අත්තකාමපාරිචරිය ශික්‍ෂාපද වර්ණනාව
“තෙන සමයෙන බුද්ධො භගවා” යනු ආත්මකාමශික්‍ෂාපදයයි. එහි “කුලුපගො” කුල සෙවනය කරන්නේය. සිවුපසය පිණිස කුලයන් කරා එළඹීමෙහි නිතර යෙදීගත්තේය.
“චීවරපිණ්ඩපාතසෙනාසන ගිලානප්පච්චයභෙසජ්ජපරික්‍ඛාරං” සිවුරු පිඬුපා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර. ‘ගිලානප්පච්චය භෙසජ්ජපරික්‍ඛාරං’ යන මෙහි රෝදුක්වලට ප්‍රතිපක්‍ෂභාවයෙන් පවත්නා අර්‍ත්‍ථයෙන් පච්චය නම්. යම්කිසි සතිප්‍රායකට මේ නමකි. වෙදහුගේ ක්‍රියාවෙන් අනුදත්බැවින් භෙසජ්ජ නමි. ගිලානපච්චයම භෙසජ්ජ වූයේ ගිලානපච්චය භෙසජ්ජ නමි. ගිලනහුට හිතවූ වෙදහුගේ යම්කිසි කර්‍මයක්වේද, එය තෙල් මීපැණි ආදිය හේතුකොට කියන ලද්දේ ද වේ. “පරික්‍ඛාරො” සත්තහි නගරපරික්‍ඛාරෙහි සුපරික්‍ඛිතං හොති’ යනාදිතන්හි පිරිවර කියනු ලැබේ “රථො සෙතපරික්‍ඛාරො ඣානක්‍ඛො චක්කවිරීයො” යනාදි තන්හි අලඞ්කාරය කියනු ලැබේ. “යෙ චිමෙ පබ්බජිතෙන ජීවිතපරික්‍ඛාරා සමුදානෙතබ්බා” යනාදි තන්හි සම්හාරය කියනු ලැබේ. මෙහි වනාහි සම්හාරයද පරිවාරයද වටියි. ඒ ගිලන්පස බෙහෙත් ජීවිතයට පිරිවරද වේ. දිවි නසන ආබාධයන්ගේ ඉපදීමට ඉඩ නොදී රකින බැවින් සම්හාරද වේ. ජීවිතය බොහෝ කලක් මුළුල්ලෙහි යම්සේ පවත්නේද එසේ මේ ජීවිතයෙහි කල් පැවැත්මට කාරණ බැවිනි. එහෙයින් පරික්‍ඛාරයයි කියනු ලැබේ. මෙසේ ගිලන්පස බෙහෙත්වූයේද ඒමය. පිරිකරවූයේද ඒමයයි ගිලානපච්චයභෙසජ්ජපරික්‍ඛාර නම්වේ. ඒ ගිලන්පස බෙහෙත් පිරිකරයි. මෙසේ අර්‍ත්‍ථ දතයුතුය.
“වසලං” හීනවූ ලාමකවූ නොහොත් කෙලෙස් වැසි වසීය’යි වසල නම්වේ. වැගිරෙයි යන අර්‍ත්‍ථයි. ඒ වසලවූ අශුචි වැගිරෙන්නෙකැයි කියන ලද්දේ වේ. “නිට්ඨුභිත්‍වා” කෙළ ගසා
“කස්සාහං කෙන හායාමි” මම අන් කවර ස්ත්‍රියකගේ කවර භොගයකින් හෝ කවර අලඞ්කාරයකින් හෝ කවර රූපයකින් හෝ පිරිහෙම්ද, මට වඩා කවරියක් උත්තරීතරදැයි දක්වන්නීය.
“සන්තිකෙ” යමක් අවබෝධ කරන්නට හැකි උපචාරයෙහි සිට. හාත්පස නොදුරෙහි. පදභාජනයෙහිද මේ අර්‍ත්‍ථයම දක්වන ලද්දේය. “අත්තකාමපාරිචරියාය” මෛථුනධර්‍මසඞ්ඛ්‍යාත කාමයෙන් පරිචරණය කාමපරිචරියා නම. තමන් පිණිස වූ කාමපරිචරියාව “අත්තකාමපාරීචරියා” නම. තමන් විසින් හෝ කැමතිවන ලද්දී අත්තකාමාය. තමන් විසින් මෛථුනරාග වශයෙන් පතන ලද්දීය යන අර්‍ත්‍ථයි. අත්තකාමාවූවාද ඕමය. පාරිචරියා වූවාද ඕමනුයි. අත්තකාම පාරිචරියා නම. ඒ අත්තකාමපාරිචරියාවගේ. “වණ්ණං භාසෙය්‍ය” ගුණය ආනිසංසය කියන්නේය.
එහි යම්හෙයකින්, තමන් පිණිස වූ කාමපාරිචරියාය යන මේ අර්‍ත්‍ථවිකල්පයෙහි කාමයද හෙතුවද පාරිචරියායි අර්‍ත්‍ථයි. සෙස්ස ව්‍යඤ්ජනයවේද, අත්තකාමාවූවාද ඕමය. පාරිචරියාවූවාද ඕමනුයි අත්තකාමපාරිචරියා යන මේ අර්‍ත්‍ථවිකල්පයෙහි අභිප්‍රායද පාරිචර්‍ය්‍යාවද යන අර්‍ත්‍ථයි. සෙස්ස ව්‍යඤ්ජනය වේද, එහෙයින් ව්‍යඤ්ජනයෙහි ආදරය නොකොට අර්‍ත්‍ථමාත්‍රයම දක්වනු පිණිස ‘තමන්ගේ කාමය, තමන්ගේ හේතුවය, තමන්ගේ අභිප්‍රායය, තමන්ගේ පාරිචර්‍ය්‍යාව යයි පදභාජනය වදාරන ලදී. තමන්ගේ කැමැත්තය, තමන්ගේ හේතුවය, තමන්ගේ පාරිචර්‍ය්‍යාව යයි කියූකල්හි නුවණැත්තෝ ‘මෙපමණකින් තමන් පිණිස කාමපාරිචර්‍ය්‍යාව කියන ලදැයි දැනගන්නාහුය. තමන්ගේ අභිප්‍රායය, තමන්ගේ පරිචර්‍ය්‍යාව යයි කියූකල්හිද මෙපමණකින් තමන් විසින් කැමැතිවනලද අර්‍ත්‍ථයෙන් අත්තකාමපාරිචරියා කියන ලදැයි දැනගන්නාහුය.
දැන් ඒ අත්තකාමපාරිචරියාවගේ ගුණ කියන ආකාරය දක්වන සේක් “එතදග්ගං” යනාදිය වදාළ සේක. එය උද්දෙශ වශයෙන්ද නිර්‍දෙශ වශයෙන්ද ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය. මේ මෙහි පද සම්බන්‍ධයද ආපත්ති විනිශ්චයද වේ. “එතදග්ගං -පෙ- පරිචරෙය්‍ය” යම් ස්ත්‍රියක්තොමෝ සිල්වත් කලණ දහමින් යුත් බඹසර හැසිරෙනසුලු මා වැනියක්හු මේ මෛථුන ධර්‍මයෙන් පරිචරණය කෙරේ නම්, මා වැනියකු පරිචරණය කරන ඇයගේම යම් මේ පාරිචර්‍ය්‍යාවක් නම් වන්නීද, පාරිචර්‍ය්‍යාවන්ගෙන් ඕ පාරිචර්‍ය්‍යතොමෝ අග්‍රවන්නීය.
“මෙථූනුපසංහිතෙන සඞ්ඝාදිසෙසො” මෙසේ අත්තකාම පාරිචරියාවෙහි ගුණ කියන්නාවූද යමෙක්, මෛථුන නිශ්ශ්‍රිතවූම මෛථුන ධර්‍ම ප්‍රතිසංයුක්තවූම වචනයෙන් කියන්නේ නම් ඒ මහණහුට සඞ්ඝාදිසෙසය වේ.