12.
ලෝහිච්ච සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් පන්සියක් පමණ වූ මහත් මහණමුළුවක් හා කොසොල් රටැ සැරි සරන සේක්, සාලවතිකා නම් ගමට බට සේක. එ සමයෙහි ලෝහිච්ච බමුණු තෙම (මිනිස් ගව මියු ඇත් අස් ඈ) සතුන්ගෙන් ගැවැසුණු, තණ දඬු දිය ඇති, බොහෝ ධාන්‍ය ඇති, පසේනදී කොසොල් රජුහු විසින් බඹදෙයෙන් තමහට පමුණු කොට දුන් රාජභෝග්‍ය වූ රාජදාය වූ සාලවතිකා ගමට අධිපති වැ වෙසෙයි.
2. එ සමයෙහි ලෝහිච්ච බමුණුහට “මෙහි මහණෙක් හෝ බමුණෙක් හෝ කුසල් දහම් ලබන්නේ නම්, කුසල් දහම් ලැබ එය මෙරමාට නො කියැ යුතු ය. (තමන් ලත් කුසල් දම් තෙමේ ම ගරු කොට විසිය යුතු.) අනෙකෙක් (අනුසාසිතයෙක් අනෙකකුට) (අනුසාසකයක් හට) කවර වැඩක් නම් කරන්නේ ද? තමාගේ පරණ බැඳුමක් සිඳ අන්අළුත් බැඳුමක් කරන්නේ යම්සේ ද, මෙ පරහට කීමේ රුචියත් එසේ ම ලාමක වූ ලෝභ ධර්‍මයෙකැ යි කියමි. අනෙකෙක් අනෙකක්හට කුමක් නම් කරන්නේ දැ?”යි මෙසේ වූ ලාමක මිසදිටෙක් උපන්නේ වෙයි.
3. ලෝහිච්ච බමුණු තෙම (රටෙහි පැතිරැ ගිය) මතු දැක්වෙන කථාව ඇසී යැ. “භවත්නි, සැහැපුත් වූ, සැහැකුලෙන් නික්මැ පැවැදි වූ මහණගොයුම්හු වනාහි මහණුන් පන්සියක් පමණ වූ මහත් මහණමුළුවක් හා කොසොල්රටැ සැරි සරනුවෝ සාලවතිකාවට පැමිණියහ. ඒ භාග්‍යවත්හු මේ මේ කරුණින් රහත්හ, සම්මාසම්බුදුහු, විදුයෙන් හා සරණින් හා යුතුවහ, සුගතහ, ලොව දතුවහ, තමනට වැඩිතරම් එකක්හු නැති පුරිස්දම් සැරියහ, දෙව්මිනිස්නට සථරහ, බුදු හ, භගවත් හ. ඔබ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලොව - මහණ බමුණන් සහිත දෙව්මිනිසුන් සහිත මේ සත්මුළුව තුමූ ම සිය වෙසෙසි නුවණින් දැන පසක් කොට ලොවට දන්වති. ඔබ මුල කලණ මැද කලණ අග කලණ වූ, මනා අරුත් ඇති, පිරිපුන් වියඳුන් ඇති, හැම සැටියෙන් පිරිපුන්, පිරිසිදු දහම් දෙසති. එසේ දෙසනුවෝ සසුන්බඹසර පවසති. එබඳු රහතුන් දැක්ම වූ කලි මනා එකෙකැ’යි ඒ භාග්‍යවත් ගෞතමයන් වහන්සේ පිළිබඳ මෙසේ වූ මනා කිතුහඬෙක් උස් වැ නැංගේ වේ” යනු යැ.
4. එක්බිති ලෝහිච්ච බමුණු භේසිකා නම් නැහැවියා බණවා, “සගය, භේසිකා, මහණ ගොයුමන් වෙත යා. ගොස් ‘පින්වත් ගොයුමාණනි, ලෝහිච්ච බමුණු පින්වත් ගොයුමාණන් ආබාධ නැති නියා, නීරෝග නියා, හෑල්ලු පැවැතුම් ඇති නියා, කාබල ඇති නියා, සුව විහරණ ඇති නියා විචාරා’යි මා බසින් මහණ ගොයුමාණන් ආබාධ නැති නියා, රෝග නැති නියා, හෑල්ලු පැවැතුම් ඇති නියා, කාබල ඇතී නියා විචාරව. පින්වත් ගොයුමාණෝ මහණමුළුව හා සෙට දවසට ලෝහිච්ච බමුණාගේ බත ඉවසත් වා යි ද කියව”යි කී ය.
5. “එසේ ය, ස්වාමීනි”යි භේසිකා නැහැවි ලෝහිච්ච බමුණුට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ වෙත ගියේ ය. ගොස් ඔබ වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් ම භේසිකා නැහැවි “වහන්ස, ලෝහිච්ච බමුණු භාග්‍යවතුන් වහන්සේ නිරාබාධ නියා, නීරෝග නියා, හෑල්ලු පැවැතුම් ඇති නියා, කාබල ඇති නියා, සැප විහරණ ඇති නියා විචාරයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික්සඟන හා සෙට දවසට ලෝහිච්ච බමුණාගේ බත ඉවසන සේක් ව”යි මෙසේත් කියා යැ යි භාග්‍යවතුන් වහන්සේ ට මෙය කී ය. භාග්‍යවතුන් වහන්සේ නිහඬ බැවින් එය ඉවැසූ සේක.
6. ඉක්බිති භේසිකා නැහැවි තෙම භාග්‍යවතුන් වහන්සේ ඉවැසූ නියා දැන, හුනස්නෙන් නැගී, භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට, ලෝහිච්ච බමුණා කරා ගියේ ය. ගොස් “වහන්ස, ලෝහිච්ච බමුණු භාග්‍යවතුන් වහන්සේ නිරාබාධ නියා, නීරෝග නියා හෑල්ලු පැවැතුම් ඇති නියා, කාබල ඇති නියා, සුව වුසුම් ඇති නියා විචාරයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික්සඟන හා සෙට පිණිස ලෝහිච්ච බමුණුහුගේ බත ඉවසන සේක් ව යි මෙසේ ලෝහිච්ච බමුණු කියායැ යි ඒ භාග්‍යවතුන් වහන්සේට ඔබ වචනයෙන් සැළ කළම්හ”යි ලෝහිච්ච බමුණාට කී ය.
7. ඉක්බිත්තෙන් ලෝහිච්ච බමුණු එ රැය ඇවෑමෙන් සිය නිවෙස්හි ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍ය පිළියෙල කරවා භේසිකා නැහැවියා බණවා, “සගය, භේසිකා, මෙහි එව, තෝ මහණගොයුමන් කරා යා. ගොස් ‘පින්වත් ගොයුමාණනි, වඩිනුවට කල් යැ. බත පිළියෙළ කොට නිම වී යැ’යි මහණ ගොයුමාණනට කල් දන්වව’යි කී ය. ‘එසේ ය ස්වාමීනි’ යි කියා ම භේසිකා නැහැවි ලෝහිච්ච බමුණාට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ කරා ගියේ ය. ගොස් භාග්‍යවතුන් වැඳ පසෙක සිටියේ ය. පසෙක සිටියාවූ භේසිකා නැහැවි “වහන්ස, වඩිනුවට කල් ය. බත පිළියෙල කොට නිම වීයැ” යි සැළ කෙළේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙන මහණගණයා හා ශාලවතිකා ගමට වැඩි සේක.
8. එ කල්හි භේසිකා නැහැවි භාග්‍යවතුන් වහන්සේ පසුපසින් ඔබ හා ම ගියේ වෙයි. එ කලැ භේසිකා නැහැවි “වහන්ස, මෙහි මහණෙක් හෝ බමුණෙක් හෝ කුසල්දහම් ලැබ ගන්නේ නම්, කුසල් දහම් ලැබැ එය පරහට නො කිය යුතු ය. අනෙකෙක් අනෙකකුට කවර වැඩක් නම් කරන්නේ ද? පැරැණි බැඳුම සිඳ අන් අළුත් බැඳුමක් කරන්නේ යම්සේ ද, මේද එසේම ලාමක ලෝභධර්‍මයෙකැයි කියමි. අනෙකෙක් අනෙකකුට කවර වැඩක් කරන්නේ දැ?’ යි ලෝහිච්ච බමුණාට මෙබඳු ලාමක මිසදිටෙක් උපන. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ලෝහිච්ච බමුණහු මේ ලාමක මිසදිටෙන් මුදන සේක් වා” යි භාග්‍යවතුන් වහන්සේට කී ය. “භේසිකා, මැනැව, එය වනු ඇත. භේසිකා, මැනැව. එය වනු ඇතැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.