6.
මහාලි සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසල්පුර අසල මහවෙනෙහි කුළාරහල් මඟ වෙහෙරෙහි වැඩැ වසන සේක.
එ සමයෙහි වූ කලි කොසොල් රට වැසි බොහෝ බමුණු දූතයෝ ද මගද රට වැසි බොහෝ බමුණු දූතයෝ ද කිසි යම් ඇවැසි කටයුත්තෙකින් විසල් පුරැ (අවුත්) වෙසෙති. කොසොල් රටින් පැමිණි ද මගදරටින් පැමිණි ද එ බමුණු දූතයෝ රටේ පැතිරැ පැවැති මේ කතාව ඇසූහ: (මෙ බඳු කතාවෙක් ඔවුන් කනැ වැටිණ.) “සැහැකුලෙන් නික් මැ පැවිදි වූ සැහැපුත් මහණ ගොයුම් තෙමේ වනාහි (මෙ සමයෙහි) විසල්පුරැ මහවෙනෙහි කුළාරහල් වෙහෙරැ වෙසෙයි. ‘ඒ භගවත් තෙමේ මේ මේ කරුණිනුත් රහත් ය, සම්මාසම්බුදු ය, විද්‍යාචරණ සම්පන්න ය, සුගත ය, ලෝකවිත් ය, නිරුත්තර පුරුෂදම්‍යසාරථී ය, දෙව්මිනිස්නට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් යැ’ යී ඒ පින්වත් ගොයුම්හු පිළිබඳ කලණ කිත් හඬ උස් වැ නැංගේ ය. ඒ පින්වත් ගොයුම් තෙමේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලොව, මහණ බමුණන් සහිත දෙව් මිනිසුන් සහිත සත් වග තෙමේ ම වෙසෙසින් දැන පසක් කොට (ලොවට) දන්වයි. හේ මුල කලණ වූ මැද කලණ වූ අග කලණ වූ අරුත් සහිත අකුරු සපුව සහිත හැම ලෙසින් පිරිපුන් දහම් දෙසයි. පිරිසිදු බඹසර පවසයි. එ බඳු වූ රහතුන් දැක්ම වූ කලි හිත වැඩ එළවනුයේ වෙයි”යනු යි.
2. ඉක්ඛිති, කොසොල් රටින් ද මගද රටින් ද පැමිණි ඒ බමුණුදූතයෝ මහවෙනෙහි කුළාරහල් වෙහෙරට එළැඹියහ. එ සමයෙහි නාගිත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ උවටු වෙති. ඉක්බිති ඒ දෙරටින් ම ආ බමුණු දූතයෝ නාගිත තෙරුන් කරා ගියහ. ගොස්, ‘පින්වත් තාගිතයිති, දැන් ඒ පින්වත් ගොයුමාණෝ කොහි වෙසෙත් ද? අපි වනාහි ඒ භවත් ගොයුමාණන් දක්නා රිසියම්හ’යි කීහ.
“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ දක්නට (දැන්) කල් නො වේ ම ය. භාග්‍යවතුන් වහන්සේ (දැන්) පිළිසලනෙහි යෙදුණු සේක් වෙති”යී (නාගිත තෙරණුවෝ වදාළහ.)
එ විටැ ඒ බමුණු දූතයෝ ‘අපි ඒ පින්වත් ගොයුමාණන් දැකැ ම යන්නම්හ’ යී එහි ම එක් පසෙකැ හිඳ ගත්හ.
3. ඔට්ඨද්ධ ලිච්ඡවි තෙමේ ද මහත් ලිච්ඡවි පිරිසක් හා මහවනයට කුළාරහලට, එහි නාගිත තෙරුන් වෙත එළැඹියේ ය. එළැඹ, නාගිත තෙරුන් වැඳ පසෙකැ සිටියේ ය. පසෙකැ සිටි ඔට්ඨද්ධ ලිච්ඡවි තෙමේ ද නාගිත තෙරුනට “වහන්ස, දැන් ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ කොහි වසන සේක් ද? අපි ඒ භගවත් රහත් සම්මාසම්බුදුන් දක්නා රිස්සමෝ”යී මෙ බස් කී ය.
“මහාලිය, භාග්‍යවතුන් වහන්සේ දක්නට දත් නොකල් ය. භාග්‍යවතුන් වහන්සේ දැන් පිළිසලනෙහි යෙදී හිඳිනා සේකැ”යී තෙරණුවෝ වදාළහ. ඔට්ඨද්ධ ලිච්ඡවී තෙමේත් “ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ දැකැ ම යන්නෙමි”යී එහි ම එක් පසෙකැ හිඳැ ගත්තේ ය.
4. එකල්හි වනාහි සිංහ නම් හෙරණ නාගිත තෙරුන් කරා ගියේ ය. ගොස් තෙරුන් වැඳ, පසෙකැ සිටියේ ය. පසෙකැ සිටි හෙරණ තෙම කාශ්‍යපයන් වහන්ස, මේ කොසොල් රටින් ද මගද රටින් ද පැමිණැ සිටින බමුණු දූතයෝ භාග්‍යවතුන් වහන්සේ දක්නට මෙහි එළැඹියාහ. ඔට්ඨද්ධ ලිච්ඡවී ද මහත් ලිච්ඡවී පිරිසක් හා කැටුව භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස මෙහි එළැඹියේ වෙයි. කාශ්‍යපයන් වහන්ස, මේ ජනමුළුව භාග්‍යවතුන් වහන්සේ දක්නට ලබතොත් මැනැවැ”යී සැළ කෙළේ ය.
“සිංහය, එසේ වී නම්, තෙපි ම භාග්‍යවතුන් වහන්සේට සැළ කරව”යී (තෙරණුවෝ වදාළහ.) “එසේ ය, වහන්සැ’ යී ම සිංහ හෙරණ තෙම නාගිත තෙරුනට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ කරා ගියේ ය, ගොස්, භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක සිටියේ ය. එසේ සිට, “වහන්ස, කොසොල් මගද යන දෙ රටින් පැමිණි මේ බොහෝ වූ බමුණු දූතයෝ භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස මෙහි එළැඹියෝ වෙති. ඔට්ඨද්ධ ලිච්ඡවි ද මහත් ලිච්ඡවි පිරිසක් කැටුව භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස මෙහි එළැඹියේ වෙයි. වහන්ස, මේ ජනමුළුව භාග්‍යවතුන් වහන්සේ දක්නට ලබතොත් මැනැවැ”යී කී ය.
“සිංහය, එසේ නම් විහාරප්‍රාක්ඡායායෙහි (වෙහෙර ඉදිරි පසැ සෙවණෙහි) අස්නක් පණවව”යී (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක).
“එසේ ය වහන්සැ”යී ම සිංහ හෙරණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී වෙහෙර ඉදිරියේ සෙවණෙහි අස්නක් පැණැවී ය. එ විටැ භාග්‍යවතුන් වහන්සේ වෙහෙරින් නික්මැ වෙහෙර ඉදිරි පසැ සෙවණෙහි පැණැවුණු අස්නැ වැඩැහුන් සේක.
5. ඉක්බිති ඒ කොසොල් මගද දෙරටින් ආ බමුණු දූතයෝ භාග්‍යවතුන් වෙත එළැඹියාහ, එළැඹැ ඔබ හා සතුටු වූහ. සතුටු වියැ යුතු සිහි කටයුතු (සිතැ රැඳවියැ යුතු) කතා නිමවා පසෙකැ හිඳ ගත්හ. ඔට්ඨද්ධ ලිච්ඡවි ද මහත් ලිච්ඡවි පිරිස හා භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹැ ඔබ වැඳැ පසෙක හිඳැ ගත්තේ ය. එසේ පසෙකැ හිඳැ ගත් ම ඔට්ඨද්ධ ලිච්ඡවි තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කී ය:
“වහන්ස, ඊයේ දවසැ ද එයිනුත් පෙර දිනවල ද ලිච්ඡවී පුත්‍ර සුනක්ඛත්ත තෙමේ මා වෙත ආයේ ය. අවුත් මට ‘මහාලිය, යම් දිනෙක පටන් තුන් හවුරුදු පමණ වූ නොබෝ කලක් මම් භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කොටැ විසිම් ද, ඒ කාලය තුළැ කම්රස යුත් මිහිරි වූ, සිත් අලවන දෙව් රූ වූ කලි දිටිමි. වැලි කම්රස ඇති, මිහිරි වූ, සිත් අලවන දෙව් හඬ නො ම ඇසීමි’ යී කී ය. වහන්ස, ලිච්ඡවිපුත්‍ර සුනක්ඛත්තයා ඇත්තා වූ ම මිහිරි කම්රස ඇති සිත් අලවන දෙව් හඬ නො ඇසී ද? නැතහොත් නැත්තාවූ ම එසේ වූ දෙව්හඬ නො ඇසී ද?” (යනු යී).