විහාරකාර ශික්ෂාපද වර්ණනාව
“තෙන සමයෙන” යනු විහාරකාර ශික්ෂාපදයයි. එහි “කොසම්බියං” මෙනම් ඇති නගරයෙහි, “ඝොසිතාරාමෙ” ඝෝෂිත සිටුහුගේ ආරාමයෙහි. ඝොෂිත නම් ඇති සිටුහු විසින් ඒ ආරාමය කරවන ලද්දේය. එහෙයින් ඝෝෂිතාරාමයයි කියනු ලැබේ. “ඡන්වාස්ස” බොධිසත්ව කාලයෙහි උපස්ථායක වූ ඡන්න ස්ථවිරයන්හට “විහාරවත්ථුං භන්තෙ ජානාහි” ස්වාමිනි විහාරය පිහිටන තැනක් දනු මැනව. මෙහිදී විහාරැයි කීයේ සියලු වෙහෙර නොවේ. එක් ආවාසයෙකි. “අය්යස්ස විහාරං කාරාපෙස්සාමි”යි එහෙයින්ම කීයේය.
“චෙතියරුක්ඛං” ගරුබුහුමන් කටයුතු අර්ත්ථයෙන් චෙතිය නම. පිදීමට සුදුසු වූ දේවස්ථානයන්ට මේ නමකි. චෛත්යයයි සම්මත වෘක්ෂය චෛත්යවෘක්ෂ නම, ගම්වැසියන් විසින් පුදන ලද්දේ ගාමපූජිත නම. සෙසු පදයන්හිද මෙම නයවේ. තවද මෙහි ජනපදො එක් රජක්හුගේ රාජ්යයෙහි එක් කොටසෙකි. රට්ඨං යනු සතු රාජ්යයයි දතයුතුය. සකලරාජ්යයම ඒ රුකට කිසියම් කිසියම් කල්හි පූජා කරන්නේය. “රට්ඨ පූජිතං” යනු එහෙයින් වදාරනලදී. “එකින්ද්රියං” යනු කායෙන්ද්රිය සදහා වදාරත්. “ජීවසඤ්ඤිනො” සත්වසංඥා ඇත්තාහු.
“මහල්ලකං” සස්වාමිකභාවයෙන් සඤ්ඤාචිකකුටියට වඩා මහත්බව මොහුට ඇත්තේනුයි මහල්ලක නම. යම්හෙයකින් කුටිවත් දෙසවා පමණ ඉකුත් කිරීමෙන්ද කිරීම වටීද, එහෙයින් පමණ මහත් බැවිනුදු මහල්ලකය. ඒ මහල්ලක කුටියයි. යම්හෙයකින් මේ මහත් කිළියෙහි ඒ පමණ මහත්බව සස්වාමිකභාවයෙන්ම ලැබේද, එහෙයින් ඒ අර්ත්ථය දැක්වීම පිණිස “මහල්ලකො නාම විහාරො සස්සාමිකො වුච්චති”යි පදභාජනයෙහි වදාරන ලදී. සමුට්ඨානාදිය සමග සෙසු සියල්ල කුටිකාර ශික්ෂාපදයෙහි කියූ නයින්ම දතයුතුය. සස්වාමිකභාවමාත්රයම මේ ශික්ෂාපදයෙහි ක්රියාවෙන් සමුට්ඨානුභාවයද ප්රමාණනියමාභාවයද වෙනසි. ප්රමාණනියමය නොමැති හෙයින් අභාවචතුෂ්කය පිරිහුනේය.
විහාරකාර ශික්ෂාපද වර්ණනාව නිමි.
පඨමදුට්ඨදෝස ශික්ෂාපද වර්ණනාව
“තෙන සමයෙන බුද්ධො භගවා” යනු දුට්ඨදොස ශික්ෂාපදයයි. එහි “වෙළුවනෙ කලන්දකනිවාපෙ” වෙළුවන යනු ඒ උයනට නමකි. එය උණගස්වලින්ද අටළොස් රියන් පවුරෙන්ද වටකරන ලද්දේ වීය. දොරකොටුවෙන් හා පවුරමතුයෙහි පිහිටවූ අටල්ලෙන් යුක්තය. හුණයෙන් වටකළ බැවින්, මල්පල දැරූ රුකින් වටකළ බැවින් නිල් පැහැ ඇත්තේ විය. සිත්කලුය. එහෙයින් වෙළුවනැයි කියනු ලැබේ. මෙහි ලෙහෙනුන්ට බත් වැටුප් දුන්හ. එයින් කලන්දකනිවාපයි කියනු ලැබේ.
පෙර එක්තරා රජෙක් එහි උයනෙහි ක්රීඩා කරනු පිණිස ආයේ සුරාමදයෙන් මත්වූයේ දවල් නින්දෙන් නිදිගත්තේය. මොහුගේ පිරිවරජන තෙමේද ‘රජතෙමේ නිදිගත්තේ යයි මල්පල ආදියෙන් පෙළඹෙනුයේ ඔබමොබ ගියේය. එකල්හි සුරා ගඳින් එක්තරා සිදුරු රුකකින් කෘෂ්ණසර්පයෙක් නික්ම අභිමුඛව එන්නේය. එහි අරක් ගත් රුක්දෙවිතෙමේ ඌ දැක ‘රජුට දිවි දෙමි’යි ලෙහෙනෙකුගේ වේශයෙන් අවුත් කණමුල ශබ්ද කෙළේය. රජතෙමේ පිබිදුනේය. කෘෂ්ණසර්ප නැවතුනේය. රජතෙමේ ලේනා දැක ‘මේ ලේන්නු විසින් මට දිවිදෙන ලදැ’යි ලෙහෙනුන්ට එහි බත්වැටුප් තැබුයේය. අභයඝොෂයද ඝෝෂා කරවීය. එහෙයින් එය එතැන් පටන් කලන්දකනිවාපැයි ගිණීමට ගියේය. කලන්දක යනු ලෙහෙනුන්ට නමකි.
“දබ්බො” ඒ තෙරුන්ගේ නමයි. “මල්ලරාජපුත්තො” මල්ලරජුගේ පුත්කුමරුය. “ජාතියා සත්තවස්සෙන අරහත්තං සච්ඡිකතං” ස්ථවිරතෙමේ වනාහි සත්හැවිරිදිවූයේම සංවේගය ලබා පැවිදිවූයේ කරකම් අගම රහත්බවට පැමිණියේයයි දතයුතුය. “යං කිඤ්චි සාවකෙන පත්තබ්බං සබ්බං තෙන අනුප්පත්තං” ශ්රාවයෙකු විසින් පැමිණිය යුත්තේ නම් ත්රිවිද්යා චතුර්විධ ප්රතිසම්භිදා ෂට් අභිඥා නවලොකොත්තර ධර්ම යන මේ ගුණ සමූහයයි. ඒ සියල්ල ඔහු විසින් ලබන ලද්දේ වේ. “නත්ථි චස්ස උත්තරිං කරණීයං” සිවුසස් දහම්හි සිවුමගින් සොළොස් වැදෑරුම් කිස කළබැවින් දැන් මත්තෙහි මොහුට කිසි කටයුත්තෙක් නැත්තේය. “කතස්ස වා පතිචයො” සේදූ පත්රයක නැවත සේදීමක්, ඇඹරු සුවඳක නැවත ඇඹරීමක්, පිපුණු මලක නැවත පිපීමක්, නැතිසේ ඒ කළ කිසෙහි නැවත වැඩිමෙක් නැත්තේය. “රහොගතස්ස” රහසිගත වූ “පතිස්සල්ලීනස්ස” ඒ ඒ කිසෙන් හෝ අරමුණෙන් වැළකී සංලීනවූ එකීභාවයට පැමිණියාවූයි කියන ලද්දේ වේ.