13.
තෙවිජ්ජ සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ භික්ෂූන් පන්සියක් පමණ වූ මහත් මහණමුළුවක් හා කොසොල් රටැ සැරි සරන සේක්, කොසොල් රටැ මනසාකට නම් බමුණුගම යම් තැනෙක ද, එහි වැඩි සේක. භාග්යවතුන් වහන්සේ ඒ මනසාකටයට උතුරුදිගැ අචිරවතී නදිය තෙරැ අඹවෙනෙහි වසන සේක.
2. එ සමයෙහි චඞ්කි බ්රාහ්මණ ය, තාරුක්ඛ බ්රාහ්මණ ය, පොක්ඛරසාති බ්රාහ්මණය, ජානුස්සෝණි බ්රාහ්මණය, තෝදෙය්ය බ්රාහ්මණය, යන මොහු ද අන්යවූත් ඒ ඒ පෙදෙස්හි ප්රකට වූ බමුණු මහසල්හු දැ යි අභිඥාත අභිඥාත වූ බොහෝ මහාසාරවංශික බ්රාහ්මණ කෙනෙක් මනසාකටයෙහි වෙසෙත්.
3. එ කල්හි ජඞ්ඝාවිහරණයෙහි ඔබ මොබ සක්මන් කරන ඔබ මොබ හැසිරෙන වාසෙට්ඨ - භාරද්වාජ යන දෙදෙනා අතරැ මඟ නොමඟ ඇරැබැ කථාවෙක් උපන. එ කලැ වාසෙට්ඨ මාණව තෙම “මේ යම් මඟෙක් පොක්ඛරසාති බමුණාණන් විසින් කියන ලද ද, මෙයම ඍජු මඟ ය. මෙය ම ඉඳුරා මඟ ය. මෙය ම නෛර්ය්යාණික වනුයේ එය පිළිපදනාහුගේ බ්රහ්මසහභාවය පිණිස යේ” යැ යි මෙසේ කියයි.
4. ‘මේ යම් මඟෙක් තාරුක්ඛ බමුණාණන් විසින් කියන ලද ද, මෙය ම ඍජු මඟ ය. මෙය ම ඉඳුරා මඟ ය. මෙය ම නෛර්ය්යාණික වනුයේ එය පිළිපදනාහුගේ බ්රහ්මසහභාවය පිණිස යේ” යැ යි මෙසේ භාරද්වාජ මාණව කියයි. වාසෙට්ඨ මාණව තෙම භාරද්වාජමාණවයාට හඟවනුවට (තමා බස පිළිගන්වනුවට) නො ම හැකි වී ය. භාරද්වාජ මාණව ද වාසෙට්ඨ මාණවයාට හඟවනුවට (තම බස පිළිගන්වනුවට) නො ම හැකි වී ය.
5. එකල්හි වාසෙට්ඨ මාණව තෙම භාරද්වාජමාණවයා බණවා, ‘භාරද්වාජය, සැහැපුත් වූ, සැහැකුලයෙන් නික්මැ පැවැදි වූ, මේ මහණගොයුම්හු මනසාකටයට නොදුරු නොළං තන්හි මනසාකටයට උතුරුදිගැ අචිරවතීනදිය තෙරැ අඹවෙනෙහි වැඩ වෙසෙති. ඒ පින්වත් ගොයුමන් පිළිබඳ වැ ‘ඒ භගවත්හු රහත්හ, සම්මාසම්බුදු හ, විද්යාචරණසම්පන්න හ, සුගත හ, ලෝකවිත් හ, නිරුත්තර පුරුෂදම්යසාරථි හ, දෙව්මිනිස්නට ශාස්තෘ හ, බුද්ධ හ, භාග්යවත්හ’ යි මෙසේ කලණ කිත් හඬෙක් වෙසෙසින් උස් වැ නැංගේ වෙයි. භවත් භාරද්වාජය, යමු. එ මහණගොයුමන් කරා එළැඹෙන්නමු. එළැඹ මේ කරුණ ඒ මහණගොයුමන් විචාරන්නමු. අපට යම්සේ මහණගොයුම්හු එය විසඳන්නා හු ද, එසේ එය දරන්නමු” යි කී ය. ‘එසේ ය, භවතැ’ යි කියා ම භාරද්වාජමාණව තෙම වාසෙට්ඨ මාණවයාට පිළිවදන් දුන.
6. ඉක්බිත්තෙන් වාසෙට්ඨ - භාරද්වාජ යන මාණවයෝ දෙදෙන භාග්යවතුන් වහන්සේ වෙත ගියහ. ගොස් ඔබ හා සතුටු වූහ. සතුටට කරුණු වූ, සිතැ රැඳැවියැ යුතු වූ කථා නිමවා, පසෙක හිඳ ගත්හ. පසෙක හිඳැ ගත්තා වූ ම වාසෙට්ඨ මාණව තෙම “භවද් ගෞතමයිනි, ජඞ්ඝා විහණයෙහි ඔබ මොබ හැසිරෙන අප අතරැ මඟ-නොමඟ ඇරැබැ, කථාවෙක් උපන. “පොක්ඛරසාතී බමුණන් විසින් යම් මඟෙක් කියන ලද ද, එය පිළිපදනාහට බඹහු හා එක් වීමට ‘මෙය ම නෛර්ය්යාණික ඍජු මාවත ය, මෙය ම ඉඳුරා මඟ යැ’යි මම මෙසේ කියමි. භාරද්වාජ මාණව තෙම ‘තාරුක්ඛ බමුණන් විසින් යම් මඟෙක් කියන ලද ද, එය පිළිපදනාහට බඹහු හා එක් වීමට ‘මෙය ම නෛර්ය්යාණික ඍජු මාවත ය, මෙය ම ඉඳුරා මඟ යැ’ යි කියයි. භවද්ගෞතමයිනි, මෙහි අපගේ විග්රහයෙක් ඇත් ම ය. විවාදයෙක් ඇත් ම ය. නානාවාදයෙක් ඇත් ම ය.”
7. [එවිට භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:] “මෙසේ වාසෙට්ඨය, ‘පොක්ඛරසාතී බමුණුහු විසින් යම් මඟෙක් කියන ලද නම්, එය පිළිපදනාහට බඹහු හා එක් වීමට මෙය ම නෛර්ය්යාණික ඍජු මාවත ය, මෙය ම ඉඳුරා මඟ ය’ යි තෝ කියෙහි ය. තාරුක්ඛ බමුණුහු විසින් යම් මඟෙක් කියන ලද නම්, එය පිළිපදනාහට බඹහු හා එක් වීමට මෙය ම නෛර්ය්යාණික ඍජු මාවත ය, මෙය ම ඉඳුරා මඟ යැ’ යි භාරද්වාජ මාණව කියයි. මෙසේ කලැ කවර කරුණෙකැ තොපගේ විග්රහයෙක් වේ ද? කවර කරුණෙකැ තොපගේ විවාදයෙක් වේ ද? කවර කරුණෙකැ තොපගේ නානාවාදයෙක් වේ ද?”
8. [වාසෙට්ඨ:] “භවද් ගෞතමයිනි, අපගේ විග්රහය, නානාවාදය මඟ නොමඟ දෙක්හි ය. අධවර්යුබ්රාහ්මණයන් ද, තෛත්තිරීය බ්රාහ්මණයන් ද, ඡාන්දොගබ්රාහ්මණයන් ද, බහ්වෘචබ්රාහ්මණයන් ද නානාමාර්ග පණවතත් ඒ සියල්ලෝ නෛර්ය්යාණික හ. ඒ සියල්ලෝ පිළිපදනහුට බඹහු හා එක්වනු පිණිස යෙත්. භවද් ගෞතමයිනි, යම්සේ ගමකට හෝ නියම්ගමකට හෝ නොදුරෙහි නානාවිධ මාර්ගයෝ බොහෝ වෙත් ද, එතෙකුදු වුවත් ඒ සියල්ලෝ ගමට ම බස්නාහු ද, භවද් ගෞතමයිනි, එ පරිද්දෙන් ම අධවර්යුබ්රාහ්මණයන් ද, තෛත්තිරීය බ්රාහ්මණයන් ද, ඡාන්දොගබ්රාහ්මණයන් ද, බහ්වෘචබ්රාහ්මණයන් ද නානාමාර්ග පණවත් නුමුදු වැලි ඒ සියල්ලෝ නෛර්ය්යාණික හ. ඒ සියල්ලෝ පිළිපදනුවහට බඹහු හා එක්වනු පිණිස යෙත්.
9. [භාග්යවත්හු:] “වාසෙට්ඨය, ඔහු හැම බ්රහ්මසහභාවය පිණිස යෙති යි කියෙහි ද?”
[වාසෙට්ඨ:] “භවද් ගෞතමයිනි, ඔහු හැම බ්රහ්මසහභාවය පිණිස යෙති යි කියමි.”
[භාග්යවත්හු:] “වාසෙට්ඨය, ඔහු හැම බ්රහ්මසහභාවය පිණිස යෙති යි කියෙහි ද?”
[වාසෙට්ඨ:] “භවද්ගෞතමයිනි, ඔහු හැම බ්රහ්මසහභාවය පිණිස යෙති යි කියමි.”