කුටිකාර ශික්ෂාපද වර්ණනාව
“තෙන සමයෙන” යනාදිය කුටිකාර ශික්‍ෂාපදයයි. “ආළවකා” ආළවිරටෙහි උපන් දරුවෝ ආළවක නම් වෙති. ඔවුහු පැවිදිවූ කල්හිද ආළවකයෝම යයි ප්‍රසිද්ධ වූහ. ඔවුන් සඳහා ආළවකා භික්ඛූයි වදාරන ලදී. “සඤ්ඤාචිකායො” තමන් ඉල්ලාගත් උපකරණයෝය. ‘කාරාපෙන්ති’ කෙරෙත්මය. කරවත්මය. ඔවුහු සසුනෙහි විදර්ශනාධුරය හා ග්රන්ථධුරයද යන ධුර දෙකම හැරදමා නවකර්මම ධුරකොට ගත්හ. “අස්සාමිකායො” හිමියෝ නැත්තාවූ. කරවා දෙන්නෙකුගෙන් තොරවූ යන අර්‍ත්‍ථයි. “අත්තුද්දෙසිකායො” තමන් උදෙසා තමන්ගේ ප්‍රයෝජනය පිණිස පටන්ගත් යන අර්‍ත්‍ථයි. “අප්පමාණිකාසො” මෙපමණ දැව ආදියෙන් නිමාවට යන්නාහයි. මෙසේ නොපිරිසිඳි පමණ ඇති, පමණින් වැඩිවූ, පමණින් මහත්වූ යන අර්‍ත්‍ථයි.
මොවුන්ගේ ඉල්ලීමම බහුලය. මොවුන්ගේ අන් වැඩ මඳයයි යාචනබහුලා නම. “විඤ්ඤත්ති බහුලා” යනුද මෙසේ දතයුතුය. මෙහි අර්ත්ථ වශයෙන් වෙනස් බවක් නැත්තේය. නොයෙක් වර පුරුෂයකු දෙවු, පුරිස අත්තමක් දෙවුයි ඉල්ලන්නවුන්ට මේ නමකි. ඒ ඉල්ලීමෙහි මූලච්ඡෙද්ය වශයෙන් පුරුෂයකු ඉල්ලීම නොවටියි. සහාය පිණිස වැඩ කිරීම පිණිස “පුරිසං දෙථ” පුරුෂයකු දෙවුයි ඉල්ලීම නොවටිනේ නොවේ. “පුරිසත්ථකරං” පුරුෂයෙකු විසින් කටයුතු වූ අත්කම් කියනු ලැබේ. එය ඉල්ලීම වටියි. අත්කම නම් කිසි වස්තුවක් නොවේ. එහෙයින් මුවවැදි කෙවුල් ආදීන්ගේ ඒ සියකම් හැර සෙසු සියලු කම් සැපය. ‘ස්වාමිනි’ කුමට ආවාහුද, කුමකින් කටයුතුදැයි විචාළ කල්හි හෝ නොවිචාළ කල්හි හෝ ඉල්ලීම වටියි. විණවීම් හේතුවෙන් දොෂයක් නැත්තේය. එහෙයින් මුවවැදි ආදීන්ගෙන් ඒ සියකම් නොඉල්ලිය යුතුය. ‘අත්කම් දෙවුයි නියමක් නොකොටද නොඉල්ලිය යුතුය. මෙසේ ඉල්ලන ලද්දාහු නම් ඔවුහු ‘ස්වාමීනි’ මැනවැ’යි මහණහු පිටත්කොට යවා මුවන්ද මරා ගෙන්නාහුය. නියමකොට ‘විහාරයෙහි කිසි කටයුත්තක් ඇත්තේය, එයට අත්කමක් දෙවුයි ඉල්ලිය යුතුය. කැවිටි, නඟුල් ආදී උපකරණ ගෙන සාන්නට හෝ වපුරන්නට හෝ ගොයම් කපන්නට හෝ යන සිය වැඩෙහි යෙදුණු ගොවියෙකුගෙන් හෝ අනිකෙකුගෙන් හෝ අත්කමක් ඉල්ලීම වටීමය. යම් ඉඳුල් බත් කන්නෙක් හෝ අන් කිසි වැඩ නැත්තෙක් හෝ වැඩ නැති බස් බෙණෙන්නෙක් හෝ නිදන්නෙක් හෝ වාසය කෙරේද, මෙබන්දෙක් ලවා නොඉල්වාද, ‘බොල එව, මේ මේ කරව’යි කැමති දෙයක් කරවීම වටියි.
අත්කම් පිළිබඳ සියල්ල කැපබව දක්වනු පිණිස මේ නය කියත්: ඉදින් මහණෙක්තෙමේ පහයක් කරවනු කැමැත්තේ නම් එහි ටැම් පිණිස ගල් කපන්නන්ගේ ගෙට ගොස් ‘උපාසකයෙනි’ අත්කම් ලැබියයුතුයයි කියයුතුය. ‘ස්වාමීනි’ කුමක් කටයුතුදැ’යි විචාළ කල්හි පහන්ටැම් උදුරා දියයුතුයයි කියයුතුය. ඉදින් ඔවුහු උදුරා දෙත්නම්, උදුරාදමා තුබූ තමන්ගේ ටැම් හෝ දෙත්ද, වටියි. නැවැතද ‘ස්වාමිනී අත්කම් කරන්නට අපට ඉඩ නැත, අනිකෙකු ලවා උදුරුවාලනු මැනව, ඔහුට මිල දෙන්නෙමුයි කියත්ද, එකල්හි පහන්ටැම් උදුරවා උදුරු මිනිසුන්ට මිල දෙවුයි කියයුතුය. මේ උපායෙන්ම පහයෙහි දැව පිණිස වඩුවන් වෙතද, ගඩොල් පිණිස ගඩොල් වඩුවන් වෙතද, සෙවෙණි පිණිස ගෙවල් සෙවෙලි කරන්නන් වෙතද සිත්කම් පිණිස සිත්තරුන් වෙතදැයි යමකින් යමකින් වැඩ ඇත්තේ වේද, ඒ ඒ පිණිස ඒ ඒ සිප්කරුවන් වෙත ගොස් අත්කම් ඉල්ලීම වටියි. අත්කම් ඉල්ලීම් වසයෙන්ද මූලච්ඡෙද්ය වශයෙන් හෝ බත්, වැටුප් දීමෙන් හෝ ලැබූ සියල්ල ගැනීම වටියි. වනයෙන් ගෙන්වන්නහු විසින්ද අනුන් විසින් අයත්කොට නොගන්නා ලද්දම ගෙන්විය යුතුය.
පහයක් කරවනු කැමැත්තහු විසින් පමණක්ම නොව ඇඳ පුටු පාත්‍ර පෙරහන්ඩබරා සිවුරු ආදියද කරවනු කැමැත්තහු විසින්ද දැව ලොහොහූ ආදිය ලැබ ඒ ඒ සිප්කරුවන් වෙත එළඹ කියූ නයින්ම අත්කම් ඉල්ලිය යුතුයි. අත්කම් ඉල්ලීම වසයෙන් හෝ මූලච්ඡෙද්ය වශයෙන් හෝ බත්වැටුප් දීමෙන් හෝ ලැබූ සියල්ලද ගතයුතුය. ඉදින් කරන්නට නොකැමති වෙත්නම්, බත්වැටුප් බලාපොරොත්තු වෙත්නම්, අකැප කහවණු නොදිය යුතුය. පිඬු සිඟීමෙහි වතින් සහල් ආදිය සොයාදීම වටියි.
අත්කම් වසයෙන් පාත්‍රයක් කරවා එසේම පිසවා අලුත පිසූ පාත්‍රයෙහි තෙල් පිණිස ගම තුළට පිවිසියහු විසින් පිඬු පිණිස ආයේ යයි සලකා කැඳ හෝ බත් හෝ එළවූ කල්හි අතින් පාත්‍රය වැසිය යුතුය. උපාසිකාතොමෝ දැක, ‘ස්වාමිනි’ කිමැයි විචාරානම් මේ අලුත පිසූ පාත්රයෙකි. ආලේප තෙලින් ප්‍රයෝජනයයි කියයුතුය. මේ උපාසිකාතොමෝ ‘ස්වාමීනි, දුන මැනවැ,යි කියා පාත්‍රය ගෙන තෙල් ගා පිසදමා කැඳෙන් හෝ බතින් හෝ පුරවා දේනම් පිණවීමක් නැත්තේයයි ගැනීම වටියි.
භික්ෂූහු පළමුකොටම පිඬු පිණිස හැසිර අසුන්හලකට ගොස් අසුනක් දක්නාහු නැගී සිටිත්ද, එහිදී උපාසකයෝ නැගීසිටි මහණුන් දැක තුමූම අසුන් ගෙන්වත්ද, එහි හිඳ යන්නවුන් විසින් විචාරා යායුතුය. නොවිචාරා ගියවුන්ටද නය නොවේ. විචාරා යෑම වතයි. මහණුන් විසින් අසුන් ගෙනඑවුයි කියන ලද්දාවුන් විසින් ගෙනෙන ලද්දාහු වෙත්නම්, විචාරාම යායුතුය. නොවිචාරා ගියවුන්ට චාරිත්රභෙදයද වේ. නටුයේනම් නයද වේ. අතුරුණු කොඳු පලස් ආදියෙහිද මෙම නයවේ.