භවත්නි, මහණ ගොයුම්හු වූ කලි මවුපියන් ඔබ පැවිදි වනුවට නොකැමැති වැ කඳුළු පිරුණු මුහුණු ඇති වැ හඬද්දී එය නොතකා කෙහෙ රවුළු බා දමා කසා වත් හැඳ ගිහි ගෙන් නික්මැ පැවිද්දට වන්නෝ ය ...
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි විශිෂ්ට රූප සම්පත් ඇත්තෝ ය, දැකුම් කටයුතු හ, ප්රසාදජනක හ, උතුම් වර්ණසෞන්දර්ය්යයෙන් සමන්විත හ, බඹහු සේ උතුම් රන් පැහැ ඇත්තෝ ය, උත්තම ශරීරප්රඟා ඇත්තෝ ය, සිය සිරුරෙඟි දැක්මට නොමඳ වූ අවකාශ ඇත්තෝ ය ...
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි සිල්වත් හ, පිරිසිදු සිල් ඇත්තෝ ය, නිදොස් සිල් ඇත්තෝ ය, නිදොස් ශීලයෙන් සමන්විත හ ...
මහණ ගොයුම්හු වූ කලි කලණ තෙපුල් ඇත්තෝ ය, කලණ මිහිරි බස් කියන්නෝ ය, නිදොස් වූ, කෙලතොලු නොවූ, කී අරුත හඟවනු සමත් සිලිටි බසින් සමන්විතයෝ ය ...
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි බොහෝ දෙනාට ආචාර්ය්ය ද ප්රාචාර්ය ද වෙති ...
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි පහ වූ කාමරාග ඇත්තෝ ය, පහ වූ චපල බව් ඇත්තෝ ය ...
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි කර්මවාදී ද ක්රියාවාදි ද වෙති. ලොවුතුරා දහම් පුරඃසර කොට පවතිති. සැරියුත් මුගලන් ඈ බමුණු පිරිසට නායක වැ හැසිරෙති (නොහොත් තමනට විරුද්ධ වූ බමුණු පිරිසට පවා අහිතක් නොසිතා හිත සුව ම පතන්නෝ හැසිරෙති) ...
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි අමිශ්ර (පිරිසිදු) කැත්කුලය වූ උසස් කුලයෙන් නික්මැ පැවිදි වූවෝ ය ...
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි මහත් ධන ඇති මහත් භෝග ඇති සමෘද්ධ කුලයෙන් නික්මැ පැවිදි වූවෝ ය ...
භවත්නි, මහණ ගොයුමන් කරා පිට රටින් පිට දනවුයෙන් පැණ පුළුවුස්නට එති ...
භවත්නි, නොයෙක් දහස් ගණන් දෙවියෝ මහණ ගොයුමන් දිවිහිමියෙන් සරණ ගියහ ...
භවත්නි, ‘මේ මේ කරුණින් ඒ භගවත් තෙමේ අර්හත් ය, සම්යක්සම්බුද්ධ ය, විද්යාචරණසම්පන්න ය, සුගත ය, ලෝකවිත් ය, නිරුත්තර පුරුෂදම්යසාරථි ය, දෙව්මිනිසුන්හට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් යැ’ යි මහණ ගොයුමාණන් පිළිබඳ වැ මෙසේ වූ යහපත් ගුණඝෝෂයෙක් ඉතා උස් වැ නැංගේ ය ...
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි දෙතිස් මහපුරිස්ලකුණුවලින් සමන්විත හ ...
භවත්නි,මහණ ගොයුම්හු වූ කලි තමන් වෙත පැමිණෙන්නවුන් ‘එන්න, මෙහි ආ සේ මැනැවැ’යි කියා පිළිගන්නා සුලු හ, කනට සුව එළවන තෙපුල් බණන්නෝ ය, පිළිසඳරෙහි දක්ෂ හ, බැම නො හකුළුවන්නෝ ය, සුලභ කථා ඇත්තෝ ය, පැමිණියවුනට තුමූ පළමුයෙන් කථා කරන සුලු හ ...
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි (මහණ මෙහෙණි උවසු උවැසි යන) සිවු පිරිස් විසින් සත්කාර කරන ලදු හ, ගුරුකාර කරන ලදු හ, බුහුමන් කරන ලදු හ, පුදන ලදු හ, යටත් පැවැතුම් දක්වන ලදු හ ...
භවත්නි, මහණ ගොයුමන් කෙරෙහි වනාහි බොහෝ දෙවියෝත් මිනිස්සුත් වෙසෙසින් පහන් හ ...