4.
සෝණදණ්ඩ සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ භික්ෂූන් පන්සියක් පමණ වූ මහත් පැවිදිමුළුවක් හා අංග රටෙහි සැරිසරන සේක්, චම්පා නුවරට වැඩි සේක. භාග්යවතුන් වහන්සේ එහි ඒ චම්පා නුවර සමීපයෙහි ගර්ගරා පොකුණු තෙරැ වසන සේක.
එ සමයෙහි සෝණදණ්ඩ බමුණු තෙමේ බහුජනාකිර්ණ වූ, තණ දඬු දිය සුලභ වූ, බොහෝ ධන ධාන්ය ඇති, රජුහුගෙන් ලත් නින්දගම් වූ (රාජස්වරූපයෙන් පරිභෝග කට යුතු වූ), මගධ රටට අධිපති සේනිය බිම්බිසාර රජු විසින් දුන් රාජදායාද්ය වූ, ශ්රේෂ්ඨ ත්යාගය වූ චම්පා නුවරැ වෙසෙයි.
2. චම්පා නුවරැ වැසි බමුණුගැහැවියෝ (රටෙහි පැතිරැ පැවැති) මතු දැක්වෙන කථාව ඇසූහ: “භවත්නි, ශාක්යපුත්ර වූ, ශාක්යකුලයෙන් නික්මැ පැවිදි වූ, ශ්රමණ ගෞතම තෙමේ වූ කලි භික්ෂූන් පන්සියක් පමණ වූ මහපැවිදිමුළුවක් හා අඟුරටැ සැරි සරනුයේ, චම්පාවට පැමිණියේ, එය අසලැ, ගර්ගරා පොකුණ තෙරැ වෙසෙයි. ඒ භගවත් තෙමේ මේ මේ කරුණින් අර්හත් ය, සම්යක්සම්බුද්ධ ය,විද්යාචරණසම්පන්න ය, සුගත ය, ලෝකවිත් ය, නිරුත්තර පුරුෂදම්යසාරථී ය, දෙව්මිනිසුනට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් ය. හේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලොව, මහණබමුණන් සහිත දෙවි මිනිසුන් සහිත මේ සත්ත්වවර්ගයා, තමා ම සිය විශිෂ්ට නුවණින් දැන පසක් කොට ලොවට දන්වයි. ආදිකල්යාණ මධ්යකල්යාණ පර්ය්යවසානකල්යාණ වූ (සතිපට්ඨානාදි) මනා අර්ත්ථ ඇති, මනා (සම්පූර්ණ) ව්යංජන ඇති, සර්වාකාර පරිපූර්ණ, පිරිසිදු දහමක් දෙසයි. එසේ දෙසනුයේ ද, සියලු සසුන්බඹසර පවසයි. එබඳු රහතුන් දැක්ම වූ කලි හිත වැඩ ගෙනැ දෙන්නෙකැ’යි ඒ භවද් ගෞතමයන් වහන්සේ පිළිබඳ මෙසේ උතුම් වූ කීර්තිශබ්දයෙක් උස් වැ නැංගේ ය” යනු යි.
3. ඉක්බිති චම්පාපුර වැසි බමුණෝත් ගැහැවියෝත් චම්පායෙන් නික්මැ බොහෝ බොහෝ වැ රැස් වූවෝ, එකි එකී පැත්තෙහි මුළු මුළු වැ නුවරින් පිටතැ දි මහ මුළුවෙක් වැ එකතු වූවෝ, ගර්ගරා පොකුණ අතට යෙති.
4. එ සමයෙහි සෝණදණ්ඩ බමුණු තෙමේ තමා පහයැ උඩු මහලෙහි දවයහනට පැමිණියේ වෙයි. හේ (කවළියෙන් බලනුයේ) චම්පායෙන් නික්මැ බොහෝ බොහෝ වී රැස් වැ, එක් එක් පසැ මුළු මුළු වැ, නුවරින් පිටතැ දී මහ මුළුවක් වැ එකතු වැ ගර්ගරා පොකුණ අතට යන චම්පාවාසී බමුණන් ද ගැහැවියන් ද දැක්කේ ය. දැක ක්ෂත්තෘහු බණවා “භවත් කෂත්තෘව, කවර හෙයින් චම්පාවාසී බමුණෝත් ගැහැවියෝත් චම්පායෙන් නික්මැ බොහෝ බොහෝ වී රැස් වැ එකි එකී පසැ මුළු මුළු වැ නුවරින් පිටතැ දී මහ මුළුවෙක් වැ එකතු වැ ගර්ගරා පොකුණ කරා යෙත් දැ ?” යි විචාළේ ය.
“භවත, කාරණයෙක් ඇත: ශාක්යපුත්ර වූ, ශාක්යකුලයෙන් නික්මැ, පැවැදි වූ ශ්රමණ ගෞතම තෙමේ අංග රටැ සැරි සරනුයේ, භික්ෂූන් පන්සියක් පමණ වූ මහත් මහණමුළුවක් හා චම්පාවට පැමිණියේ, චම්පා පුර සමීපයේ වූ ගර්ගරා නම් පොකුණ අද්දරැ වෙසෙයි. ‘ඒ භගවත් තෙමේ මේ මේ කරුණින් අර්හත් ය, සම්යක්සම්බුද්ධ ය, විද්යාචරණ සම්පන්න ය, සුගත ය, ලෝකවිත් ය, නිරුත්තර පුරුෂදම්යසාරථි ය, දෙව්මිනිසුනට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් යැ යි මෙසේ ඒ භවද් ගෞතමයා පිළිබඳ භද්ර වූ ගුණඝෝෂයෙක් උස් වැ නැංගේ ය. මොහු ඒ භවද් ගෞතමයා දක්නා පිණිස එහි යෙත්” යැ යි ක්ෂත්තෘ තෙම කී ය.
5. “භවත් ක්ෂත්තෘව, එසේ වී නම්, ඒ චම්පාවාසී බමණූ ගැහැවියන් වෙත එළැඹ ඔවුනට “භවත්හු (මොහොතක්) බලා පොරොත්තු වෙත්වා. සෝණදණ්ඩ බමුණාත් ශ්රමණ ගෞතමයන් දක්නට එහි යන්නේයැ’ යි සැළ කරව” යි කී ය.
‘එසේ ය භවතැ’යි කියා ක්ෂත්තෘ තෙමේ සෝණදණ්ඩ බමුණාට පිළිවදන් දී, චම්පාවාසී ඒ බමුණු ගැහැවියන් කරා එළැඹ “භවත්නි, භවත්හු බලා පොරොත්තු වෙත් වා. සෝණදණ්ඩ බමුණු ද ශ්රමණ ගෞතමයා දක්නට එහි යන්නේ” යැ යි දැන්වී ය.
6. එ සමයෙහි වනාහි නොයෙක් විදෙසින් පැමිණි පන්සියක් පමණ බමුණෝ කිසි කටයුත්තක් පිණිස චම්පා නුවරැ වෙසෙත්. ඒ බමුණෝ ‘සෝණදණ්ඩ බමුණා මහණ ගොයුම්හු දක්නට යෙත් ලු’යි ඇසූහ. ඉක්බිති ඔහු සෝණදණ්ඩ බමුණා කරා ගියහ. ගොස් “භවත් සෝණදණ්ඩ තෙමේ මහණ ගොයුමන් දක්නට යන්නේ ල යනු සැබෑ ද?”යි විචාළහ.
“භවත්නි, (සැබෑ ය) ‘මමත් මහණ ගොයුමන් දක්නට යන්නෙමි’යි මට මෙසේ සිතෙක් වේ” යැ යි සෝණදණ්ඩ තෙමේ කී ය.
7. එ බස් අසා ඔහු කියන්නෝ, “භවත් සෝණදණ්ඩ තෙමේ මහණ ගොයුමන් දක්නට නො යේ වා. භවත් සෝණදණ්ඩ තෙමේ මහණ ගොයුමන් දක්නට නො නිසි වේ. ඉදින් භවත් සෝණදණ්ඩ තෙමේ මහණ ගොයුමන් දක්නට යන්නේ නම්, භවත් සෝණදණ්ඩයාගේ යශස් පිරිහෙන්නේ ය, මහණ ගොයුමන්ගේ යශස් වැඩෙන්නේ ය, ‘භවත් සෝණදණ්ඩයාගේ යශස් පිරිහෙන්නේ ය, මහණ ගොයුමන්ගේ යශස් වැඩෙන්නේ ය’ යන යමෙක් ඇද්ද මේ කරුණින් භවත් සෝණදණ්ඩ තෙමේ මහණ ගොයුම්හු දක්නා පිණිස එහි යන්නට නො නිසි ය. මහණ ගොයුමාණන් ම භවත් සෝණදණ්ඩයන් දකින්නට එනු නිසි ය.