(3) පාචිත්තියවණ්ණනා
“පඤ්ච පාචිත්තියානි” ගිතෙල් ආදි පස් බෙහෙත් පිළිගෙණ නන් බඳුන්හි හෝ එක් බඳුනෙක හෝ එක් නොකොට තබනලද්දාහු වෙත්ද, සත්දවස ඉක්මීමෙහි ඒ මහණතෙමේ සියලු නානාවස්තුක වූ ඇවැත් පසකට එකවිට පැමිණේ. ‘මෙයට පළමු පැමිණියේය, මෙයට පසුව පැමිණියේය’යි නොකියයුතුය.
“නව පාචිත්තියානි” යම් මහණෙක්තෙමේ, නව ප්රණීත භොජනයන් විණවා ඔවුන් සමග එකට එක් පිඩක් මැඩ මුවෙහි බහා ගෙලෙන් පහළ ඉක්මවා නම් මෙතෙමේ නානාවස්තුක වූ පාචිත්තිය නවයකට එකවිට පැමිණේ. “මෙයට පළමුව පැමිණියේය, මෙයට පසුව පැමිණියේය’යි නොකියයුතුය. “එකවාචාය දෙසෙය්ය” “අහම්භන්තෙ පඤ්ච භෙසජ්ජානි පටිග්ගහෙත්වා සත්තාහං අතික්කමිත්වා පඤ්ච ආපත්තියො ආපන්නො, තා තුම්හමූලෙ පටිදෙසෙමි”යි මෙසේ එක්වචනයෙන් දෙසන්නේ නම් දෙසනලද්දාහුම වෙති. වචන දෙකකින් තුනකින් කෘත්යයෙක් නම් නැත්තේය. ද්විතීය විසර්ජනයෙහිද “අහම්භන්තෙ නව පණීතභොජනානි විඤ්ඤාපෙත්වා භුඤ්ජිත්වා නව ආපත්තියො ආපන්නො, තා තුම්හමූලෙ පටිදෙසෙමි”යි කියයුතුය.
“වත්ථූං කිත්තෙත්වා දෙසෙය්ය” අහම්භන්තෙ පඤ්ච භෙසජ්ජානි පටිග්ගහෙත්වා සත්තාහං අතික්කමෙසිං යථා වත්ථුකං තං තුම්හමූලෙ පටිදෙසෙමි”යි මෙසේ වස්තු කීර්තනයකොට දෙන්නේනම්, ඇවැත් දෙසන ලද්දාහුම වෙත්. ඇවතෙහි නම ගැණීමෙන් වැඩෙක් නැත්තේය. ද්විතීය විසර්ජනයෙහිද “අහම්භන්තෙ නව පණීතභොජනානි විඤ්ඤාපෙත්වා භුත්තො, යථා වත්ථුකං තා තුම්හමූලෙ පටිදෙසෙමි”යි කියයුතුය.
“යාවතතියකා තිස්සො” උක්ඛිත්තානුවර්තක භික්ෂුණියට පාරාජිකය භෙදානුවර්තක කොකාලිකාදීන්ට සඞ්ඝාදිසෙසය. ලාමක දෘෂ්ටිය නොදුරලීමෙහි චණ්ඩකාලිකා භික්ෂුණියටද පාචිත්තියයි මොවුහු තෙවනවර කීම් අවසානයෙහි ඇවැත්හු වෙත්. “ඡ වොහාරප්පච්චයා” ප්රයුක්තවාක්ප්රත්යයයෙන් ඇවැත් සයකට පැමිණේය, යන අර්ත්ථයි. යත්:- ආජීවය හෙතුකොට ආජීවය කරුණුකොට පාප්සො ඇතියේ ඊප්සාවෙන් මඩනා ලද්දේ අවිද්යාමානවූ නොවූ උතුරුමිනිස්දම් පවසාද, පාරාජිකාපත්තියට පැමිණීම වේ. ආජීවය හෙතුකොට ආජීවය කරුණුකොට සඤ්චරණයට පැමිණේද, සඞ්ඝාදිසෙසාපත්තියට පැමිණීම වේ. ආජීවය හෙතුකොට ආජීවය කරුණුකොට ‘තාගේ විහාරයෙහි යමෙක් වෙසේද -පෙ- ථුල්ලච්චයාපත්තියට පැමිණීම වේ. ආජීවය හෙතුකොට ආජීවය කරුණුකොට මහණතෙමේ තමන් පිණිස ප්රණීත භොජනයන් විනවා වළඳාද, පාචිත්තියාපත්තියට පැමිණීම වේ. ආජීවය හෙතුකොට ආජීවය කරුණුකොට මෙහෙණතොමෝ ප්රණිතභොජනයන් තමන් පිණිස විනවා වළඳාද, පාටිදෙසනීයාපත්තියට පැමිණීම වේ. ආජීවය හෙතුකොට ආජීවය කරුණුකොට නොගිලන්ව තමන් පිණිස සූපයක් හෝ ඔදනයක් හෝ විනවා වළඳාද දුක්කටාපත්තියට පැමිණීම වේ.
“ඛාදන්තස්ස තිස්සො” මිනීමසෙහි ථුල්ලච්චයය. සෙසු අකැපමසෙහි දුක්කටය. මෙහෙණට ලූණු කෑමෙහි පාචිත්තියය. “පඤ්චභොජනප්පච්චයා” තොමෝ කෙලෙසුන්ගෙන් තෙත්ව කෙලෙසුන්ගෙන් තෙත්වූ පුරුෂයකු අතින් බොජුන් පිළිගෙණ එහිම මිනීමස් සුදුලූණු තමන් පිණිස විනවාගෙණ, ගත් ප්රණීත භොජනද සෙසු අකැපමස්ද බහා මිශ්රකොට මැඩ බුදින්නී සඞ්ඝාදිසෙස, ථුල්ලච්චය, පාචිත්තිය, පාටිදෙසනීය, දුක්කට යන මේ පස් ඇවැතුන්ට භොජන හෙතුවෙන් පැමිණෙන්නීය.
“පඤ්ච ඨානානි” තුන් යලක් සමනුභාසනය තෙක් නොහරින්නාවූ උක්ඛිත්තානුවත්තක භික්ෂුණියට ඤත්තියෙන් දුක්කටය. කර්මවාක්ය දෙකින් ථුල්ලච්චයය. කර්මවාක්යයාගේ අවසානයෙහි පාරාජිකාපත්තිය වන්නීය. සඞ්ඝභෙදයට උත්සාහ කිරීම් ආදියෙහි සඞ්ඝාදිසෙසය. ලාමක දෘෂ්ටිය නොහැරීමෙහි පාචිත්තිය’යි මෙසේ සියලු යාවතතියකයෝ පස්තැනකට යෙත්. “පඤ්චන්නඤ්චෙව ආපත්ති” ආපත්තිය නම් පස්සහ දැහැමියන්ට වේ. එහි භික්ෂු - භික්ෂුණී දෙදෙනාහට නිෂ්පර්ය්යායයෙන් ඇවැත්මය. සික්ඛමානා-සාමණේර-සාමණෙරීන්ට වනාහි අකැප බැවින් නොවටියි. මේ පර්ය්යායයෙන් ඔවුන්ගේ ඇවැත් නොදෙසවිය යුත්තීය. ඔවුන්ට දඬුවම් කටයුතුය. “පඤ්චන්නං අධිකරණෙන ච” අධිකරණයද පස්දෙනකුන්හටය, යන අර්ත්ථයි. මේ පස්දෙනාගේම පාසිවුරු ආදිය පිණිස විනිශ්චය ව්යවහාරය අධිකරණයයි කියනු ලැබේ. ගිහින්ගේ වනාහි අට්ටකර්ම නම් වේ.