දුතියදුට්ඨදෝස ශික්ෂාපද වර්ණනාව
“තෙන සමයෙන බුද්ධො භගවා” ද්විතීය දුෂ්ටද්වෙෂ ශික්ෂාපදයයි. එහි “හන්ද මයං ආවුසො ඉමං ඡකලකං දබ්බං මල්ලපුත්තං නාම කරොම” ඒ මෙත්තිය භූම්මජක භික්ෂූහු තමන්ගේ මනදොළ සම්පාදනය කරන්නට නොහැකිවනුවෝ ලැබූ නිගාවෙන් දුකට පැමිණියාහු ‘දැන් දන්නෙමු’යි එබඳු වස්තුවක් සොයමින් හැසිරෙත්. එකල්හි එක් දවසක් එළුදෙනක හා විපිළිපන් එළුවෙකු දැක තුටුවූවෝ උනුන් දෙස බලා ‘ඇවැත්නි’ එබැවින් අපි මේ එළු, දබ්බමල්ලපුත්ර නම් කරමු’යි මෙසේ කීහ. ‘මෙතෙමේ දබ්බමල්ලපුත්ර නමැයි මෙසේ මේ එළුහට නම් කරමු’යි කියන ලද්දේ වේ. “මෙත්තියං නාම භික්ඛුනිං” යන මෙහිද මේ නයවේ.
“තෙ භික්ඛු මෙත්තියභුම්මජකෙ භික්ඛු අනුයුඤ්ජිංසුං” ඇවැත්නි’ කොතැන්හිදී තොප විසින් දබ්බමල්ලපුත්රතෙමේ මෙත්තියා මෙහෙණ සමග දක්නා ලද්දේද, ගිජුකුළුපවු පාමුලදීය, කවර වේලාවකද, ‘පිඩු සිඟාගිය වේලාවෙහිය’, ‘ඇවැත් ‘දබ්බ’, මොවුහු මෙසේ කියත්. ‘තෝ එකල්හි කොහිද’, ‘වෙළුවනයෙහි බත් උදෙසමි’, ඒ ‘වේලෙහි තා වෙළුවනයෙහි ඇතිබව කවරෙක් දනීද, ස්වාමීනි’ භික්ෂුසඞ්ඝ තෙමේය. ඒ ‘භික්ෂූහු’ තෙපි ඒ වෙලෙහි මොහු වෙළුවනයෙහි ඇති බව දනිවුදැ’යි සඞ්ඝයා විචාළාහුය. ‘ඇවැත්නි’, එසේය. දනුම්හ’. ‘ස්ථවිරතෙමේ සම්මුතිය ලත් දින පටන් වෙළුවනයෙහි යයි මෙසේ දැන්වූහ. ඉනික්බිති මෙත්තිය භුම්මජකයන්ට ‘තොපගේ කථාව සම නොවේ. කිම, අපට ලෙශයක් නගා කියවු’දැයි කීහ. මෙසේ ඒ භික්ෂූන් විසින් පරීක්ෂා කරනු ලබන්නාවූ ඔවුහු ‘ඇවැත්නි’, එසේයයි’ කියා මේ කරුණ සැලකළහ.
“කිං පන තුම්හෙ ආවුසො ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං අඤ්ඤභාගියස්ස අධිකරණස්ස’යි අන් කොටස පිළිබඳවූ මෙය හෝ, මොහුට එළු ජාතිය හෝ අන් කොටසක් හෝ ඇත්තේයයි අඤ්ඤභාගිය නම. අධිකරණ යනු ආධාරයයි දතයුතුය. වස්තුව අධිෂ්ඨානැයි කියන ලද්දේ වේ. එළුතෙමේ යම් ඒ දබ්බමල්ලපුත්ර නමැයි කියන ලද්දේද, ඒ එළුතෙමේ, ආයුෂ්මත් දබ්බමල්ලපුත්රගේ යම් මේ භාගයක් කොටසක් පක්ෂයක් මනුෂ්ය ජාතියක් භික්ෂුභාවයක් වේද, ඒ මනුෂ්යජාතියෙන් හා භික්ෂුභාවයෙන්ද අන්යවූ තිරච්ඡානජාතිය පිළිබඳවූද ජකලකභාවය පිළිබඳ වූද භාගය කොටස පක්ෂය පිළිබඳ වේ. තිරච්ඡාන ජාතිය පිළිබඳවූද ඡකලකභාවය පිළිබඳවුද ඒ අන්යාභාගය හෝ මේ එළුට ඇත්තේනුයි. එහෙයින් එළු අඤ්ඤභාගිය සංඥාව ලබයි. යම්හෙයකින් අපි මේ එළු දබ්බමල්ලපුත්ර නම් කරමුයි කියන්නාවූ ඒ මෙත්තිය භූම්මජක භික්ෂූන්ගේ ඒ නාමකරණ සංඥාවට ඒ එළු අධාර වූයේද වස්තුව වූයේද අධිෂ්ඨානය වූයේද, එහෙයින් අධිකරණයයි දතයුතුය. ඒ එළු සඳහා අනුයුඤ්ජක භික්ෂූහු අන් කොටස් ඇති අධිකරණය පිළිබඳයයි කීහ. විවාදාධිකරණාදීන් අතුරෙහි එක්තරා එකක් නොවේ. කුමක් හෙයින්දයත්: අසම්භව හෙයිනි. ඒ මෙත්තිය භූම්මජක භික්ෂූහු චතුර්විධ අධිකරණයන්ගෙන් කිසි අන් කොටසක් ඇති අධිකරණයක කිසිලෙශමාත්රයක් නොගත්තාහුය. චතුර්විධ අධිකරණයන්ගේ ලෙශයක් නම් නැත්තේය. ජාතිලෙශාදීහු පුද්ගලයන්ගේම ලෙශයෝයයි කියන ලදහ. විවාදාධිකරණාදීන්ගෙන් එකක් නොවේ. මේ දබ්බමල්ලපුත්ර යන නාමයයි. අන්යභාගීයාධිකරණභාවයෙහි සිටියාවූ ඒ කිසිචථගේ ලෙශයක් වේ. තෙරුන් අමූලකපාරාජිකයෙන් චෝදනා කරන්නට ලෙශමාත්රයක් මෙහිද පෙනේ.
මොහුට, මෙතෙමේයයි හැගේ, මෙතෙමේයයි ව්යවහාර කරනු ලැබේනුයි දෙශ නම. ජාති ආදීන් අතුරෙහි එක්තරා කොටසකට මේ නමකි. අනිකුදු වස්තුවක ව්යවහාරමාත්රයෙන් මඳක් ඇලේනුයි ලෙශ නම. ජාති ආදීන් අතුරෙන්ම එක්තරා කොටසකට මේ නමකි. ඉනික්බිති ප්රකට අර්ත්ථ ඇත්තේමය. ශික්ෂාප්රඥප්තියෙහිද මෙම අර්ත්ථය වේ. පදභාජනයෙහි වනාහි යම් අන්යභාගියායි කරණයක්හුගේ කිසි ලෙශමාත්රයක් ගෙන පාරාජිකාපත්තියකින් චෝදනා කරන්නේද, එය යම්හෙයකින් අර්ත්ථොත්යත්ති වශයෙන්ම ප්රකාශ වූයේද, එහෙයින් විභාග නොකරන ලදැයි දතයුතුය.
අධිකරණ යන වචන සමානත්වයෙන් අර්ත්ථෙද්ධාර වශයෙන් පැවති යම් චතුර්විධ අධිකරණ කෙනෙක් වෙත්ද, ඔවුන්ගේ අන්යභාගීය භාවයද තද්භාගීය භාවයද යම්හෙයකින් අප්රකටද, විනයධරයන් විසින් දැනගත යුතුද, එහෙයින් වචන සමානත්වයෙන් ලද අධිකරණය නිසා එය ප්රකාශ කරන සේක් “අඤ්ඤභාගියස්ස අධිකරණස්ස” යනු ආපත්ති අන්යභාගීය හෝ අධිකරණ අන්යභාගීය හෝවේ, යනාදිය වදාළ සේක. අවසානයෙහි ආපත්ති අන්යභාගීය වූ අධිකරණයෙහි වසයෙන් යම් ඒ චෝදනාවක් කියන ලදද, එද දක්වනු පිණිස සියලු අධිකරණයන්ගේ මේ තද්භාගිය අන්යභාගියභාවය එක් කරන ලදැයි දතයුතුය.
එහිද “ආපත්තඤ්ඤභාගියං වා”යි පළමුකොට උදෙසනලද බැවින් ආපත්තිතොමෝ ආපත්තියට කෙසේ අන්යභාගිය වේදැයි නිර්දෙශය ඇරඹිය යුතු කල්හි යම්හෙයකින් ආපත්තාධිකරණයෙහි තද්භාගිය විචාරණයෙහිම මේ අර්ත්ථය පැමිණෙන්නේද, එහෙයින් මෙසේ ආරම්භ නොකොට අධිකරණය අධිකරණයට කෙසේ අන්යභාගිය වේදැයි පසු පදයම ගෙන නිර්දෙශය පටන්ගන්නා ලදැයි දතයුතුය.
එහි අනාභාගියවාරය ප්රකට අර්ත්ථ ඇත්තේමය. එක් එක්ම අධිකරණයක් අනික් තුන් තුන් අධිකරණයන්ට අන්යභාගිය වේ. අන්ය පක්ෂයක් ඇත්තේ වේ. අනෙක් කොටසක් ඇත්තේ වේ. වස්තු විසභාග බැවිනි. තද්භාගිය වාරයෙහි වනාහි විවාදාධිකරණය විවාදාධිකරණයට තද්භාගිය වේ. තත් පක්ෂ ඇත්තේ වේ. තත් කොට්ඨාස ඇත්තේ වේ. වස්තුසභාග බැවිනි. අනුවාදාධිකරණය අනුවාදාධිකරණයට එසේය. බුද්ධ කාලයෙහි පටන් අටළොස් භෙදකරවස්තූන් නිසා උපන් විවාදයද වස්තුසභාග බැවින් එක්ම විවාදාධිකරණයක් වේ. එසේ බුද්ධ කාලයෙහි පටන් සිවු විපත් නිසා අනුවාදයද දැන් උපදින අනුවාදයද වස්තුසභාග බැවින් එක්ම අනුවාදාධිකරණයක් වේ. යම්හෙයකින් ආපත්තාධිකරණය ආපත්තාධිකරණයට සභාගවිසභාග වස්තු වශයෙන්ද ස්වභාවයෙන් සමාන අසමාන බැවින්ද ඒකාන්තයෙන් තද්භාගිය නොවේද, එහෙයින් ‘ආපත්තාධිකරණය ආපත්තාධිකරණයට කිසිකලෙක තද්භාගියද කිසිකලෙක අන්යාභාගියදවේයයි කියන ලද්දේය. එහි පටන් අන්යභාගියය. පළමුකොට දැක්වූ බැවින් මෙහිදු අන්යභාගියම පළමුකොට දක්වන ලදි. එහි අන්යභාගියභාවයද ඉන්පසු තද්භාගියභාවයද ‘සභාග විසභාගතො’ යනාදි කියූ නයින්ම දතයුතුය.