අපරදුතියගාථාසඞ්ගණිකං
(1) කායිකාදිආපත්තිවණ්ණනා
“කති ආපත්තියො කායිකා” යනාදි ගාථාවන් විසඳීමෙහිදී “ඡ ආපත්තියො කායිකා” යන අන්තරපෙය්යාලයෙහි සිවුවැනි ආපත්ති සමුට්ඨානයෙන් ඇවැත් සයකට පැමිණේ. “භික්ඛු මෙථුනං ධම්මං පතිසෙවති, ආපත්ති පාරාජිකස්ස” යනාදිනයින් කියන ලද ආපත්තීහුය. කායද්වාරයෙහි උපන්බැවින්ම මොවුහු කායිකයි කියනුලබත්. “ඡ වාචසිකා” ඒ අන්තරපෙය්යාලයෙහිම පස්වැනි ආපත්තිසමුට්ඨානයෙන් ඇවැත් සයකට පැමිණේ. “භික්ඛු පාපිච්ඡො ඉච්ඡාපකතො” යනාදිනයින් කියනලද ආපත්තීහුය. “ඡාදෙන්තස්ස තිස්සො” පාරාජිකවරද වසන මෙහෙණහට පාරාජිකය. මහණහුට සඞ්ඝාදිසෙසය වැසීමෙහි පාචිත්තියයි. තමන්ගේ දුට්ඨුල්ලාපත්තිය වැසීම නිමිතිකොට දුක්කටය. “පඤ්ච සංසග්ග පච්චයා” මෙහෙණහට කායසංසර්ගය නිමිතිකොට පාරාජිකය. මහණහුට සඞ්ඝාදිසෙසය. කයින් කය ප්රතිබද්ධයෙහි ථුල්ලච්චයය. නිසගියකින් කය පිළිබඳයෙහි දුක්කටය. අඞ්ගුලිපතොදකයෙහි පාචිත්තිය, යන මේ ඇවැත්හු කායසංසර්ගප්රත්යයයෙන් වෙත්.
“අරුණුග්ගෙ තිස්සො” එක් රැයක් ස රැයක් සත්දවසක් දසදවසක් මාසයක් යන මොවුන්ගේ ඉක්මීම් වසයෙන් නිස්සග්ගිය පාචිත්තියය, මෙහෙණහට රාත්රිවිප්රවාසයෙහි සඞ්ඝාදිසෙසය, ‘ප්රථමයාමයෙහි වසාද, දෙවැනි-තෙවැනි යාමයෙහි වසාද, අරුණ නැගි කල්හි ඇවැත වසන ලද්දී වේ, යමෙක් තෙමේ වසාද, හෙතෙමේ දුක්කටය දෙසවිය යුත්තේය’යි අරුණ නැගි කල්හි මේ තුන් ඇවැතට පැමිණේ. “දූවෙ යාවතතියකා” එකොළොස් යාවතතියකයෝ නම් ප්රඥප්ති වශයෙන් භික්ෂූන් පිළිබඳ යාවතතියකය. භික්ෂුණීන්ගේ යාවතතියකයයි දෙකක් වෙත්. “එකෙත්ථ අට්ඨවත්ථුකා” භික්ෂුණීන්හටම මේ ශාසනයෙහි එක් අෂ්ටවස්තුකා නම් පාරාජිකාය. “එකෙන සබ්බසඞ්ගහො” “යස්ස සියා ආපත්ති සො ආවීකරෙය්ය” යන මේ එක් නිදානොද්දෙශයෙන් සියලු ශික්ෂාපදයන්ගේද, සියලු ප්රාතිමොක්ෂාද්දෙශයන්ගේද, සඞ්ග්රහය වේ.
“විනයස්ස ද්වෙ මූලානි” කයද වචනයද වේ. “ගරුකා ද්වෙ වුත්තා” පාරාජිකසඞ්ඝාදිසෙසයෝය. “ද්වෙ දුට්ඨුල්ලච්ඡාදනා” වරද වසාලන මෙහෙණට පාරාජිකය. සඞ්ඝාදිසෙසය මහණහට පාචිත්තියයි. මේ දෙක දුට්ඨුල්ලාච්ඡාදනාපත්තීහු නම්වෙත්.
“ගාමන්තරෙ චතස්සො” මහණතෙමේ මෙහෙණ හා සංවිධානය කෙරේ නම් දුක්කටය වේ. අන්ගමක උපචාරයට බසින්නේ නම් පාචිත්තිය වේ. ගාමාන්තරයට යන මෙහෙණට වටකරණලද ගමෙහි ප්රථම පාදයෙහි ථුල්ලච්චය වේ. දෙවැනි පාදයෙහි සඞ්ඝාදිසෙසය වේ. නොවටකළ ගමෙහි ප්රථමපාදයෙන් උපචාරයට බැසීමෙහි ථුල්ලච්චය වේ. දෙවැනි පාදයෙහි සඞ්ඝාදිසෙසය වේ, මොවුහු දුක්කට - පාචිත්තිය - ථුල්ලච්චය -සඞ්ඝාදිසෙස වසයෙන් සිවුඇවතක් වේ. “චතස්සො නදීපාරප්පච්චයා” මහණ, මෙහෙණ හා සංවිධානය කෙරේනම් දුක්කටය වේ. නැවට නැගේ නම් පාචිත්තිය වේ. ගඟ එතෙර යන මෙහෙණට එතෙර වන කල්හි ප්රථම පාදයෙහි ථුල්ලච්චයද දෙවැනි පාදයෙහි සඞ්ඝාදිසෙසයයි මේ සතර වෙත්. “එකමංසෙ ථුල්ලච්චයං” මිනීමසෙහි ථුල්ලච්චයය. නව මාංසයෙහි දුක්කටය යනු සෙසු අකැප මාංසයන්හි දුක්කටය වේ.
“දුවෙ වාචසිකා රත්තිං” මෙහෙණ තොමෝ පහන්ඵලිය නැති අඳුරෙහි පුරුෂයකු හා අත්පසෙහි සිටියා කථාකෙරේ නම් පාචිත්තියටද අත්පස හැර සිටියා කථාකෙරේනම් දුක්කටයටද පැමිණේ. “දුවෙ වාචසිකා දිවා” මෙහෙණ තොමෝ දහවල පිළිසන් අවකාශයෙහි පුරුෂයකු සමග අත්පසෙහි සිටියා කථා කෙරේනම් පාචිත්තියටද අත්පස හැර කථාකෙරේනම් දුක්කටයටද පැමිණේ. “දදමානස්ස තිස්සො” මරණ අදහස් ඇතිව මිනිසකුට විෂයක් දෙයි. හෙතෙමේ එයින් මැරේනම් පාරාජිකයටද, යක්ෂප්රේතාදීන්ට දෙයි. ඔවුහු එයින් මැරෙත්නම් ථුල්ලච්චයටද, තිරිසන්ගියක්හට දෙයි. හෙතෙමේ එයින් මැරේනම් පාචිත්තියටද පැමිණේ. නොනෑමෙහෙණක්හට සිවුරක් දේනම් පාචිත්තියට පැමිණේය’යි මෙසේ දෙන්නහුට තුන් ඇවැතක් වේ. “චත්තාරො ච පටිග්ගහෙ” හස්තග්රහණ ගෙතූ නොගෙතූ කෙශග්රහණයන්හි සඞ්ඝාදිසෙසය වේ. මුඛයෙන් අඞ්ගජාතය ගැණීමෙහි පාරාජිකයද වේ. නොනෑමෙහෙණක අතින් සිවුරු පිළිගැනීමෙහි නිස්සග්ගිය පාචිත්තිය වේ. රාගරක්ත පුරුෂයකු අතින් කෑයුත්තක් හෝ බිඳියයුත්තක් හෝ පිළිගන්නා රාගරක්ත මෙහෙණහට ථුල්ලච්චය වේ. මෙසේ පිළිගැණීමෙහි ඇවැත් කඳු සතරෙක් වේ.