පළමු අනියතශික්ෂාපද වර්ණනාව
ආයුෂ්මත්නි’ මේ අනියතධර්මයෝ දෙදෙන උදෙසීමට එති.
“තෙන සමයෙන බුද්ධො භගවා” ප්රථම අනියත ශික්ෂාපදයයි. එහි “කාලයුත්තං සමුල්ලපන්තො” යනු කල් සලකා යම්කලෙක්හි අන් කිසිවෙක් සමීපයෙන් නොයන්නේ හෝ නොඑන්නේ හෝ, එකල්හි එයට අනුරූපව ‘කිම, නොකළකිරෙහිද, නොවෙහෙසෙහිද, බඩගිනි අතියෙහිද, යනාදීවු ගෘහනිශ්ශ්රිත කථා කියමින් “කාලයුත්තං ධම්මං භණන්කො” යනු කල් සලකා යම් කලෙක්හි අන් කිසිවෙක් සමීපයෙන් යන්නේ හෝ එන්නේ හෝ එකල්හි එයට අනුරූප පොහොය කරන්නෙහි, ලහබත් දෙන්නෙහි, යනාදීවූ ධර්මකථා කරමින්.
බොහෝ දූවරුද පුත්රයෝද මෑහටනුයි බහුපුත්තා නම. ඇයට වනාහි පුත්රයෝ දසදෙනෙක්ද දුහිතෘහු දසදෙනෙක්ද වූහ. මෙසේ ඕ තොමෝ විස්සක් අධික කොට ඇති සාරසියයක් දූපුත් මුනුබුරු මිනිබිරියන් පිරිවරකොට ඇත්තීවූය. “අභිමඞ්ගලසම්මතා”යි උත්තම මඞ්ගල සම්මතය. “යඤ්ඤෙසු” කුඩා මහත් දානයන්හි. “ඡනෙසු” යනු ආවාහ විවාහ මඞ්ගලාදි උත්සවයක් අතරතුර පැවැති උත්සවයන්හි “උස්සවෙසු” ඇසළ මස පවුරුණු නැකත් ආදී මහත් උත්සවයන්හි. “පඨමං භොජෙන්ති” යනු මේ දරුවෝ තා හා සමාන ආයු ඇතිව නීරොග වෙත්වායි යාඥා කරමින් පළමුකොටම වළඳවත්. යම්කෙනෙක් සැදැහැ ඇත්තෝ පහන් වූවාහු වෙත්ද, ඔවුහු භික්ෂූන් වළඳවා එයට අනතුරුවම සියල්ලට පළමුව ඒ විසාඛාවම වළඳවත්. “න ආදියි” යනු ඇයගේ වචනය නොගත්තේය. එයට ආදරය නොකෙළේයයිද අර්ත්ථයි.
“අලං කම්මනියෙ” කර්මක්ෂමය කර්මයට යෝග්යයි කම්මනිය නම. කර්මණ්යභාවයට යෝග්යය. සෑහේයයි අලං කම්මනිය නම, ඒ කර්මයට යොග්යතන්හි, යම් තැනක අද්ධ්යාචාරය කරන්නාවු ඒ අද්ධ්යාචාරකර්ම කරන්නට හැකි වෙත්ද, එබඳු තන්හිය යන අර්ත්ථයි. එහෙයින්ම මෙයට පදභාජනයෙහි “සක්කා හොති මෙථුනං ධම්මං පතිසෙවිතුං”යි වදාළ සේක. යම් තැනක මෙවුන්දම් සෙවුමට හැකිවේයයි කියන ලද්දේ වේ. “නිසජ්ජං කප්පෙය්ය” හිඳීම කරන්නේය. හිඳින්නේය යන අර්ත්ථයි. යම්හෙයකින් වනාහි හිඳම නොවීද, එහෙයින් මෙයට පදහාජනයෙහි දෙකම වදාරන ලදි. එහි “උපනිසින්නො” එළැඹැ හුන්නේය. මෙසේ “උපනිපන්නොපි” හොත්තේදැයි දතයුත්තේය. “භික්ඛු නිසින්නෙ” යනු මහණහු හුන්කල්හි යන අර්ත්ථයි. “උභො වා නිසින්නා” මහණහු හා මාගම යන දෙදෙනම පෙර පසු නොව හුන්නාහු. මෙහිද පෙළෙහි “සොතස්ස රහො” කණට රහස්වයි ආයේය. ඇසට රහස් වසයෙන්ම රහොනිසජ්ජාපත්තියගේ පිරිසිදීම දතයුතුය. වැසූ කවුළු ඇති ගැබක දොර ලඟ හුන් නුවණැති පුරුෂයෙක්වේද, එයින්ම අනාපත්තිය නොකරයි. නොවැසූ කවුළු ඇති ගැබක දොරලඟ හුන්නේ අනාපත්තිය කරයි. හුදෙක් දොරලඟ හුන්නේ අනාපත්තිය නොකරන්නේය. දොළොස්රියනක් තුළ අවකාශයෙහි හුන්නේද අනාපත්තිය කරන්නේය. ඉදින් ඇස් ඇත්තෙක් විසුරුනු සිත් ඇත්තේ වේද, නිදන්නේද, අනාපත්තිය කරන්නේය. සමීපයෙහි සිටි අන්ධතෙමේද, නොකරන්නේය. ඇස් ඇත්තේද හෙව නිදන්නේ නොකරන්නේය. ස්ත්රීන් සියයකුදු අනාපත්ති නොකෙරේමය.
“සද්ධෙය්ය වචසා” ඇදහිය යුතු වචන ඇත්තීය. ඕ වනාහි යම් හෙයකින් ආර්ය්ය ශ්රාවිකාවක්මවේද, එහෙයින් මේ ශික්ෂාපදයාගේ පදභාජනයෙහි “ආගතඵලා” යනාදිය වදාරන ලදි. එහි පැමිණි ඵලය මැයටනුයි ආගතඵලා නම. පිළිලද සෝවවන්පල ඇත්තීය යන අර්ත්ථයි. “අභිසමෙතාවිනී” යනු පිළිවිදි සිවුසස් ඇත්තීය. මැය විසින් ශික්ෂාත්රය සංගෘහිතශාසනය ඇත්තී විඤ්ඤනසාසනා නම, “නිසජ්ජං භික්ඛු පටිජානමානො” යනු මෙවැනි උපාසිකාවන්තොමෝ දැක කියයි. එහෙත් මහණ තෙමේ හිඳීම පිළිණ කරන්නේම පාරාජිකයෙන් වේවයි, සඞ්ඝාදිසෙසයෙන් වේවයි, පාචිත්තියෙන් වේවයි යන තුන අතුරින් එක්තරා එකෙකින් කරවිය යුතුය. පිළිණ නොකරන්නේ නොකටයුතුය.
“යෙන වා සා සද්ධෙය්ය වචසා උපාසිකා වදෙය්ය තෙන සො භික්ඛු කාරෙතබ්බො”යි නිෂද්යාදි ආකාරයන් අතුරෙහි යම් ආකාරයක් සමග මෙවුන්දම් ආදිය ආරොපණය කොට ඒ උපාසිකා තොමෝ කියන්නී නම් එයින් පිළිණ කරන්නාවූම ඒ මහණ තෙමේ කරවිය යුතුය. මෙවැනි උපාසිකාවකගේද වදන් පමණින් නොකරවිය යුතුය යන අර්ත්ථයි. කුමක් හෙයින, යත් යම්හෙයකින් දක්නා ලද්ද එසේද වේ. අන්ලෙසකින්ද වේ. එහෙයිනි. ඒ කරුණ දක්වනු පිණිස මේ වස්තුව ගෙණහැර දක්වත්.
මල්ලාරාම විහාරයෙහි එක් රහත්තෙරනමක් එක් දිනෙක උපස්ථායක කුලයකට ගොස් ගෙය තුළ හුන්නේය. උපාසිකා තොමෝද නිදන අසුන ඇසුරු කොට සිටියාය. එකල එක් පිඩුසිඟා යන මහණෙක් දුරලඟ සිටියේ දැක, ස්ථවිර තෙමේ උවැසිය හා එක් අසුනෙහි හුන්නේයයි සංඥා ලැබ සිතා නැවැත නැවැත බැලූයේය. ස්ථවිර තෙමේද, මෙතෙමේ මා කෙරෙහි අශුද්ධිලබ්ධි ඇත්තේ වීය’යි සලකා කළ බත්කිස ඇත්තේ විහාරයට ගොස් තමන් වසන තැනට වැද ඇතුළතම හුන්නේය. ඒ මහණතෙමේද තෙරුන්ට චෝදනා කරන්නෙමියි අවුත් කාරා දොර හැරියේය. ස්ථවිරතෙමේ ඔහුගේ සිත දැන අහසට පැන නැගී කුළුගෙයි කැණිමඩල ඇසුරුකොට අරමිණිය ගොතා හුන්නේය. ඒ මහණතෙමේද ඇතුළට වැද ඇඳද ඇඳයටද බලා තෙරුන් නොදක්නේ උඩබැලීය. එකල අහස හුන්තෙරුන් දැක ‘ස්වාමීනි මෙසේ මහත් සෘද්ධි ඇති ඔබවහන්සේලා මාගම හා එක් අසුනෙහි හුන්බව කියවවුමදැ’යි කීයේය. ස්ථවිර තෙමේ ‘ඇවැත’ ඇතුළුගෙය පිළිබඳවම මේ දොසය වේ. මම, වනාහි එය අදහවන්නට නොහැකිවන්නේ මෙසේ කෙළෙමි, මා රකුවයි කියා බැසසිටියේය.
මෙයින් මතු “සා චෙ එවං වදෙය්ය” යනාදි සියල්ල පිළිණ ගැණීමෙහි ආකාරය දක්වනු පිණිස වදාරන ලදී. එහි “මාතුගාමස්ස මෙථුනං ධම්මං පතිසෙවන්තො” යනු මාගමකගේ මගෙහි මෙවුන්දම් සේවනය කරන්නේය යන අර්ත්ථයි. “නිසජ්ජාය කාරෙතබ්බො”යි හිඳීම පිළිනකොට මෙවුන්දම් පිළිසෙවුම නොපිළිදන්නේ මෛථුන ධර්මපාරාජිකාපත්තියෙන් නොකරවා හිඳීම පමණින් යම් ඇවැතකට පැමිණේද ඒ ඇවැතින් කරවිය යුත්තේය. පාචිත්තියාපත්තියෙන් කරවිය යුත්තේය යන අර්ත්ථයි. මේ නයින් සියලු චතුෂ්කයන්හි විනිශ්චය දතයුත්තේය.