දුට්ඨුල්ලවාචා ශික්ෂාපද වර්ණනාව
“තෙන සමයෙන බුද්ධො භගවා” යනාදිය දුට්ඨුල්ලවාචා ශික්ෂාපදයයි. එහි “ආදිස්ස” දක්වා “වණ්ණම්පි හණති” යනාදීහු ඉදිරියෙහි ප්රකාශ වන්නාහුය. “ඡින්නිකා” සිඳුනු ඔතප් ඇතියෝය. “ධුත්තිකා” කපට පැවැතුම් ඇතියෝය. “අහිරිකායො” ලජ්ජා නැතියෝය. “ඌහසන්ති” සිනහකොට, මද සිනාවෙන් සිනාසෙත්. “උල්ලපන්ති” ආර්ය්යතෙමේ යෙහෙකැයි ආදිනයින් උසස් කරන නන්වැදෑරුම් වූ පොළොඹවන කථා කියත්. “උජ්ජග්ඝන්ති” මහසිනාවෙන් සිනාසෙත්. “උප්පණ්ඩෙන්ති” මේ තෙමේ පණ්ඩකයෙකි. මෙතෙමේ පුරුෂයෙක් නොවේයි යනාදි නයින් නින්දා කරෙත්.
“සාරත්තො” දුට්ටුල්ලවාචාස්වාද රාගයෙන් තදින් ඇලුනේය. “අපෙක්ඛවා පටිබද්ධචිත්තො” කියනලද නයමය. හුදෙක් මෙහි වාචාස්වාදරාගය යෙදිය යුතුය. “මාතුගාමං දුට්ඨුල්ලාහි වාචාහි” මෙහි අභිමත වූ මාගම දක්වනසේක් “මාතුගාමො” යනාදිය වදාළ සේක. එහි “විඤ්ඤූ පටිබලා සුභාසිතදුබ්හාසිතං දුට්ඨුල්ලාදුට්ඨුල්ලං ආජානිතුං” යම් ස්ත්රියක් තොමෝ නුවණැත්තී සාර්ත්ථකනිරර්ත්ථකකථා අසධර්ම සද්ධර්ම ප්රතිසංයුක්ත කථා දැනගන්නට ප්රබල වූවාද මෝතොමෝ මෙහි අදහස් කරන ලදී. යම් ස්ත්රියක් තොමෝ මහලුද බාලද කෙළතොලුද මෝ මෙහි අදහස් නොකරන ලදැයි දක්වයි.
“ඔභාසෙය්ය” අවමන්කොට කියන්නේය. නන්වැදෑරුම් වූ අසද්ධර්මවචන කියන්නේය. යම්හෙයකින් මෙසේ අවමන් වචන කියන්නහුගේ යම් ඔභාසයෙක් නම් වේද, එය අර්ත්ථ වශයෙන් අද්ධ්යාචාරය වේ. රාගවසයෙන් අභිභවනයකොට සංයමයෙහි සීමාව ඉක්මවීම අද්ධ්යාචාර නම. එහෙයින් ඒ අර්ත්ථය දක්වනසේක් “ඔභාසෙය්යාති අජ්ඣාචාරො වුච්චති” යනු වදාළ සේක. “යථා තං” මෙහි “තං” යනු නිපාත මාත්රයි. තරුණයෙක් තරුණියකට යම්සේ කියාද, එසේය යන අර්ත්ථයි.
“ද්වෙ මග්ගෙ ආදිස්ස” යන මේ ආදී යම් අයුරකින් බණන්නහුට සඞ්ඝාදිසෙසයෙක් වේද, එය දක්වන්නට කියනලදී. එහි “ද්වෙ මග්ගෙ” වසුරුමග හා පසමගද යන දෙමගය. සෙස්ස උදෙසීමෙන්ම ප්රකටමය. නිර්දෙශයෙහි වනාහි “ථොමෙති” ස්ත්රී ලක්ෂණයෙන්, ශුභ ලක්ෂණයෙන් යුක්තවූවා මෙහියි කියාද, ඒතාක් කෙළවරට නොපැමිණේ. ‘තීගේ වසුරුමගද පසමගද මෙබඳුය. එනම් වූ මෙබදු වූ ස්ත්රීලක්ෂණයෙන් ශුභලක්ෂණයෙන් යුක්තවූවා වෙහියි කියාද, කෙළවරට පැමිණේ. සඞ්ඝාදිසෙසය වේ. “වණ්ණෙති පසංසති” මේ පද ප්රශංසාපදවල වෙවචන වෙයි.
“ඛුංසෙති” වචන නැමැති කැවිටින් ගටයි. “වම්හෙති” අවමන් කෙරෙයි. “ගරහති” දොස් දක්වයි. ඉදිරියෙහි පෙළෙහි ආ “අනිමිත්තාසි” යනාදීවූ එකොළොස් පද සමග නොගැළපූ කල්හි කෙළවරට නොපැමිණේ. ගැළපූ කල්හිද ඒ එකොළොස් පද අතුරෙහි ‘සිඛරිණීසි, සම්භින්නාසි, උභතොබ්යඤ්ජනාසීයි, යන මේ තෙපදය සමග ගැළපූ කල්හිම සඞ්ඝාදිසෙසය වේ. (සෙසු අටපදයෙන් නුගුණ කියූකල්හි ථුල්ලච්චය වේයයි දතයුතුය).
“දෙහි මෙ” මට දෙව, යන ඉල්ලීමෙහිද මෙපමණකින්ම කෙළවරට නොයයි. මෛථුන ධර්මය දෙවයි මෙසේ මෛථුනධර්මවචනය සමග ගැළපූ කල්හිම සඞ්ඝාදිසෙසය වේ.
“කදා තෙ මාතා පසීදිස්සති” යනාදී වූ ආයාචනවචනයන්හිද මෙපමණකින්ම කෙළවරට නොයයි. ‘කවර කලෙක තාගේ මව පහදින්නීද, කවර කලෙක තීගේ මෛථුන ධර්මය ලබන්නෙම්දැයි හෝ තීගේ මව පහන්කල්හි මෛථුන ධර්මය ලබන්නෙමියි හෝ යනාදිනයින් මෛථුන ධර්ම පදය සමග ගැළපූ කල්හිම සඞ්ඝාදිසෙසය වේ.
“කතං ත්වං සාමිකස්ස දෙසි” තී කෙසේ හිමියාහට දෙහිදැයි යනාදී වූ පෘච්ඡාවචනයන්හිද මෛථුන ධර්මය කියූ කල්හිම සඞ්ඝාදිසෙසය වේ. අන් අයුරකින් නොවේ. “එවං කිර ත්වං සාමිකස්ස දෙසි” මෙසේ තී හිමියාහට දෙහිදැයි ප්රතිපෘච්ඡාවචනයන්හිද මෙම නයවේ.
“ආවික්ඛති නාම පුට්ඨො භණති”. කෙසේ දෙන්නී හිමියාහට ප්රිය වන්නීදැයි විචාරණ ලද්දේ කියයි. මෙහිද ‘මෙසේ දෙව, මෙසේ දෙන්නීය’යි කියූකල්හිද කෙළවරට නොයයි. මෛථුන ධර්මය මෙසේ දෙව, මෙසේ එළවව, මෙසේ මෛථුන ධර්මය දෙන්නී එළවන්නී ප්රිය වන්නීයයි යනාදිනයින් මෛථුන ධර්මපදය සමග ගැළපූ කල්හිම සඞ්ඝාදිසෙසය වේ. අනුශාසනී වචනයන්හිද මෙම නයවේ.