3.
අම්බට්ඨ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් පන්සියක් පමණ වූ මහත් බික්සඟන හා කොසොල් රටැ සැරි සරණ සේක්, කොසොල් රැටියන්ගේ ඉච්ඡානඞ්ගල නම් බමුණු ගමට වැඩි සේක. එහි භාග්‍යවතුන් වහන්සේ ඉච්ඡානඞ්ගල ගමට නොදුරෙ හි වූ ඉච්ඡානඞ්ගල වනලැහැබෙහි වැඩ වසන සේක.
2. එ සමයෙහි වනාහි පොක්ඛරසාති නම් බමුණු තෙමේ බහුජනාකීර්‍ණ වූ, තණ දඬු දිය යන මෙයින් යුක්ත වූ, බොහෝ ධාන්‍ය ඇති, රජහු කෙරෙන් ලත් තමාගේ පරිභෝග වස්තුව වූ, රජහුගේ දායාද්‍යය(දානය) වූ බ්‍රහ්මදේයය වූ, (රාජස්වරූපයෙන් පරිභෝග කටයුතු වූ), පසේනදී කොසොල් රජුහු දුන් ශ්‍රේෂ්ඨ ත්‍යාගය වූ උක්කට්ඨා නුවරැ වෙසෙයි. හෙ තෙමේ (රටෙහි පැතිරැ ගිය) මතු දැක්වෙන කථාව ඇසී ය:
“භවත්නි, ශාක්‍යපුත්‍ර වූ, ශාක්‍යකුලයෙන් නික්මැ පැවැදි වූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වනාහි භික්‍ෂූන් පන්සියක් පමණ වූ මහබික්සඟන හා කොසොල් රටැ සැරි සරන සේක්, කොසොල්රැටියන්ගේ ඉච්ඡානඞ්ගල නම් ගමට වැඩි සේක්, එයට නොදුරෙහි වූ ඉච්ඡානඞ්ගල වන ළෑහැබෙහි වසන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණින් අර්‍හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යාචරණසම්පන්නයහ, සුගත නම්හ, ලෝකවිත් (ලොව දන්නා)හ, නිරුත්තර පුරුෂදම්‍යසාරථීහ, දෙවිමිනිස්නට ශාස්තෘහ, බුද්ධයහ, භගවත්හ. උන්වහන්සේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලෝකය, මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත මේ සත්ත්‍වවර්‍ගයා, තමන් ම සිය විශිෂ්ට නුවණින් දැන පසක් කොට, දන්වන සේක. ‘උන් වහන්සේ ආදිකල්‍යාණ මධ්‍යකල්‍යාණ පර්‍ය්‍යවසානකල්‍යාණ වූ, (සතිපට්ඨානාදි) මනා අර්‍ත්‍ථ ඇති, මනා (සම්පූර්‍ණ) ව්‍යංජන ඇති, සර්‍වාකාර පරිපූර්‍ණ, පිරිසිදු ධර්‍මය දෙසන සේක. එසේ දෙසන්නෝ ද (අධිශීල අධිචිත්ත අධිපඥා යන ත්‍රිශික්‍ෂායෙන් සංගෘහීත වූ) සකල ශාසන බ්‍රහ්මචර්‍ය්‍යය පවසන සේක. එබඳු රහතුන් දැක්ම වූ කලී හිත වැඩ ගෙනැ දෙන්නෙකැ’යි ඒ භගවත් ගෞතමයන් වහන්සේ පිළිබඳ මෙසේ වූ භද්‍ර වූ කීර්ත්තිශබ්දයෙක් උස් වැ නැංගේ වේ” යනුයි.
3. එසමයෙහි වූ කලි පොක්ඛරසාති බමුණාට වේද හදාරන, වේදයන් මුඛපාඨයෙන් දරන, නිඝණ්ටු කෙටුභශාස්ත්‍ර සහිත අක්‍ෂර ප්‍රභේද (ශික්‍ෂා හා නිරුක්ති) සහිත, ඉතිහාසය පස්වනු කොටැති ත්‍රිවේදයන්ගේ පරතෙර පත්, පදපාඨ දන්නා, තදන්‍ය සියලු ව්‍යාකරණ ද දන්නා, ලෝකායතශාස්ත්‍රයෙහිත් මහා පුරුෂලක්‍ෂණශාස්ත්‍රයෙහිත් නිපුණ වූ, ඇදුරන් විසින් උගන්වන ලද ත්‍රිවිද්‍යා සංඛ්‍යාත ශ්‍රේෂ්ඨවචනයෙහි, ‘මා දන්නා සියල්ල තෝ දනිහි’ යැ යි ගුරුහු විසින් අනුදන්නා ලද, ‘ඔබ දන්නා සියල්ල මම් දනිමැ’යි තමා විසින් කරන ලද ප්‍රතිඥා ඇති අම්බට්ඨ නම් මාණවකයෙක් අතැවැසි වෙයි.
4. ඉක්බිති පොක්ඛරසාති බමුණු තෙම අම්බට්ඨ මාණවකයා බණවා මෙ සේ කී ය: “දරුව අම්බට්ඨය, ශාක්‍යපුත්‍ර වූ ශාක්‍ය කුලයෙන් නික්මැ පැවිදි වූ මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ භික්‍ෂූන් පන්සියක් පමණ වූ මහ බික්සඟන හා කොසොල් රටැ සැරි සරන සේක්, ඉච්ඡානංගලයට පැමිණියෝ එයට නොදුරැ වූ ඉච්ඡානංගල වන ළැහැබෙහි වසන සේක.”
“මෙසේ මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ අර්‍හත්හ, ... සම්‍යක්සම්බුද්ධයහ, … බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කරන සේක. එබඳු රහතුන් දැක්ම හිත වැඩ ගෙන දෙන්නෙකැ’යි ඒ භවත් ගෞතමයන් වහන්සේගේ මෙසේ වූ කීර්ත්තිශබ්දයෙක් උස් වැ නැංගේ වේ.”
දරුව අම්බට්ඨය, එන්නැ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කරා එළැඹෙන්නැ. එළැඹැ, “ඒ භවත් ගෞතමයන් වහන්සේගේ එසේ විද්‍යමාන වූ ම ගුණ පිළිබඳ කීර්තිශබ්දයෙක් නැංගේ වේ ද? නැතහොත් එසේ විද්‍යමාන නොවූ ගුණ පිළිබඳ හඬෙක් නැංගේ වේ ද? ඒ භවත් ගෞතමයන් වහන්සේ එබඳු ම ද? නැතහොත් එබඳු නො වෙත් දැ?” යි ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දැනැ ගන්නැ. එසේ අපි ඒ භවත් ගෞතමයන් වහන්සේ දැන ගන්නමු” යනුයි.
5. “භවත, ඒ භවත් ගෞතමයන් වහන්සේගේ එසේ විද්‍යමාන වූ ගුණ පිළිබඳ කීර්තිශබ්දයෙක් නැංගේ වේ ද? නැත හොත් එසේ විද්‍යමාන නොවූ ගුණ පිළිබඳ හඬෙක් නැංගේ වේ ද? ඒ භවත් තමයන් වහන්සේ එබඳු ම ද? නැත හොත් එබඳු නො වෙත් දැ’යි මම් කෙසේ නම් දැන ගත හෙන්නෙම් ද ?”යි (අම්බට්ඨ මාණවකයා කීය.)
6. “දරුව අම්බට්ඨය, යමෙකින් සමන්‍විත මහාපුරුෂයක්හට නිෂ්ඨා දෙකක් ම විනා එයින් අනෙකක් නැත් ද, ඉදින් ගිහි ගෙහි වසන්නේ නම් දැහැමි වූ, දැහැමෙන් ම රජය ලත්, සිවු මුහුදු හිම් කොට ඇති සතර මහද්වීපයෙන් සැදුණු මුළු පොළවට අධිපති, පසමිතුරන් දිනූ, දනවුහි තහවුරු බවට පැමිණි, සත්රුවනින් සමන්‍විත සක්විති රජෙක් වන්නේ ද, සක්රුවන ය, ඇත්රුවන ය, අස්රුවනය, මිණිරුවන ය, ඉතිරිරුවන ය, ගැහැවිරුවන ය, සත්වන පිරිනාරුවන ය, යන මේ සත්රුවන් කෙනෙක් යම් ඒ රජෙක් හට ඇත් ද, දහසකටත් වැඩි ශූර වූ (නොබාන සුලු), දෙව් කුමරුන් වැනි සිරුරු ඇති, සතුරු සෙන් මඩනට සමත් වූ, පුත්හු ඇත් ද, යම් ඒ මහාපුරිස්ලකුණින් යුත් හේ සයුර හිම් කොටැති මේ පොළොව දංඩෙන් සැතින් වෙන් වැ (පන්සිල්) දහමෙන් වෙසෙසින් දිනා එයට අධිපති වැ වෙසේ ද; -
ඉදින් යම් මහපුරිස්ලකුණු කෙනකුන්ගෙන් සමන්‍විත හේ ගිහිගෙන් නික්මැ පැවිදි වදනේ නම් නැසූ පව් සෙවෙණි ඇති (නොහොත් ත්‍රිවර්‍ගයෙන් හා තුන් සෙවෙණියෙන් මිදුණු) අර්‍හත් සම්‍යක්සම්බුද්ධෝත්තමයෙක් වන්නේ ද, දරුව අම්බට්ඨ ය, එසේ වූ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෝ අපගේ වේදයෙහි ආවහු ම ය. දරුව අම්බට්ඨ ය, මම වනාහි මන්ත්‍ර (වේද) දෙන (=උගන්වන) තැනැත්තෙම් වෙමි. තෝ මන්ත්‍ර පිළිගන්නා තැනැත්තෙහි” (යයි පොක්ඛරසාති තෙම කී ය.)