පඨමදුට්ඨදෝස ශික්‍ෂාපද වර්ණනාව
“තෙන සමයෙන බුද්ධො භගවා” යනු දුට්ඨදොස ශික්‍ෂාපදයයි. එහි “වෙළුවනෙ කලන්‍දකනිවාපෙ” වෙළුවන යනු ඒ උයනට නමකි. එය උණගස්වලින්ද අටළොස් රියන් පවුරෙන්ද වටකරන ලද්දේ වීය. දොරකොටුවෙන් හා පවුරමතුයෙහි පිහිටවූ අටල්ලෙන් යුක්තය. හුණයෙන් වටකළ බැවින්, මල්පල දැරූ රුකින් වටකළ බැවින් නිල් පැහැ ඇත්තේ විය. සිත්කලුය. එහෙයින් වෙළුවනැයි කියනු ලැබේ. මෙහි ලෙහෙනුන්ට බත් වැටුප් දුන්හ. එයින් කලන්‍දකනිවාපයි කියනු ලැබේ.
පෙර එක්තරා රජෙක් එහි උයනෙහි ක්‍රීඩා කරනු පිණිස ආයේ සුරාමදයෙන් මත්වූයේ දවල් නින්දෙන් නිදිගත්තේය. මොහුගේ පිරිවරජන තෙමේද ‘රජතෙමේ නිදිගත්තේ යයි මල්පල ආදියෙන් පෙළඹෙනුයේ ඔබමොබ ගියේය. එකල්හි සුරා ගඳින් එක්තරා සිදුරු රුකකින් කෘෂ්ණසර්‍පයෙක් නික්ම අභිමුඛව එන්නේය. එහි අරක් ගත් රුක්දෙවිතෙමේ ඌ දැක ‘රජුට දිවි දෙමි’යි ලෙහෙනෙකුගේ වේශයෙන් අවුත් කණමුල ශබ්ද කෙළේය. රජතෙමේ පිබිදුනේය. කෘෂ්ණසර්‍ප නැවතුනේය. රජතෙමේ ලේනා දැක ‘මේ ලේන්නු විසින් මට දිවිදෙන ලදැ’යි ලෙහෙනුන්ට එහි බත්වැටුප් තැබුයේය. අභයඝොෂයද ඝෝෂා කරවීය. එහෙයින් එය එතැන් පටන් කලන්‍දකනිවාපැයි ගිණීමට ගියේය. කලන්‍දක යනු ලෙහෙනුන්ට නමකි.
“දබ්බො” ඒ තෙරුන්ගේ නමයි. “මල්ලරාජපුත්තො” මල්ලරජුගේ පුත්කුමරුය. “ජාතියා සත්තවස්සෙන අරහත්තං සච්ඡිකතං” ස්ථවිරතෙමේ වනාහි සත්හැවිරිදිවූයේම සංවේගය ලබා පැවිදිවූයේ කරකම් අගම රහත්බවට පැමිණියේයයි දතයුතුය. “යං කිඤ්චි සාවකෙන පත්තබ්බං සබ්බං තෙන අනුප්පත්තං” ශ්‍රාවයෙකු විසින් පැමිණිය යුත්තේ නම් ත්‍රිවිද්‍යා චතුර්විධ ප්‍රතිසම්භිදා ෂට් අභිඥා නවලොකොත්තර ධර්‍ම යන මේ ගුණ සමූහයයි. ඒ සියල්ල ඔහු විසින් ලබන ලද්දේ වේ. “නත්‍ථි චස්ස උත්තරිං කරණීයං” සිවුසස් දහම්හි සිවුමගින් සොළොස් වැදෑරුම් කිස කළබැවින් දැන් මත්තෙහි මොහුට කිසි කටයුත්තෙක් නැත්තේය. “කතස්ස වා පතිචයො” සේදූ පත්‍රයක නැවත සේදීමක්, ඇඹරු සුවඳක නැවත ඇඹරීමක්, පිපුණු මලක නැවත පිපීමක්, නැතිසේ ඒ කළ කිසෙහි නැවත වැඩිමෙක් නැත්තේය. “රහොගතස්ස” රහසිගත වූ “පතිස්සල්ලීනස්ස” ඒ ඒ කිසෙන් හෝ අරමුණෙන් වැළකී සංලීනවූ එකීභාවයට පැමිණියාවූයි කියන ලද්දේ වේ.
“අථ ඛො ආයස්මතො දබ්බස්ස මල්ලපුත්තස්ස එතදහොසි යන්නූනාහං සෙනාසනඤ්ච පඤ්ඤාපෙය්‍යං භත්තානි ච උද්දිසෙය්‍යං” ස්ථවිරතෙමේ වනාහි තමන් කළ කිස ඇතිබව දැක ‘මම මේ අවසන් සිරුර දරමි, එද වාතය හමුවෙහි තැබූ පහනක් මෙන් අනිත්‍යතා මුඛයෙහි සිටියේය, නොබෝකලකින්ම නිවී යන ස්වභාව ඇත්තේය යම්තාක් නොවේද, ඒතාක් කිම, මම සඞ්ඝයාහට වතාවතක් කරන්නෙම්දැයි සිතන්නේ, පිටරටවල බොහෝ කුලපුත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේ නොදැකම පැවිදිවෙත්, ඔවුහු ‘භාග්‍යවතුන් වහන්සේ දකින්නෙමුයිද වඳින්නෙමුයිද දුරසිට එන්නෝය, එහිදී යම් කෙනෙකුන්ට සෙනසුන් නොපොහොනේද ඔවුහු ගල්තලාවෙහිද සයනය කරත්, මම මාගේ අනුභාවයෙන් ඒ කුලපුත්‍රයන්ගේ කැමැත්ත ලෙසින් ප්‍රාසාද විභාර අර්‍ධයොගාදීවූ ඇතිරිලි සහිත ඇඳපුටු සෙනසුන් මවා දෙන්නට පොහොසත් වෙමියි මෙසේ සැලකුයේය. මෙහි දෙවනදා ඇතැම්හු වැඩියක් ක්ලාන්ත ස්වරූප ඇත්තාහු වෙත්. ඔවුහු ගෞරවයෙන් භික්‍ෂූන් ඉදිරියෙහි සිටද බත් නොඋදෙසවති. මම ඔවුන්ට බත්ද උදෙසන්නට පොහොසත් වෙමියි. සිතන්නාවූ ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍රහට ‘මම සඞ්ඝයාහට සෙනසුන්ද පණවන්නෙම් නම් බත්ද උදෙසන්නෙම් නම් ඉතා මැනවැ’යි මෙබඳු සිතක් විය.
භස්සාරාමතාදියෙහි යෙදී වසන මහණහුට මේ දෙකරුණ යුතු නොවේද, මෙතෙමේද ක්‍ෂීණාශ්‍රවයෙක් වේ, අප්‍රමාදයෙහි ඇලී ගත්තේය. කුමක් හෙයින් මොහුට මේ දෙකරුණ වැටහුනේද, යත්: පෙර කරන ලද පැතීමෙන් මෙහෙයුණු බැවිනි. සියලු බුදුවරයන්ට මේ තනතුරට පැමිණි ශ්‍රාවකයෝ වෙත්මය. මෙතෙමේද පියුමතුරා බුදුරජුන් දවස එක්තරා කුලගෙයක උපන්නේ මේ තනතුරට පැමිණ මහණක්හුගේ අනුභාවය දැක අටසැට ලක්‍ෂයක් භික්‍ෂූන් සමග බුදුරජුන් පවරා සත්දිනක් මහදන් දී බුදුරජුන්ගේ පාමුල හෙව, මත්තෙහි ඔබවහන්සේ වැනි බුදු කෙනෙකුන් උපන්කල්හි මමද ඔබවහන්සේගේ මෙනම් ඇති ශ්‍රාවකයා මෙන් සෙනසුන් පණවන්නෙක්ද බත් උදෙසන්නෙක්ද වන්නෙමියි ප්‍රාර්‍ත්‍ථනා කෙළේය. භාග්‍යවතුන් වහන්සේ අනාගත සංඤාණය යවා බැලූසේක් දුටුසේක. දැකද මෙයින් කල්පලක්‍ෂයක් ඇවෑමෙන් ගෞතම නම් බුදුරජතෙමේ ලොව පහළවන්නේය. එකල තෝ දබ්බ නම් මල්ල පුත්‍රයෙක්ව ඉපද, උත්පත්තියෙන් සත්හැවිරිදිවූයේ ගිහිගෙයින් නික්ම පැවිදිව රහත්බව ප්‍රත්‍යක්‍ෂ කරන්නෙහිය. මේ තනතුරද ලබන්නෙහිය’යි ප්‍රකාශ කළසේක. හෙතෙමේ එතැන් පටන් දන්සිල් ආදිය පුරමින් දෙව් මිනිස් සැප විඳ අප බුදුරජුන් දවස ඒ පියුමතුරා බුදුරජුන් විසින් වදාළ පරිදිම රහත්බව ප්‍රත්‍යක්‍ෂ කෙළේය. එකල්හි රහසිගතව ‘කිම, මම සඞ්ඝයාහට වතාවතක් කරන්නෙම්දැ’යි සිතන්නහුම ඒ පූර්‍වප්‍රාර්‍ත්‍ථනාවෙන් මෙහෙයුණු බැවින් මේ දෙකරුණ වැටහුනේය.