“භවද්ගෞතමයිනි, මම් වූ කලි පිරිස් මැදට පැමිණියෙම් ම අස්නෙන් නැගී සිට භවත් ගෞතමයන් වැන්දෙම් වීම් නම්, එයින් ඒ පිරිස මට බැණ වදිති. යමකුට ඒ පිරිස බැණ වදිත් නම් ඔහුගේ යශස් ද පිරිහෙන්නේ ය. යමක්හුගේ යශස් පිරිහෙන්නේ ද, ඔහුගේ භෝග සම්පත් ද පිරිහෙන්නේ ය. අපේ භෝගසම්පත් වූ කලි යශසින් ලබන ලද්දේ ය.
තව ද භවද්ගෞතමයිනි, මම් පිරිසට පැමිණියෙම් ම දොහොත් මුදුන් තැබුයෙම් වීම් නම්, එය මා හුනස්නෙන් නැගී සිටිම් කොට භවද්ගෞතමයන් වහන්සේ සලකන සේක් වා.
තව ද භවද්ගෞතමයෙනි, මම් පිරිස් මැදට ගියෙම් ම හිස්වෙළුම මුදා හෙළූයෙම් වීම් නම්, භවද්ගෞතමයන් වහන්සේ එය මා හිස නමා කළ වැඳීමක් කොට සලකන සේක් වා.
තව ද භවද්ගෞතමයිනි, මම් යානයක් නැඟ උන්නෙම් ම එයින් බැස, භවද්ගෞතමයන් වහන්සේ වැන්දෙම් නම්, එයින් ඒ පිරිස මට පරිභව කරති. එසේ පරිභව ලද්දහුගේ යශස් ද පිරිහේ. යශසින් පිරිහුණහුගේ භෝග ද පිරිහෙන්නේ ය. අපේ භෝගයෝ යශසින් ලබන ලද්දෝ ය. (එ බැවිනි)
භවද්ගෞතමයින්, මම් වනාහි යානයක් නැඟ උන්නෙම් ම කෙවිට ඉදිරියට නමා ලීම් නම්, එය මා යානයෙන් බැසීම කොට භවද්ගෞතමයන් වහන්සේ සලකන සේක් වා.
තව ද මම් යානයෙක උන්නෙම් ම ඡත්රය ඉවතට නමා හෙළීම් නම්, එය මා හිස නමා කළ වැඳීමක් කොට භවද්ගෞතමයන් වහන්සේ සලකන සේක් වා.”
ඉන් පසු භාග්යවතුන් වහන්සේ සෝණදණ්ඩ බමුණාට දැහැමි කතායෙන් දෙලෝ වැඩ දක්වා, කුසල් දහම් ගන්වා, කුසල් වැඩුමෙහි උත්සාහවත් කොට, ඔහු තුළැ වූ ගුණ දක්වා සතුටු කොට, හුනස්නෙන් නැඟී නික්මැ වැඩි සේක.
සිවුවන සෝණදණ්ඩ සූත්රය නිමියේ ය.
5.
කූටදන්ත සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ පන්සියක් භික්ෂූන් පමණ වූ මහත් පැවිදිමුළුවක් හා මගධ රටැ, සැරි සරන සේක්, මගධ රටැ ඛාණුමත නම් බමුණු ගමට වැඩි සේක. භාග්යවතුන් වහන්සේ ඒ ඛාණුමත ගමැ අඹයැටිඋයන්හි වැඩ වසන සේක.
එ සමයෙහි වනාහි කුළුදත් (කූටදන්ත) බඹුණු තෙමේ මගධාධිපති සේනිය බිම්බිසාර රජුහු විසින් දුන් රාජදායාද්යය වූ, ශ්රේෂ්ඨ ත්යාගය වූ, බහු ජනාකීර්ණ වූ, තණ දඬු දිය සුලභ වූ, බොහෝ ධන ධාන්ය ඇති, රාජස්වරූපයෙන් පරිභෝග කටයුතු වූ ඛාණුමත ගමැ වෙසෙයි.
එ සමයෙහි කුළුදත් බඹුණුහුගේ මහායාගයෙක් පිළියෙල කැරුණේ වෙයි. සත්සියක් ගොන් ද, සත්සියක් නාඹුවස්සෝ ද, සත්සියක් නාඹුවැස්සියෝ ද, සත්සියක් එළුවෝ ද, සත්සියක් තරුණ බැටෙළුවෝ ද (පොරගසන එළුවෝ ද තවත් සත්සියය බැගින් බොහෝ මෘගපක්ෂීහු ද) යාග පිණිස යාග ටැඹ වෙතට පමුණුවන ලදහ.
2. ඛාණුමත ගමැ වැසි බමුණෝ ද ගැහැවියෝ ද රටෙහි පැතිරැ පැවැති භාග්යවතුන් වහන්සේ පිළිබඳ මතු දැක්වෙන යස ගී ඇසූහ: “භවත්නි, ශාක්යපුත්රවූ, ශාක්යකුලයෙන් නික්මැ පැවිදි වූ මහණ ගොයුම්හු භික්ෂූන් පන්සියක් පමණ වූ මහත් පැවිදිමුළුවක් හා මගධ රටැ සැරි සරනුවෝ ඛාණුමතයට පැමිණියෝ ඛාණුමතයට සමීපයෙහි වූ අඹයැටි වෙනෙහි වෙසෙති.
‘ඒ භගවත් තෙමේ මේ මේ කරුණින් අර්හත් ය, සම්යක්සම්බුද්ධ ය, විද්යාචරණසම්පන්න ය, සුගත ය, ලෝකවිත් ය, නිරුත්තර පුරුෂදම්යසාරථි ය, දෙව්මිනිස්නට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් ය. හේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලොව, අවශේෂ මහණබමුණන් සහිත දෙව්මිනිසුන් සහිත මේ සත්ත්වවර්ගයා තෙමේ ම සිය විශිෂ්ට නුවණින් දැන පසක් කොට ලොවට දන්වයි. ආදිකල්යාණ මධ්යකල්යාණ පර්ය්යවසානකල්යාණ වූ, (සතිපට්ඨානාදී) මනා අරුත් ඇති, සම්පූර්ණ ව්යඤ්ජන ඇති, හැම අයුරින් පිරිපුන්, පිරිසිදු දහම් දෙසයි. එසේ දෙසනුයේ සියලු සසුන් බඹසර පවසයි. එබඳු රහතුන් දැක්ම වූ කලි හිත වැඩ සලසන්නෙකැ’ යි ඒ භවද්ගෞතමයන් පිළිබඳ මෙසේ වූ උතුම් යසගීයෙක් උස් වැ නැංගේ ය” යනු යි.
ඉක්බිති ඛාණුමත ගමැ වැසි බමුණෝ ද ගැහැවියෝද ඛාණුමතයෙන් නික්මැ බොහෝ බොහෝ වැ මුළු මුළු වූවෝ, එකි එකී පැත්තෙඟි මුළු දුන්නෝ, ගමින් පිටතැ දී මහ මුළුවෙක් වැ එකතු වූවෝ අඹයැටි උයන අතට යෙති.