5.
කූටදන්ත සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ පන්සියක් භික්‍ෂූන් පමණ වූ මහත් පැවිදිමුළුවක් හා මගධ රටැ, සැරි සරන සේක්, මගධ රටැ ඛාණුමත නම් බමුණු ගමට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ ඒ ඛාණුමත ගමැ අඹයැටිඋයන්හි වැඩ වසන සේක.
එ සමයෙහි වනාහි කුළුදත් (කූටදන්ත) බඹුණු තෙමේ මගධාධිපති සේනිය බිම්බිසාර රජුහු විසින් දුන් රාජදායාද්‍යය වූ, ශ්‍රේෂ්ඨ ත්‍යාගය වූ, බහු ජනාකීර්‍ණ වූ, තණ දඬු දිය සුලභ වූ, බොහෝ ධන ධාන්‍ය ඇති, රාජස්වරූපයෙන් පරිභෝග කටයුතු වූ ඛාණුමත ගමැ වෙසෙයි.
එ සමයෙහි කුළුදත් බඹුණුහුගේ මහායාගයෙක් පිළියෙල කැරුණේ වෙයි. සත්සියක් ගොන් ද, සත්සියක් නාඹුවස්සෝ ද, සත්සියක් නාඹුවැස්සියෝ ද, සත්සියක් එළුවෝ ද, සත්සියක් තරුණ බැටෙළුවෝ ද (පොරගසන එළුවෝ ද තවත් සත්සියය බැගින් බොහෝ මෘගපක්‍ෂීහු ද) යාග පිණිස යාග ටැඹ වෙතට පමුණුවන ලදහ.
2. ඛාණුමත ගමැ වැසි බමුණෝ ද ගැහැවියෝ ද රටෙහි පැතිරැ පැවැති භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ මතු දැක්වෙන යස ගී ඇසූහ: “භවත්නි, ශාක්‍යපුත්‍රවූ, ශාක්‍යකුලයෙන් නික්මැ පැවිදි වූ මහණ ගොයුම්හු භික්‍ෂූන් පන්සියක් පමණ වූ මහත් පැවිදිමුළුවක් හා මගධ රටැ සැරි සරනුවෝ ඛාණුමතයට පැමිණියෝ ඛාණුමතයට සමීපයෙහි වූ අඹයැටි වෙනෙහි වෙසෙති.
‘ඒ භගවත් තෙමේ මේ මේ කරුණින් අර්‍හත් ය, සම්‍යක්සම්බුද්ධ ය, විද්‍යාචරණසම්පන්න ය, සුගත ය, ලෝකවිත් ය, නිරුත්තර පුරුෂදම්‍යසාරථි ය, දෙව්මිනිස්නට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් ය. හේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලොව, අවශේෂ මහණබමුණන් සහිත දෙව්මිනිසුන් සහිත මේ සත්ත්‍වවර්‍ගයා තෙමේ ම සිය විශිෂ්ට නුවණින් දැන පසක් කොට ලොවට දන්වයි. ආදිකල්‍යාණ මධ්‍යකල්‍යාණ පර්‍ය්‍යවසානකල්‍යාණ වූ, (සතිපට්ඨානාදී) මනා අරුත් ඇති, සම්පූර්‍ණ ව්‍යඤ්ජන ඇති, හැම අයුරින් පිරිපුන්, පිරිසිදු දහම් දෙසයි. එසේ දෙසනුයේ සියලු සසුන් බඹසර පවසයි. එබඳු රහතුන් දැක්ම වූ කලි හිත වැඩ සලසන්නෙකැ’ යි ඒ භවද්ගෞතමයන් පිළිබඳ මෙසේ වූ උතුම් යසගීයෙක් උස් වැ නැංගේ ය” යනු යි.
ඉක්බිති ඛාණුමත ගමැ වැසි බමුණෝ ද ගැහැවියෝද ඛාණුමතයෙන් නික්මැ බොහෝ බොහෝ වැ මුළු මුළු වූවෝ, එකි එකී පැත්තෙඟි මුළු දුන්නෝ, ගමින් පිටතැ දී මහ මුළුවෙක් වැ එකතු වූවෝ අඹයැටි උයන අතට යෙති.
3. එ සමයෙහි කුළුදත් බමුණු තෙමේ තමා පහයැ උඩු මහලෙහි දවයහන් පැමිණියේ වේ. හේ (කවළියෙන් බලනුයේ) ඛාණුමතයෙන් නික්මැ බොහෝ බොහෝ රැස් වැ එකි එකී පසැ මුළු මුළු වැ, ගමින් පිටතැ දී මහමුළුවෙක් වැ එකතු වැ, අඹයැටිය කරා යන ඛාණුමත ගමැ වැසි බමුණන් ද ගැහැවියන් ද දිටී ය. දැක ඛත්තූහු (අසන තැන් බණුවා) බණවා “භවත් ඛත්තුව, කවර හෙයින් ඛාණුමත ගමැ වැසි බමුණෝත් ගැහැවියෝත් ඛාණුමතයෙන් නික්මැ බොහෝ බොහෝ වැ රැස් වී තැනින් තැන මුළු මුළු වැ, ගමින් පිටතැ දී මහමුළුවක් වැ එකතු වැ අඹයැටිය දෙසට යෙත් දැ? යි” යි විචාළේ ය.
“භවත, කරුණෙක් ඇත. සැහැපුත් වූ, සැහැකුලෙන් නික්මැ පැවිදි වූ, මහණ ගොයුම්හු භික්‍ෂූන් පන්සියක් පමණ වූ මහ පැවිදි මුළුවක් හා මගද රටැ සැරි සරනුවෝ ඛාණුමත ගමට පැමිණියෝ එය අසලැ අඹයැටි උයන්හි වෙසෙති. ඒ පින්වත් ගොයුම් තෙමේ මේ මේ කරුණින් රහත් ය, සම්මාසම්බුදු ය, විදුසරණ දෙකින් යුතු ය, සුගත ය, ලොව දන්නේ යැ, නොදැමුණන් දමනුයෙහි හැමට ම වැඩි සැරි දෑ ය, දෙව්මිනිස්නට සසු ය, බුදු ය, භගවත් යැ’යි මෙසේ ඔබ පිළිබඳ උතුම් යසගීයෙක් උස් වැ නැංගේ ය. මොහු පින්වත් ගොයුමාණන් දක්නට එහි යෙත්”යැ යි ඛත්තු තෙමේ කීය.
4. එ විටැ, කුළුදත් බමුණාට, “මහණ ගොයුම්හු තුන් යාගසම්පත් හා සොළොස් පිරිකර දනිතැ යි මා විසින් ඇසිණ. මම් වූ කලි තෙවැදෑරුම් යාගසම්පතත් සොළොස් පිරිකරත් නො දනිමි. වැලි දු මහායාගයක් යදනට මම් රිසියෙමි. මහණ ගොයුමාණන් කරා එළැඹ තෙවැදෑරුම් යාගසම්පතත් සොළොස් පිරිකරත් විචාළෙම් නම් යෙහෙකැ” යි මේ සිත වී ය.
ඉක්බිති කුළුදත් බමුණා ඛත්තූහු බණවා, “භවත් ඛත්තුව, එසේ වී නම් ඛාණුමත ගමැ වැසි ඒ බමුණු ගැහැවියන් වෙත එළැඹෙන්න. එළැඹ ‘භවත්නි, භවත්හු කුඩා තමක් බලා පොරොත්තු වෙත් වා. කුළුදත් බමුණා ද මහණ ගොයුමාණන් දක්නට එන්නේ යැ යි මෙසේ කීයේ යැ’ යි මෙ පරිදි සැළ කරන්නැ”යි කී ය.
‘භවත, එසේ යැ’යි කියා ඒ ඛත්තු තෙම කුළුදත් බමුණාට පිළිවදන් දී ඛාණුමත ගමැ වැසි බමුණන් ද ගැහැවියන් ද කරා එළැඹියේ ය. එළැඹ, ඔවුනට “භවත්නි, භවත්හු කුඩා තමක් බලා පොරොත්තු වෙත් වා. කුළුදත් බමුණා ද මහණ ගොයුමාණන් දක්නට එන්නේ යැ’යි කුළුදත් බමුණු මෙසේ කීහ”යි මේ පවත් සැළ කෙළේ ය.
5. එ සමයෙහි වනාහි බොහෝ සිය ගණන් බමුණෝ ‘කුළුදත් බමුණාගේ මහා යාගය වළඳන්නමු’යි ඛාණුමතයෙහි වෙසෙත්. ඒ බමුණෝ ‘කුළුදත් බමුණා මහණ ගොයුමාණන් දක්නට ඔබ කරා යෙතැ’යි ඇසූහ. ඉක්බිති ඔහු කුළුදත් බමුණු කරා එළැඹුණහ. එළැඹ ‘පින්වත් කුළුදත් තෙමේ මහණ ගොයුමාණන් දක්නට යන්නේ ල. ඒ සැබෑ දැ?’ යි ඇසූහ.