දෙවැනි අනියතශික්‍ෂාපද වර්ණනාව
“තෙන සමයෙන බුද්ධො භගවා” ද්විතීයානියත ශික්‍ෂාපදයයි. එහි “භගවතා පටික්‍ඛිත්තං” යනාදියෙහි එකලා මහණෙක් තෙමේ එකලා මාගමක හා රහස්හි කර්‍මයට යොග්‍යවූ පිළිසන් අසුනෙක යම් හිඳීමක් කරන්නේ නම් ඒ හිඳීම කිරීම ප්‍රතික්‍ෂෙප කරන ලදැ’යි මෙසේ සම්බන්‍ධය දතයුතුය. අන්යුරකින් වනාහි එකලා මහණක්හුගේ එකලා එකියක සමග කියයුතු වන්නේය. කුමක් හෙයිනයත්: ප්‍රතික්‍ෂෙප කරන ලදැයි වදාළ බැවිනි. සම්බන්‍ධාර්‍ත්‍ථයෙහි ‘එකො’ යන මේ ප්‍රථමාවචනය දතයුතුය.
“නහෙව ඛො පන පටිච්ඡන්නං” යන මෙහි වනාහි පිටත පවුරු ආදියෙන් වටකළ ඇතුළත අරිනලද යම් පිරිවෙන් මළු ආදියක් වේද, එද ඇතුළතයි දතයුතුය. මෙබඳු තැන් නොපිළිසන් තැනෙහිම ගන්නා ලදැයි මහාපච්චරියෙහි කියනලදි. සෙස්ස ප්‍රථම ශික්‍ෂාපදනයින්ම දතයුත්තේය. හුදෙක් මෙහි නුවණැති අන්‍ධ නොවූ බිහිරි වූ යම් කිසි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ දොළොස්රියන් තුළ අවකාශයෙහි සිටියේ හෝ හුන්නේ හෝ විසුරුනු සිතැත්තේද, නොවිසුරුනු සිතැත්තේද, නිදන්නේද, අනාපත්ති කරයි. බිහිරිවූයේ වනාහි ඇස් ඇත්තේද අන්‍ධ වූයේ බිහිරි නොවූයේද, අනාපත්ති නොකරයි. පාරාජිකාපත්තියද පිරිහෙලා දුට්ඨුල්ලාපත්තිය කියන ලදැයි මේ වෙනස වේ. සෙස්ස ප්‍රථමය සමානම වේ. මේ අනියත දෙක්හිම උම්මත්ත, ආදිකර්මිකයන්ට ඇවැත් නොවේ.
සමුත්‍ථානාදීන් අතුරෙහි මේ ශික්‍ෂාපදය ත්‍රිසමුත්‍ථාන වේ. කායචිත්තයෙන් හෝ වාචාචිත්තයෙන් හෝ කායවාචා චිත්තයෙන් හෝ උපදී. ක්‍රියාවෙන් පැමිණිය යුතු බැවින් ක්‍රියා සමුත්‍ථානයි. ව්‍යතික්‍රම සංඥාවගේ අභාවයෙන් මිදෙන බැවින් සංඥාවිමොක්‍ෂයි. සචිත්තකයි. ලොකවද්‍යයි. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. සුඛමද්ධ්‍යස්ථ වෙදනා වශයෙන් ද්විවෙදනයි. සෙස්ස ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය.
විනයවිවෘති නම්වූ සිංහලසමන්තපාසාදිකාවෙහි අනියතවර්‍ණනාව නිමි.
නිසැඟි කාණ්ඩය
චීවර වර්‍ගය
ප්‍රථමකඨිනශික්‍ෂාපද වර්ණනාව
තිංසනිස්සග්ගියා ධම්මා - යෙ වුත්තා සමිතාවිනා
තෙසන්‍දාති කරිස්සාම - අපුබ්බපදවණ්ණං
සමනය කළ පව් ඇති භාග්‍යවත් බුදුරජුන් විසින් යම් නිස්සග්ගිය පාචිත්තිය කෙනෙක් වදාරන ලද්දාහුද, දැන් ඔවුන්ගේ පෙර නොකියූ පදවර්‍ණනාව කරන්නෙමු.
“තෙන සමයෙන බුද්ධො භගවා වෙසාලියං විහරති ගොතමකෙ වෙතියෙ තෙන ඛො පන සමයෙන භගවතා භික්‍ඛූනං තිචීවරං අනුඤ්ඤාතං හොති” එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසාලා මහනුවර ගොතමක නම් යක්‍ෂයාගේ චෛත්‍යස්ථානයෙහි කරන ලද විහාරයෙහි වැඩ වාසය කරන සේක. එසමයෙහි වනාහි භාග්‍යවත්හු විසින් භික්‍ෂූන්ට තුන් සිවුර අනුදන්නා ලද්දේ වේ. මෙහි “තිචීවරං” අන්තරවාසකය උත්තරාසඞ්ගය සඞ්ඝාටියයි. මේ තුන් සිවුර පරිභොග කරන්නට අනුදන්නා ලද්දේ වේ. යම් තැනෙක්හි වනාහි මේ තුන් සිවුරු පරිභොගය අනුදන්නා ලද්දේද, යම් කලෙක්හි අනුදන්නා ලද්දේද, යම් කරුණක් හේතුකොට අනුදන්නා ලද්දේද, ඒ සියල්ල චීවරක්‍ඛන්‍ධකයෙහි ජීවතවස්තුවෙහි ආයේම වේ. “අඤ්ඤෙනෙව තිචීවරෙන ගාමං පවිසන්ති” යම් සිවුරකින් යුක්තව විහාරයෙහි හිඳිත්ද, නානතොටට බසිත්ද, එයින් අනිකෙකින්මය. මෙසේ දවස්පතා අලුත් සිවුරු දරත්,
“උප්පන්නං හොති” අනුප්‍රඥප්තියට දොර දෙමින් ප්‍රතිලාභ වශයෙන් උපන්නේ වේ. නිෂ්පත්ති වශයෙන් උපන්නේ නොවේ.
“ආයස්මතො සාරිපුත්තස්ස දාතුකාමො හොති” ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්වහන්සේ ‘භාග්‍යවතුන් වහන්සේ හැර ගුණයෙන් විශිෂ්ටවූ මෙබඳු අන්‍ය පුද්ගලයෙක් නැතැ’යි ගුණයට බුහුමන් කිරීමෙන් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මමායනය කරත්. ඒ ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ හැම කල්හිම මනවඩන සිවුරක් ලැබ රදන් ගන්වා කප්බිදු පිහිටුවා තෙරුන් වහන්සේටම දෙත්. උපස්ථායක කුලයන්ගෙන් දරුවන් ගෙන්වාගෙන පැවිදිකොට තෙරුන් වෙතම උපාද්ධ්‍යාය ග්‍රහණය කරවා තුමූ අනුශ්‍රාවණකර්‍මය කරත්, ආයුෂ්මත් කාරීපුත්‍රස්ථවිරයන් වහන්සේද, ‘පියා විසින් කටයුතු කිස නම් වැඩිමහල් පුතුට අයත්ය. මා විසින් භාග්‍යවතුන් වහන්සේට කටයුතු කිස ආනන්‍ද ස්ථවිර තෙමේ කරන්නේය. මම ආනන්‍ද තෙරුන් නිසා උත්සාහ රහිතව වසන්නට ඉඩලබමි’යි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට මමායන කරත්. උන්වහන්සේද, ‘තමන්ට ලැබෙන මනවඩන සිවුරු ආනන්‍ද තෙරුන්ටම දෙතියි යන සියල්ල පළමු කියන ලද්ද සමානම වේ. මෙසේ ගුණයට බුහුමන් කිරීමෙන් මමායනය කරන්නේ එකල්හි උපන් ඒ සිවුර ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට දෙනු කැමැත්තේ වේයයි දතයුතුය.