2.
සාමඤ්ඤඵල සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක භාග්යවතුන් වහන්සේ එක් දහස් දෙසියපණසක් පමණ වූ මහත් භික්ෂුසඞ්ඝයා සමඟ රජගහ නුවර සමීපයේ කෝමාරභච්ච ජීවකයාගේ අඹවෙනෙහි වසන සේක. එ සමයෙහි වනාහි මගධ රටට අධිපති වූ, වෛදේහීපුත්ර වූ අජාසත් රජ තෙමේ එ දවසට පැමිණි පුණු පොහෝ දිනයෙහි සිවු මසක්හුගේ අවසන්හි වූ සුපිපි කුමුදු ඇති පුරා සඳ කැල්මෙන් බබළන රැයෙහි (ඉල්මස පසොළොස්වක් දා රැයෙහි) රජපහයෙහි මතු මහල්තලයට නැඟුණේ, රජ ඇමැතියන් විසින් පිරිවැරුණේ (එසැවුණු සේසත් ඇති මහඟු කසුන් අස්නෙහි) හුන්නේ වෙයි. ඉක්බිති වෛදේහීපුත්ර වූ මගධාධිපති අජාසත් රජ ඒ පුණුපොහෝ දිනැ මෙසේ උදන් ඇනී ය:
“භවත්නි, ආශ්චර්ය්ය යි! රාත්රිය සඳ රැසින් සිත්කලු වෙයි (අභ්රමහිකාදි දෝෂයන්ගේ පහ වු රාත්රිය රමණීය ය)! භවත්නි, රාත්රිය සඳරැසින් විශේෂයෙන් ශෝභන ය! භවත්නි, රාත්රිය සඳරැසින් දැකුම් කළු ය! භවත්නි, රාත්රිය සඳ රැසින් ප්රසාදජනකය! භවත්නි, රාත්රිය සඳ රැස කරණ කොට ගෙන ලක්ෂණීය ය! යමක්හු ඇසුරු කරන අපගේ සිත පහදනේ නම් එසේ වූ කවර නම් මහණකු බමුණකු අද ඇපි එළැඹ ඇසුරු කරන්න මෝ ද !” යනු යි.
2. රජහු මෙසේ කී කල්හි, එක්තරා රජ ඇමැතියෙක් වෛදේහීපුත්ර වු මගධාධිපති අජාසත් රජහට “දේවයන් වහන්ස, මේ කාශ්යප ගෝත්රික පූරණයෝ පැවිදි මුළුවක් ඇත්තෝ ද, පැවිදි ගණයා ඇත්තෝ ද වෙති. ගණාචාර්ය ද වෙති. ප්රකටයහ. කීර්තිමත්හ. බොහෝ දෙනා විසින් සත්පුරුෂයෙකැ යි සම්මත වූ තීර්ත්ථංකර කෙනෙක. චිරරාත්රඥ හ. පැවිදි වූ බොහෝ කල් ඇත්තෝ ය. දෙතුන් රජ පරපුරක් තරම් කල් ඉක්මවා සිටියෝ ය. මහලු වියට පැමිණියෝ ය. දේවයන් වහන්සේ ඒ කාශ්යපගෝත්රික පූරණයන් වෙත එළැඹ ඇසුරු කරණ සේක්වා. කාශ්යපීය පූරණයන් වෙත එළැඹ ඇසුරු කරන දේවයන් වහන්සේගේ සිත පහදනේ නම් ඉතා යෙහෙකැ” යි මේ වචනය කීය. මෙසේ කී කල්හි වෛදේහීපුත්ර මගධේශ්වර අජාතශත්රු රජ තෙමේ තුෂ්ණීම්භූත විය.
3. අන් කිසි රජ ඇමැත්තෙක් ද වෛදේහීපුත්ර මගධේශ්වර අජාතශත්රු රජුහට “දේවයන් වහන්ස, මේ ගෝසාල මක්ඛලීහු පැවිදි පිරිසක් ඇත්තෝ ද, පැවිදි ගණයා ඇත්තෝ ද, ගණාචාර්ය ද වෙති. ප්රකට යහ. කීර්තිමත් හ. තීර්ත්ථංකර කෙනෙක. බොහෝ දෙනා විසින් සාධු යැ යි සම්මත හ. රාත්රඥ හ. පැවිදිවූ බොහෝ කල් ඇත්තෝ ය. රජපරපුර දෙක තුනක් ඉක්මැ යන තරම් දික් කලක් ගෙවුවෝ ය. පැසිම් වයසට පැමිණියෝ ය. දේවයන් වහන්සේ ඒ ගෝසාල මක්ඛලීන් ඇසුරු කරන සේක් වා. ගෝසාල මක්ඛලීන් වෙත එළැඹ ඇසුරු කරන දේවයන් වහන්සේගේ සිත පහදනේ නම්, ඒ ඉතා යෙහෙකැ” යි මේ බස් කීය. මෙසේ කී කල්හි වෛදේහීපුත්ර මගධේශ්වර අජාතශත්රු රජ තෙමේ තූෂ්ණීම්භූත විය.
4. අන් එක්තරා රජඇමැත්තෙක් ද වෛදේහීපුත්ර මගධේශ්වර අජාතශත්රැ රජුට “දේවයන් වහන්ස, මේ කේශකම්බල අජිතයෝ සංඝී ද, ගණී ද, ගණාචාර්ය ද වෙති. ප්රකට වූ කීර්තිමත් වූ, බොහෝ දෙනා විසින් සාධුසම්මත වු, රාත්රඥ වු, දික්වයස් ගිය, මහලු විය පැමිණි තීර්ත්ථංකර කෙනෙක. දේවයන් වහන්සේ ඒ කේශකම්බල අජිතයන් ඇසුරු කරන සේක් වා. කේශකම්බල අජිතයන් වෙත එළැඹ ඇසුරු කරන දේවයන් වහන්සේගේ සිත පහදින්නේ නම් ඉතා යෙහෙකැ” යි. මේ බස් කීය. මෙසේ කී කලැ වෛදේහීපුත්ර මගධේශ්වර අජාතශත්රැ රජ මුවෙන් කිසිත් නො බැණ හුන්නේ ය.
5. අන් එක් රජඇමැතියෙක් ද වෛදේහීපුත්ර මගධේශ්වර අජාතශත්රැ රජුට “දේවයන් වහන්ස, කාත්යායනගෝත්රික මේ පකුධයෝ සංඝී ද, ගණී ද, ගණාචාර්ය ද, වෙති. ප්රකට වූ, කීර්තිමත් වූ, බොහෝ දෙනා විසින් සාධුසම්මත වූ, රාත්රඥ වූ, පැවිදි වූ බොහෝ කල් ඇති, දික්වයස් ගිය, මහලු වියට පැමිණි, තීර්ත්ථංකර කෙනෙක. දේවයන් වහන්සේ ඒ කාත්යායන පකුධයන් වෙත එළැඹ ඇසුරු කරන සේක් වා. කාත්යායන පකුධයන් ඇසුරු කරන දේවයන් වහන්සේගේ සිත පහදනේ නම් ඉතා යෙහෙකැ” යි මේ බස් කීය. මෙසේ කී කල්හි වෛදේහීපුත්ර මගධේශ්වර අජාතශත්රැ රජ තෙමේ කිසිත් නො බැණ හුන්නේ ය.
6. අන් රජ ඇමැත්තෙක් ද වෛදේහීපුත්ර මගධාධිපති අජාතශත්රැ රජුට “දේවයන් වහන්ස, මේ වෛරාටිපුත්ර සංජයෝ සංඝී ද ගණී ද ගණාචාර්ය ද වෙති. බොහෝ දෙනා විසින් සාධු සම්මත වූ, රාත්රඥ වූ, පැවිදි වූ බොහෝ කල් ඇති, දික් වයස් ගිය, පැසිම් වයසට පැමිණි, ප්රකට වූ, කීර්තිමත් තීර්ත්ථංකර කෙනෙක. දේවයන් වහන්සේ ඒ වෛරාටිපුත්ර සංජයයන් ඇසුරු කරන සේක් වා. වෛරාටිපුත්ර සංජයන් ඇසුරු කරන දේවහන් වහන්සේගේ සිත පැහැදෙන්නේ නම් ඒ ඉතා යෙහෙකැ” යි මේ බස් කීය. මෙසේ කී කල්හි වෛදේහීපුත්ර මගධේශ්වර අජාතශත්රැ රජ තෙමේ කිසිත් නො බැණ හුන්නේ ය.
7. අන් රජ ඇමැත්තෙක් ද වෛදේහීපුත්ර වූ මගධාධිපති අජාතශත්රැ රජුට “දේවයන් වහන්ස, මේ ඥාතපුත්ර නිර්ග්රන්ථයෝ සංඝී ද ගණී ද ගණාචාර්ය ද වෙති. බොහෝ දෙනා විසින් සාධුසම්මත වූ, රාත්රඥ වූ, පැවිදි වූ බොහෝ කල් ඇති, දික් කලක් ගත කළ, මහලු විය පත්, ප්රකට වූ, කීර්තිමත් තීර්ත්ථංකර කෙනෙකි. දේවයන් වහන්සේ ඒ ඥාතපුත්ර නිර්ග්රන්ථයන් ඇසුරු කරන සේක් වා. ඥාතපුත්ර නිර්ග්රන්ථයන් ඇසුරු කරන දේවයන් වහන්සේගේ සිත පහදින්නේ නම් ඒ ඉතා යෙහෙකැ” යි. කීය මෙසේ කී කල්හි වෛදේහීපුත්ර මගධේශ්වර අජාතශත්රැ රජ තෙමේ කිසිත් නො බැණ හුන්නේ ය.
8. ඒ වේලෙහි වනාහි කෝමාරභච්ච ජීවක තෙමේ වෛදේහීපුත්ර මගධාධිපති අජාතශත්රැ රජුට නොදුරෙහි නිහඬ වැ හුන්නේ වෙයි. ඉක්බිත්තෙන් වෛදේහීපුත්ර මගධාධිපති අජාතශත්රැ රජ තෙමේ කෝමාරභච්ච ජිවිකයා අමතා, “යහළු ජීවකය, යුෂ්මතා වූ කලී කවර හෙයින් කිසිත් නොබැණ ඉදින්නේ හි ද?” යි කී ය.