භවත්නි, මහණ ගොයුම්හු වූ කලි ඔබ පැවිදි වන්නා නො කැමැති මාපියන් කඳුළු පිරි මුහුණ ඇති වැ හඬද්දී එය නොතකා කෙහෙ රවුළු බා පියා කසා වත් හැඳ ගිහි ගෙන් නික්මැ පැවිද්දට බටුවෝ ය ...
භවත්නි, මහණ ගොයුම්හු කලි හැමට වැඩි තරම් රූ සිරි ඇත්තෝ ය, දක්නවුන් සිතැ පැහැදීම් පහළ කරවන සුලුහ, උතුම් පැහැ සපුයෙන් යුතුහ. උතුම් රන් පැහැ ඇත්තෝ ය, උතුම් සිරුරු පබ ඇත්තෝ ය. සිය සිරුරැ දැක්මට නොමඳ ඔවස් ඇත්තෝ ය ...
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි සිල්වත්හ, පිරිසිදු සිල් ඇත්තෝ ය, නිදොස් ශීලයෙන් යුත්හ ...
මහණ ගොයුම්හු වූ කලි කලණ තෙපුල් ඇත්තෝ ය, කලණ මිහිරි බස් තෙපලන්නෝ ය, නිදොස් වූ නොකෙළතොලු වූ කී දෑ හඟවනු සමත් සිලිටි බසින් සමන්‍විතයෝ ය ...
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි බොහෝ දෙනාට ආචාර්‍ය්‍ය ද ප්‍රාචාර්‍ය ද වෙති ...
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි පහ වූ කාමරාග ඇත්තෝ ය, පහ වූ චපල බව් ඇත්තෝ ය ...
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි කර්‍මවාදිත් ක්‍රියවාදිත් වෙති. නව ලොවුතුරා දහම් පුරස්සර කොට වැටෙති. සැරියුත් මුගලන් ඈ බමුණු පිරිසට ද නායක වැ හැසිරෙති ...
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි පිරිසිදු කැත් කුල වූ උසස් කුලයෙන් නික්මැ පැවිදි වූවෝ ය ...
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි මහත් ධන ඇති මහත් භෝග ඇති ඉසුරුමත් කුලයෙන් නික්මැ පැවිදි වූවෝ ය ...
භවත්නි, මහණ ගොයුමන් කරා පිට රටින් පිට දනවුයෙන් පැණ පුළුවුස්නට එති ...
භවත්නි, නොයෙක් දහස් ගණන් දෙවියෝ මහණ ගොයුමන් දිවිහිමියෙන් සරණ ගියහ ...
භවත්නි, මහණ ගොයුමාණන්ගේ වූ කලි “මේ මේ කරුණින් ඒ භගවත් තෙමේ රහත් ය, සම්මාසම්බුදු ය, විදු සරණින් යුතු ය, සුගත ය, ලොව දන්නේ ය, ලොවුතුරා නරදම්සැරි ය, දෙව්මිනිස්නට සසු ය, සිවු සස් දතුයේ ය, භගවත් යැ”යි මෙසේ වූ උතුම් වූ යසගී උස් වැ නැංගේ යැ ...
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි දෙතිස් මහ පුරිස්ලකුණින් යුතු ය ...
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි තමන් වෙත එන්නවුන් ‘එන්න, මෙහි ආ යේ මැනැවැ’යි පිළිගන්නා සුලු හ, කණට සුව එළවන තෙපුල් තෙපලන්නෝ ය, පිළිසඳරෙහි දක්‍ෂය හ, බැම නොහකුළුවන්නෝ ය, සුලභ කථා ඇත්තෝ ය, පැමිණයනට තුමූ පළමුයෙන් කථා කරන සුලුහ ...
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි සිවු පිරිස් විසින් සත්කාර කරන ලදුහ, ගුරුකාර කරන ලදුහ, බුහුමන් කරන ලදුහ, පුදන ලදුහ, යටත් පැවැතුම් දක්වන ලදුහ ...
භවත්නි, මහණ ගොයුමාණන් කෙරෙහි බොහෝ දෙව්මිනිස්සු වෙසෙසින් පහන්හ ...
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි යම් ගමෙක හෝ නියම් ගමෙක වෙසෙත් නම්, එ ගමැ හෝ නියම් ගමැ වැසි මිනිස්නට යක්කු පීඩා නො කෙරෙත් ...
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි මහ සඟපිරිස් ඇත්තෝ ස, ගණ නායකයහ, ගණාචාර්‍ය්‍යය හ. බොහෝ තීර්‍ත්‍ථංකරයන් අතුරෙහි අග්හ යි කියනු ලැබෙති ...
යම්සේ වනාහි ඇතැම් මහණබමුණන්ගේ යශස අචේලකතාදි පිටතට පෙනෙන යම්තම් ව්‍රතමාත්‍රයෙකින් වැඩෙතත් මහණ ගොයුමන්ගේ යශස වූ කලි එසේ වැඩුණේ නො වේ. වැලි තමන් තුළැ ම වූ නිරුත්තර විද්‍යාචරණසම්පතින් වැඩුණේ වේ ...
භවත්නි, මහණ ගොයුමන් වූ කලි මගධාධිපති සේනිය බිම්බිසාර රජ තෙමේ දරුවන් බිරියන් සහිත වැ පිරිස් හා ඇමැත්තන් හා සමග දිවි හිම් කොට සරණ ගියේ ය ...
භවත්නි, මහණ ගොයුමන් වූ කලි කෝශලාධිපති පසේනදී රජ තෙමේ දරුවන් හා බිරියන් හා පිරිස් හා ඇමැත්තන් හා සහිත වැ දිවි හිම් කොට සරණ ගියේ ය ...
භවත්නි, මහණ ගොයුමන් වූ කලි පොකුරුසැත් බමුණු තෙමේ දරුවන් බිරියන් පිරිස් හා ඇමැත්තන් සහිත වැ දිවි හිම් කොට සරණ ගියේ ය ...
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි මගධ රටට අධිපති සේනිය බිම්බිසාර රජහු විසින් සත්කෘත ද ගුරුකෘත ද මානිත ද පූජිත ද අපචිත ද වෙති ...
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි කෝශලාධිපති පසේනදී රජහු විසින් සත්කෘත ද ගුරුකෘත ද මානිත ද පූජිත ද අපචිත ද වෙති ...
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි පොකුරුසැත් බමුණා විසින් සත්කෘත ද ගුරුකෘත ද මානිත ද පූජිත ද අපචිත ද වෙති ...
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි දැන් ඛාණුමතයට පැමිණියෝ ඛාණුමතය සමීපයෙහි අඹයැටි වෙනෙහි (අම්බලට්ඨිකා වනයෙහි) වෙසෙති. භවත්නි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ අප ගම් කෙතට එත් නම්, ඔහු අපට අමුතු වෙති. අමුත්තෝ වනාහි අප විසින් සත්කාර කටයුතුහ, ගුරුකාර කටයුතුහ, මානනීයහ, පූජනීයහ, අපචයනීයහ. භවත්නි, යම් හෙයකින් මහණ ගොයුම්හු ඛාණුමතයට පැමිණියෝ, ඛාණුමතය සමීපයෙහි අඹයැටියෙහි වෙසෙත් ද, එහෙයින් ඔබ අප අමුත්තෝ ය. අමුත්තෝ වනාහි අප විසින් සත්කාර කටයුතුහ, ගුරුකාර කටයුතුහ, බුහුමන් කටයුතුහ, පිදියැ යුතුහ, යටත් පැවැතුම් දැක්වියැ යුතුහ.