ප්‍රථමසඞ්ඝභේද ශික්‍ෂාපද වර්ණනාව
“තෙන සමයෙන බුද්ධො භගවා” සඞ්ඝභෙදශික්‍ෂාපදයයි. එහි “අථ ඛො දෙවදත්තො” යනාදි තන්හි යම් දෙවදත්තයෙක් තෙමේ යම්සේ පැවිදි වූයේද, යම් කරුණකින් කොකාලිකාදීන් කරා එළඹ ‘ඇවැත්නි, එවු, අපි ශ්‍රමණ ගෞතම ස්වාමින්ගේ සඞ්ඝ භෙදය ආණභෙදය කරම්හයි කීයේද, ඒ සියල්ල සඞ්ඝභෙදක්‍ඛන්‍ධකයෙහි ආයේමය, පඤ්චවස්තු යාචනයද එහිම එන්නේය. එහෙත් මෙහිද ආබැවින් මෙහි යමක් කියයුතුද, එය කියාම යන්නෙමු.
“සාධු භන්තෙ” ආයාචනාය. “සාධු භික්‍ඛු යාවජීවං ආරඤ්ඤිකා අස්සු” සියලු භික්‍ෂූහු යම්තාක් ජීවත්වෙත්ද, ඒතාක් ආරණ්‍යක ධුතාඞ්ගය සමාදන්ව ආරණ්‍යකයෝ වෙත්වා, ආරණ්‍යයෙහිම වසත්වා. “යො ගාමන්තං ඔසරෙය්‍ය වජ්ජං නං ඵුසෙය්‍ය” යම් එක් මහණෙක්ද ආරණ්‍යය හැර විසීම පිණිස ගමට වදනේද වරද ඒ මහණහු පහසන්නේය. දොෂය තෙමේ ඒ මහණහු පහසාවා භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහු ඇවැතින් කෙරෙත්වා, යන අදහසින් කියයි. සෙසු තන්හිද මේ නයයි.
“ජනං සඤ්ඤපෙස්සාම” ජනයා ලවා අපගේ අල්පෙච්ඡතාදිභාවය දන්වන්නෙමු. නොහොත් සතුටු කරවන්නෙමු. පහදවන්නෙමුයි කියන ලද්දේ වේ.
මේ පඤ්චවස්තූන් යාඥාකරන දෙව්දත්හුගේ වචනය අසාම භාග්‍යවතුන් වහන්සේ ‘මෙතෙමේ සඞ්ඝභෙදය කැමතිව යාඥා කෙරේයයි දැන වදාළ සේක. යම්හෙයකින් ඒ පඤ්චවස්තූහු අනුදනුලබන්නාහු බොහෝ කුලපුත්‍රයන්ට මාර්‍ගාන්තරාය පිණිස පවතිත්ද, එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ‘කම් නැත දෙවදත්ත’යි ප්‍රතික්‍ෂෙපකොට, යමෙක් කැමතිවේද, හෙතෙමේ ආරණ්‍යකවේවා, යනාදිය වදාළ සේක.
මෙහිදී භාග්‍යවතුන් වහන්සේගේ අදහස දැන කුලපුත්‍රයා විසින් තමහට සුදුස්සක් දතයුතුය. මේ මෙහිලා භාග්‍යවතුන් වහන්සේගේ අදහසය: එක් මහණෙක් මහත් අදහස් ඇත්තේ මහත් උත්සාහ ඇත්තේ වේ. හෙතෙමේ ග්‍රාමාන්තසෙනාසනය අත්හැර ආරණ්‍යයෙහි වසන්නේ දුක් කෙළවර කරන්නට හැකිවේ. එක් මහණෙක් දුර්‍වලවූයේ මද ශක්ති ඇත්තේ ආරණ්‍යයෙහි වසනුයේ දුක් කෙළවර කරන්නට නොහැකි වේ. ග්‍රාමාන්තයෙහිම වසනුයේ දුක් කෙළවර කරන්නට හැකිවේ. එක් මහණෙක් මහත්බල ඇත්තේ සමව පවත්නා ධාතු ඇත්තේ අධිවාසන ක්‍ෂාන්තියෙන් යුක්තවූයේ ඉෂ්ටානිෂ්ටවස්තූන්හි සමසිත් ඇත්තේ අරණ්‍යයෙහිද ග්‍රාමාන්තයෙහිද වසනුයේ දුක් කෙළවර කරන්නට හැක්කේමය. එක් මහණෙක් ව්‍යඤ්ජනපදයම පරමකොට ඇත්තේ ග්‍රාමාන්තයෙහි ද වසනුයේ දුක් කෙළවර කරන්නට නොහැකිවේ. අරණ්‍යයෙහි වසනුයේ දුක් කෙළවර කරන්නට නොහැකිවේ.
ඔවුනතුරෙහි යම් මේ මහණෙක්තෙමේ මහත් අදහස් ඇත්තේ මහත් උත්සාහ ඇත්තේ වේද, ග්‍රාමාන්ත සෙනාසනය හැරපියා අරණ්‍යයෙහි වසනුයේ දුක් කෙළවර කරන්නට හැකිවේද, හෙතෙමේ අරණ්‍යයෙහිම වෙසේවා. මේ මහණහුට මේ සෙනසුන සුදුසු වේ. මේ මහණහුගේ සද්ධිවිහාරිකාදීහුද අනුව හික්මෙන්නෝ අරණ්‍යයෙහි විසියයුතුමැයි සිතන්නාහුය.
යම් මහණෙක් තෙමේ දුර්‍වලවූයේ මදශක්ති ඇත්තේ ග්‍රාමාන්තයෙහිම වසනුයේ දුක් කෙළවර කරන්නට හැකිවේද, අරණ්‍යයෙහි වසනුයේ දුක් කෙළවර කරන්නට නොහැකිවේද, හෙතෙමේ ග්‍රාමාන්තයෙහිම වෙසේවා. යම් මේ මහණෙක් තෙමේ මහත්බල ඇත්තේ සමව පවත්නා ධාතු ඇත්තේ අධිවාසන ක්‍ෂාන්තියෙන් යුක්ත වූයේ ඉෂ්ටානිෂ්ටවස්තූන්හි සමසිත් ඇත්තේ අරණ්‍යයෙහිද ග්‍රාමාන්තයෙහි වසනුයේද දුක් කෙළවර කරන්නට හැක්කේමවේද, මෙතෙමේද, ග්‍රාමාන්තසේනාසනය හැරපියා අරණ්‍යයෙහි වෙසේවා. මේ මහණහුට මේ සෙනසුන සුදුසු වේ. මේ මහණහුගේ සද්ධිවිහාරිකයෝද, අනුව හික්මෙන්නෝ අරණ්‍යයෙහි විසිය යුතුයයි සිතන්නාහුය.
යම් මේ මහණෙක් ව්‍යඤ්ජනපදයම පරමකොට ඇත්තේ ග්‍රාමාන්තයෙහි වසනුයේද දුක් කෙළවර කරන්නට නොහැකිවේද අරණ්‍යයෙහි වසනුයේද දුක් කෙළවර කරන්නට නොහැකිවේද, මෙතෙමේද, අරණ්‍යයෙහිම වෙසේවා. මේ වනාහි මේ පදපරමයාහට ධුතාඞ්ග වශයෙන්ද කර්‍මස්ථාන භාවනා වශයෙන්ද මත්තෙහි මාර්‍ගඵලයන්ට උපනිශ්ශ්‍රය වන්නේය. මොහුගේ සද්ධිවිහාරිකයෝද අනුව හික්මෙන්නෝ අරණ්‍යයෙහි විසිය යුතුයයි සිතන්නාහුය.
මෙසේ යම් මේ මහණෙක් තෙමේ දුර්‍වලවූයේ මද ශක්ති ඇත්තේ ග්‍රාමාන්තයෙහිම වසනුයේ දුක් කෙළවර කරන්නට හැකිවේද, අරණ්‍යයෙහි වසනුයේ දුක් කෙළවර කරන්නට නොහැකිවේද, මේ පුද්ගලයා සඳහා භාග්‍යවතුන් වහන්සේ ‘යමෙක් කැමතිවේද, හෙතෙමේ ග්‍රාමාන්තයෙහි වෙසේවායි වදාළ සේක. මේ පුද්ගලයා විසින්ද අන්හටද ද්වාරය දෙන ලද්දේය.
ඉදින් වනාහි භාග්‍යවතුන් වහන්සේ දේවදත්තයාගේ වාදය පිළිගන්නා සේක් නම්, යම් මේ පුද්ගලයෙක් තෙමේ ප්‍රකෘතියෙන් දුර්‍වල වේද, මද ශක්ති ඇත්තේවේද, යමෙක් තරුණ කාලයෙහි අරණ්‍යයෙහි විසීම නිෂ්පාදනයකොට, මහලු කාලයෙහි හෝ වාපිත් ආදියෙන් හටගත් ධාතුක්‍ෂොභ කාලයෙහි හෝ ආරණ්‍යයෙහි විසීම නිපදවාද ග්‍රාමාන්තයෙහිම වසමින් දුක් කෙළවර කරන්නට වේද, ඔවුන්ට ආර්‍ය්‍ය මාර්‍ගයේ සිදීම වන්නේද, අර්‍හත්ඵලාධිගමය නොවන්නේද, ශාස්තෘශාසනය ධර්‍මයෙන් පහවූවෙක් විනයෙන් පහවූවෙක් විරුද්ධවූවෙක් නෛර්‍ය්‍යාණික නොවූවෙක් වන්නේද, ඔවුන්ගේ ශාස්තෘතෙමේද සියල්ල දන්නෙක් නොවන්නේද ‘ස්වකීයවාදය හැරපියා දෙවදත්තවාදයෙහි පිහිටියහයි ගැරහිය යුත්තාහු වන්නාහ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ මෙබඳු පුද්ගලයන්ට සඞ්ග්‍රහ කරනසේක් දෙවදත්තයාගේ වාදය ප්‍රතික්‍ෂෙපකළ සේක. මේ උපායෙන්ම පිණ්ඩපාතිකවස්තුවෙහිද පංසුකූලිකවස්තුවෙහිද අටමසෙක්හි වෘක්‍ෂමූලික වස්තුවෙහිද විනිශ්චය දතයුතුය. සිවුමසක් වෘක්‍ෂ මූලසේනාසනය ප්‍රතික්‍ෂෙප කරන ලද්දේමය.