මහාපෙසකාර ශික්ෂාපද වර්ණනාව
“තෙන සමයෙන”යි මහාපෙසකාරශික්ෂාපදයයි. එහි “සුත්තං ධාරයිත්වා” හූ ප්රමාණ කොට ප්රමාණය පිරිසිඳීම කොට “අප්පිතං” ඝන වූවක් “සුවීනං” මනාකොට වියනලද සියලු තන්හි සමකොට වියන ලද්දක්. “සුප්පවායිතං” මනාකොට වියනලද. සැමතැන සම කොට නූල් දිගුකරන ලද්දක්. “සුවිලෙඛිතං” කටුමලින් මනාකොට කටු මල දෙන ලද්දක් “සුවිතච්ඡිතං” කොස්සෙන් මනාකොට මදින ලද්දක්. මනාකොට දෝනා ලද්දක්ය යන අර්ත්ථයි. “පටිබද්ධං” විකලබව. “තන්තෙ” හූ දිගින් දිගලැමෙහිම එළවා යන අර්ත්ථයි.
“තත්ර චෙ සො භික්ඛු” යම් ගමෙක හෝ නියම් ගමෙක හෝ ඒ පෙහෙකරුවෝ වෙත්ද, එහි “විකප්පං ආපජ්ජෙය්ය” විශිෂ්ට කල්පයට අධික විධානයට පැමිණෙන්නේය. පෙළෙහි වනාහි යම් අයුරකින් අධික විධානයට පැමිණියේවේද, එය දක්වනු පිණිස ‘ඉදං ඛො ආවුසො’ යනාදිය වදාළ සේක.
“ධම්මම්පි භණති” ධර්මකථාද කියයි. ඒ මහණහුගේ වචනයෙන් දිග හෝ පුළුල් හෝ ඝන හෝ යන මෙයින් හූ වඩන අයුරම දක්වාලන්නේය.
“පුබ්බෙ අප්පවාරිතො” සිවුරු හිමියන් විසින් පෙර නොපවරන ලද්දෙක්ව, සෙස්ස ප්රකටමය.
ෂඩ් සමුත්ථානිකය. ක්රියාවෙන් උපදී නොසංඥාවිමොක්ෂය. අචිත්තකය. ප්රඥප්තිවද්යය. කායකර්මය. වාක්කර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.
මහාපෙසකාර ශික්ෂාපදවර්ණනාව නිමි.
අච්චෙකචීවර ශික්ෂාපද වර්ණනාව
“තෙන සමයෙන” අච්චෙකචීවර ශික්ෂාපදයයි. “දසාහානාගතං” දස දවස්හු දසාග නමි. ඒ දස දවසින් නොපැමිණියා දසාහානාගතා නම. දසදවසින් නොපැමිණියා යන අර්ත්ථයි. ‘තං දසානානාගතං’ අත්යන්ත සංයොග වශයෙන් සප්තමී අර්ත්ථයෙහි ද්විතීයාවචනයි. එහෙයින්ම මේ ශික්ෂාපදය පිළිබඳ පදභාජනයෙහි ‘දසාහානාගතාය’යි වදාරන ලද්දේය. “පවාරණාය” යම් ඒ පවාරණයක් ‘දසාහානාගතා’යි කියන ලදී. ඒ දසදවසින් නොපැමිණියහු ස්වරූප වශයෙන් දක්වන්නට දසාහානාගත පදයෙහි නොමුළාබව පිණිස අනුප්රයොගවචනය කියනලදී.
“කත්තික තමාසිකපුණ්ණමං” වප්මස මැදිපොහොයෙහි. මෙහිද පඨම පදයාගේ අනුප්රයොග බැවින් පෙරනයින්ම සප්තම්යර්ත්ථයෙහි ද්විතීයාවචනයි. මෙය කියන ලද්දේ වේ. යම් කලක්පටන් ප්රථම මහාපවාරණය දසදවසින් නොපැමිණියායි කියනු ලැබේ, ඉදිනුදු ඒ දිනයන්හි නිරන්තරයෙන්ම මහණහුට සඞ්ඝයා කෙරෙන් හෝ ගණයා කෙරෙන් හෝ සෘජුව අතිරෙක චීවරයක් උපන්නේ නම් ඒ අතිරෙකචීවරයයි දන්නා වූ මහණහු විසින් සියල්ලම පිළිගත යුත්තේය’යි එයින් පවාරණ මාසයෙහි ශුක්ලපක්ෂපංචමිය පටන් උපන් චීවරයාගේ තබන කාලය දක්වන ලද්දේ වේ. එකාන්තයෙන් දසදවසක් පරම කොට ඇති කාලයක් අතිරෙකචීවරය දැරිය යුතුය යන මේ කාලය මෙයින් සිද්ධය. අර්ත්ථොත්පත්ති වශයෙන් පෙර නොවූවක් මෙන් අර්ත්ථ දක්වා ශික්ෂාපදය තබන ලද්දේය.
“අච්චෙකචීවරං” යන මෙයින් ඉක්මන් සිවුර කියනු ලැබේ. ඒ ඉක්මන් සිවුරෙහි ඉක්මන්බව දක්වනු පිණිස “සෙනාය වා ගන්තුකාමො හොති” යනාදිය වදාළ සේක. එහි “සද්ධා” යන මෙයින් ධර්මශ්රවණාදියෙන් එකෙණෙහි උපන් ශ්රද්ධා මාත්රයක්ම දක්වන ලද්දේය. “පසාදො” යන මෙයින් සුප්රසන්න වූ බලවත් ශ්රද්ධාතොමෝ දක්වන ලදී. “එතං අච්චෙකචීවරං” මේ කරුණු හෙතුකොට මේ අතිරෙකචීවරය දෙනු කැමැත්තහු විසින් දූතයකු හෝ යවා තමා හෝ අවුත් වස්සාවාසිකය දෙන්නෙමි’යි මෙසේ සැල කළ කොට දුන් චීවරය, අච්චෙකචීවර නම්වේ. සයවක පටන් උපන් අනතිරෙක චීවරයද පසුදුරාතැබූ චීවරයද මේ පරිහාරය ලබාමය.
“සඤ්ඤං කත්ථා නික්ඛිපිතබ්බං” කිසි සලකුණක් කොට තැබිය යුතුය. කුමක් හෙයින් මෙය කියන ලද්දේ ද, යත්:- ඒ සලකුණු කොට තැබූ සිවුර පවාරණයෙන් පෙර බෙදත්ද, යමකු විසින් ගන්නා ලද්දේ ද, ඔහු සුන්වස් ඇතියකු නොවිය යුතුය. ඉදින් සුන්වස් ඇත්තේවේද, ඒ සිවුර සඞ්ඝිකම වේ. එයින් සලකා සුවසේ දීම වන්නේයයි.
“අච්චෙකචීවරො අච්චෙකචීවරසඤ්ඤී” යන මේ ආදිය බෙදා ගන්නාලද සිවුර සඳහාම වදාරන ලදී. නොබෙදන ලද්දක් වේනම් සඞ්ඝයාගේ හෝ භාණ්ඩාගාරයෙහි වූ සිවුරුද චීවර සමය ඉක්ම ගිය කල්හිද ඇවැත් නොවේ. මේ අයුරෙන් අතිරෙක චීවරයට දසදවසක් පරිහාරය වේ. නොකළ වැසිසළු සිවුරට කඨිනය නොඅතුළ කල්හි පස්මසක්ද වස්සුක්කඩ්ඪනය කළ කල්හි සමසක්ද කඨිනය අතුළ කල්හි අන් සිවුමසක්ද හෙමන්තසෘතුවෙහි පශ්චිමදිනයෙහි මූලචීවරාධිෂ්ඨාන වශයෙන් අනිකුදු එක් මසක්දැයි එකොළොස් මසක් පරිහාරය වේ. චීවරප්රත්යශාවක් ඇති කල්හි මුල් සිවුරට එක් මසක්ද අච්චෙකචීවරයට කඨිනය නොඅතුළ කල්හි එකොළොස් දිනක් අධිකකොට ඇති මසක්ද කඨිනය අතුළ කල්හි එකොළොස් දිනක් අධික කොට ඇති පස්මසක්ද පරිහාරය වේ. එයින් මත්තෙහි එක් දවසකුදු පරිහාරයෙක් නැත්තේයයි දතයුතුය.
“අනච්චෙක චීවරෙ” අච්චෙකචීවරය සමාන අන්සිවුරෙක්හි මෙහි සෙස්ස ප්රකට අර්ත්ථ ඇත්තේමය.
තෙවන සවන සමුත්ථානයෙන් උපදින බැවින් කඨින සමුත්ථානිකය. අක්රිය සමුත්ථානිකය. නොසංඥාවිමොක්ෂය. ප්රඥාප්තිවද්යය. කායකර්මයි. වාක්කර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.
අච්චෙකචීවර ශික්ෂාපදවර්ණනාව නිමි.
සාසඞ්ක ශික්ෂාපද වර්ණනාව
“තෙන සමයෙන” සාසඞ්ක ශික්ෂාපදයයි එහි “වුත්ථවස්සා ආරඤ්ඤකෙසු” යනු ඒ භික්ෂූහු පෙරද අරණ්යයෙහිම වාසය කළහ. දුබල සිවුරු ඇති බැවින් ප්රත්යය වශයෙන් ග්රාමාන්තසෙනාසනයෙහි වස් වැස නිමවනලද සිවුරු ඇතිව දැන් පළිබොධ විරහිතව මහණදම් කරන්නෙමු’යි අරණ්යසෙනාසනයන්හි වාසය කරත්. “කත්තිකචොරකා” ඉල්මස හැසිරෙන සොරු. “පරිපාතෙන්ති” උවදුරු කෙරෙත්. ඒ ඒ තැන දුවපැන බිය ගන්වත්. පලවා හරිත්. “අන්තරඝරෙ නික්ඛිපිතුං” තුන් සිවුරෙන් එක් සිවුරක් ඇතුළුගම්හි තබන්නට භාග්යවතුන් වහන්සේ යම් හෙයකින් ප්රත්යයෝ නම් දැහැමෙන් සෙමෙන් දුර්ලභ වෙත්ද, සැහැල්ලු පැවැතුම් ඇති මහණ තෙමේ මවද විනවන්නට අපොහොසත් වේද, එහෙයින් චීවරගොපනය පිණිස ගොදුරුගමෙහි තබන්නට අනුදැන වදාළ සේක. භික්ෂූන්ට සුදුසු බැවින් අරණ්යවාසය ප්රතික්ෂෙප නොකළහ.