8.
සිංහනාද සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ උජුඤ්ඤා නුවර නිසා කණ්ණකත්ථල නම් මුවලැව්හි වැඩ වසන සේක. එ කලැ අචේල කාශ්යප තෙම භාග්යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹැ ඔඛ හා සතුටු විය. සතුටට කරුණු වූ සිතැ රැඳැවියැ යුතු වූ කථා කොට නිමවා එකත්පසැ සිටියේ ය.
2. එකත්පසැ සිටියා වූ ම අචේලකාශ්යප තෙම භාග්යවතුන් වහන්සේට “භවද් ගෞතමයිනි, ‘මහණ ගොයුම්හු සියලු තපස ගරහති’ යි, ‘රළු දිවිපෙවෙත් ඇති හැම තවුසාට ඒකාන්තයෙන් ආක්රෝශ කෙරෙති’ යි, ‘පිරිහෙලා බෙණෙති’යි මෙ පවත් මා විසින් අසන ලද. භවද් ගෞතමයිනි, යම් කෙනෙක් ‘මහණ ගොයුම්හු සියලු තපස ගරහති’යි, ‘රළු දිවිපෙවෙත් ඇති හැම තවුසාට ඒකාන්තයෙන් ආක්රෝශ කෙරෙති’යි, ‘පිරිහෙලා බෙණෙති’යි මෙසේ කීහු නම්, කිමෙක් ද, ඔහු භවද් ගෞතමයන් කී දෑ ම කියත් ද? භවද්ගෞතමයනට අභූතයෙන් (නොවූ දැයින්) දොස් නො කියත් ද? භවද් ගෞතමයන් කී දෑ අනුව ම කරුණු කියත් ද? ඔබේ කිසි වාදයෙක් (ඔබේ වචනයෙක්) හෝ අනුවාදයෙක් (ඔබ කී බස අනුව අනුන් කී වචනයෙක්) හෝ කරුණු සහිත වැ නුවණැත්තන් විසින් ගැරැහිය යුතු තැනට නො පැමිණේ ද? (කිම, හැම අයුරින් ම ඔබගේ වාදයෙහි ගැරැහියැ යුතු කාරණයෙක් නැද්ද?) අපි භවද් ගෞතමයනට අභූතයෙන් දොස් නඟනු නො කැමැත්තම්හ” යි මෙය කී ය.
3. “කාශ්යපය, ‘මහණ ගොයුම්හු සියලු තපසට ගරහති’ යි, ‘රළු දිවිපෙවෙත් ඇති හැම තවුසාට ඒකාන්තයෙන් ආක්රෝශ කෙරෙති’ යි. ‘පිරිහෙලා බෙණෙති’යි, යම් කෙනෙක් කියත් නම්, ඔහු මා කී දෑ කියන්නෝ නො වෙති. ඔහු මට නැති දැයින් බොරුවෙන් දොස් නගන්නාහු ද වෙති.
කාශ්යපය, මෙහි මිනිසුන්ගේ දර්ශනෝපචාරය ඉක්මැ, දැක්කැ හැකි පිරිසිදු දිවැසින් කාබුන් මරණින් මතු, සැපයෙන් පහ වූ, දුකට පිහිටි, විවශ ව වැටෙන තැන වූ නිරයට පැමිණි, කටුක දිවි පෙවෙත් ඇති වැ සිටි එක්තරා තවුසකු මම දකිමි. කාශ්යපය, මෙහි මිනිසුන්ගේ දර්ශනෝපචාරය ඉක්මැ දැක්කැ හැකි, පිරිසිදු දිවැසින්, කාබුන් මරණින් මතු, මනා ගති ඇති සග ලොවට පැමිණි, කටුක දිවිපෙවෙත් ඇති වැ සිටි එක්තරා තවුසකු ද මම දකිමි.
කාශ්යපය, මෙහි මිනිසුන්ගේ දැකුම් ඉම ඉක්මැ, දැක්කැ හැකි පිරිසිදු දිවැසින්, කාබුන් මරණින් මතු, සැප නැති, නපුරු ගති ඇති, විවස ව පතිත වන තැන වූ නිරයට පැමිණි, මඳ වූ දුක් විහරණ ඇති වැ සිටි එක්තරා තවුසකු මම දකිමි.
කාශ්යපය, මෙහි මිනිසුන්ගේ දැකුම් ඉම ඉක්මැ දැක්කැ හැකි පිරිසිදු දිවැසින්, කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට පැමිණි, මඳ දුක් විහරණ ඇති වැ සිටි එක්තරා තවුසකු මම දකිමි.
කාශ්යපය, යම්බඳු වූ මම් මේ තවුසන්ගේ ආගතියක් (පෙරැ භවයෙහි යම් තැනෙකින් සැව මෙහි උපන්නෝ නම් එ තැනත්), ගතියත් (මෙයින් සැව යෑ යුතු තැනත්), ච්යුතියත් (ඒ මතු භවයෙන් ච්යුත වීමත්), උප්පත්තියත් (ඒ ච්යුතියෙන් පසු ව උපදනා තැනත්) මෙසේ තත් වූ පරිදි දනිම් ද, ඒ මම් කුමට සියලු තපසට හෝ ගරහම් ද? කටුක දිවිපෙවෙත් ඇති හැම තවුසාට හෝ ඒකාන්තයෙන් පරිභව කෙරෙම් ද? අවඥා කෙරෙම් ද?
4. කාශ්යපය, පණ්ඩිත වූ, තියුණු නුවණැති, මෙරමා හා කළ වාද ඇති, වාලවේධි ධනුර්ධරයන් බඳු වූ ඇතැම් මහණ බමුණු කෙනෙක් තමන් ප්රඥායෙන් අනුන්ගේ දෘෂ්ටින් බිඳැ හෙළන්නන් මෙන් වැ හැසිරෙත්. ඔවුන් හා ද ඇතැම් තන්හි මගේ දහම් සම වෙයි. ඇතැම් තන්හි සම නො වෙයි. ඔහු යම් එක්තරා දැයක් ‘මැනැවැ’යි කියත් ද, අපි දු ඒ එක්තරා දැය ‘මැනැවැ’යි කියමු. යම් එක්තරා දැයක් නො මැනැවැයි ඔහු කියත් ද, අපි දු ඒ එක්තරා දැය ‘නොමැනැවැ’යි කියමු. යම් එක්තරා දැයක් ‘මැනැවැ’යි ඔහු කියත් ද, ඒ එක්තරා දැය ‘නො මැනැවැ’යි අපි කියමු. යම් එක්තරා දැයක් ‘නො මැනැවැ’යි ඔහු කියත් ද, ඒ එක්තරා දැය ‘මැනැවැ’යි අපි කියමු. යම් එක්තරා දැයක් ‘මැනැවැ’යි අපි කියමු ද, අන්හු ද ඒ එක්තරා දැය ‘මැනැවැ’යි කියත්. යම් එක්තරා දැයක් ‘නො මැනැවැ’යි අපි කියමු ද, අන්හු ද ඒ එක්තරා දැය ‘නො මැනැවැ’යි කියත්. යම් එක්තරා දැයක් ‘නො මැනැවැ’යි අපි කියමු ද, අන්හු ද ඒ එක්තරා දැය ‘මැනැව’යි කියත්. යම් එක්තරා දෙයක් ‘මැනැවැ’යි අපි කියමු ද, ඒ එක්තරා දැය ‘නො මැනැවැ’යි අන්හු කියත්.
මම් ඔවුන් කරා එළැඹ මෙසේ කියමි: “ඇවැත්නි, අප දහම් යම් තන්හි සම නො වේ ද, ඒ තන්හු සිටිත් වා. යම් තන්හි සම වේ නම් ඒ තන්හි ලා නුවණැත්තෝ ‘අකුසල් වූත් අකුශලසඞ්ඛ්යාත වූත් (අකුසල් යැ සි වෙන් කරන ලද්දා වූත්), සාවද්ය (සදොස්) වූත් සාවද්යසඞ්ඛ්යාත වූත් (සදොස් යැ යි වෙන් කරන ලද්දා වූත්), අසේවිතව්ය (නො සෙවියැ යුතු) වූත්, අසේවිතව්ය සඞ්ඛ්යාත වූත් (නො සෙවිය යුතු යැ යි වෙන් කොට තබන ලද්දා වූත්), ආර්ය්යභාවයට නොසමත් වූත්, ආර්ය්යභාවයට නො සමත් සේ වෙන් කොට තබන ලද්දා වූත්, කෘෂ්ණ වූත්, කෘෂ්ණසඞ්ඛ්යාත වූත් (කළු යැ යි වෙන් කොට තබන ලද්දා වූත්) මේ භවතුන්ගේ යම් ධර්ම කෙනෙක් වෙත් නම්, කවර කෙනෙක් මෙකී දහම් නිරවශේෂයෙන් බැහැරැ කොට පවත්නෝ ද ? ශ්රමණ ගෞතමයෝ ද නැත හොත් අන් භවද් ගණාචාර්ය්යයෝ දැ?”යි එක් ශාස්තෘවරයකු හා තවත් ශාස්තෘවරයකු ද එක් ශ්රාවකගණයක් හා තවත් ශ්රාවකගණයක් ද සසඳා ලබ්ධිය විචාරත් වා. කරුණු විචාරත් වා. ලබ්ධියත් කරුණුත් දෙක ම විචාරත් වා.