඉදුමත් මේසා මහතෙදැති සඳහිරු දෙදෙනා අත ගාන, පිරිමදින, බඹලොව දක්වා ද කයින් වශය පවත්වන, මෙසේ නොයෙක් වැදෑරුම් ඉදුකොටස් පසක් කරන එ මහණහු දකී.
7. ඒ සැදැහැති පහන් පුරුෂයා සැදැහැ නැති නොපහන් පුරුෂයකුට ‘භවත, මේ මහණහුගේ මහඉදුමත්බව මහතෙදවත්බව අසිරිමත් ය, පුදුම ය. පියෙවියෙන් එකකු වැ සිට බොහෝ පරිදි වැ යලි එකකු වන ... බඹලොව දක්වාත් කයින් වශය පවත්වන, මෙසේ නොයෙක් වැදෑරුම් ඍද්ධිවිධ පසක් කරන අසෝ මහණහු මම දිටිමි’යි කියයි. එ විට ඒ සැදැහැ ඇති පහන් පුඟුලාට ඒ සැදැහැ නැති නොපහන් පුඟුල් තෙම “භවත, ගාන්ධාරී නම් විද්යාවෙක් ඇත. ඒ මහණ ඒ විදුයෙන් එකෙක් වැ සිට බොහෝ පරිදි වෙයි ... බඹලොව තෙක් ද කයින් වශය පවත්වයි යන මෙසේ වූ නොයෙක් වැදෑරුම් ඍද්ධිවිධය පසක් කෙරේ යැ”යි කියන්නේ ය. කේවඩ්ඪය, ඒ කිමැ යි සිතහි ද? ඒ සැදැහැ නැති නොපහන් තැනැත්තේ ඒ සැදැහැ ඇති පහත් තැනැත්තහුට මෙසේ කියන්නේ ද?” “එසේ කියන්නේ ය වහන්සැ” කේවඩ්ඪ කී ය. “කේවඩ්ඪය, මම ඉදුපෙළහරෙහි මේ දොස දක්නෙම් ඉදුපෙළහරින් පෙළුණකු බඳු වෙමි, ලජ්ජිත වෙමි, එයට පිළිකුල් කෙරෙමි.