කුලදූසක ශික්‍ෂාපද වර්ණනාව
“තෙන සමයෙන බුද්ධො භගවා” කුලදූෂක ශික්‍ෂාපදයයි. එහි ‘අස්සජිපුනබ්බසුකා නාම’ අස්සජිද පුනබ්බසුකද යන දෙදෙනය. “කීටාගිරිස්මිං” මෙනම් ඇති ජනපදයෙහි. “ආවාසිකාහොන්ති” මෙහි ආවාසය මොවුන්ට ඇත්තේනුයි ආවාසික නම. විහාරය ආවාසැයි කියනු ලැබේ. ඒ ආවාසය නවකම් කිරීම. පැරණිතැන් පිළිදැගුම් කිරීම ආදීවු බර උසුලන බැවින් යම් කෙනකුට අයත්වූයේද ඔවුහු ආවාසිකයෝ වෙත්. යම්කෙනෙක් හුදෙක් විහාරයෙහි වසත්ද, ඔවුහු නෙවාසිකයි කියනු ලැබෙත්. මොවුහු ආවාසිකයෝ වූහ. “අලජ්ජිනො පාපභික්‍ඛූ”. ලජ්ජාවිරහිත ලාමක භික්‍ෂූහුය. ඒ අස්සජිපුනබ්බසුකයෝ සවග මහණුන් අතුරෙහි වැඩිමහලු සවගමහණෝය.
සැවැත්නුවර වනාහි යහළුවූ පණ්ඩුක-ලොහිතකා-මෙත්තිය-භූම්මජක-අස්සජි-පුනබ්බසුකයි සදෙනෙක් කෘෂිකර්‍මාදීහු දුෂ්කරයහ, යහළුවෙනි, එබැවින් අපි පැවිදි වම්හ. පැවිදිවන්නන් විසිනුදු කටයුත්තක් උපන්කල්හි එය උසුලන්නට පොහොසත් තැනක පැවිදිවන්නට වටීයයි මන්ත්‍රණය කොට දෑගසව්වන්ගේ සමීපයෙහි පැවිදිවූහ. ඔවුහු පස්වස් ඇත්තෝව මාතෘකාව පුහුණුකොට ජනපදය සමහර කලෙක සුභික්‍ෂ වේ. සමහර කලෙක දුර්භික්‍ෂ වේ. එහෙයින් අපි එක් තැනක නොවසමු, තුන් තැනක වසමුයි මන්ත්‍රණය කළහ. ඉක්බිති ඇවැත්නි, සැවැත් නුවර සත්පණස් ලක්‍ෂයක් කුල වාසය කළේය. ගම් අසූදහසකින් ප්‍රතිමණ්ඩිත වූ තුන්සියයක් යොදුන් ඇති කාසි-කොසල දෙරට අය උපදින දොරකඩ විය. තෙපි එහි ජෙතවන දොරටුව සමීපයෙහි පිරිවෙන් කරවා අඹ කොස් පොල් ආදිය රෝපණය කරවා මල්වලින් හා ගෙඩිවලින් කුලසඞ්ග්‍රහ කරමින් කුලදරුවන් පැවිදි කරවා පිරිස වඩාලමුයි පණ්ඩුක-ලොහිතකයන්ට කීහ.
මෙත්තිය භූම්මජකයන්ට ‘ඇවැත්නි රජගහනුවර අටළොස් කෙළක් මිනිසුන් වසන ලදය, ගම් අසූදහසකින් ප්‍රතිමණ්ඩිතවූ යොදුන් තුන්සියයක් ඇති අඟුමගධ දෙරටම අය උපදින දොර වූයේය, තෙපි එහි ඉදිරි තැනකම - පෙ- පිරිස වඩාලවුයි කීහ.
අස්සජී-පුනබ්බසුකයන්ට ‘ඇවැත්හි කීටාගිරිය, වස්සාන හේමන්ත යන ඍතු දෙක්හි වස්නා දෙවැස්සෙන් අනුගෘහිතය. ත්‍රිවිධ ධාන්‍ය පැසෙයි. තෙපි එහි ඉදිරියෙහිම පිරිවෙන් කරවා -පෙ පිරිස වඩාලවයි කීහ. ඔවුහු එසේ කළහ. ඔවුන් අතුරෙහි එක් එක් පක්‍ෂයට පන්සිය පන්සිය භික්‍ෂූහු පිරිවරවූහ. මෙසේවූ භික්‍ෂූහු එක්දහස් පන්සියයකට අධික වූහ. එහි පිරිවර සහිතවූ පණ්ඩුක-ලොහිතකයෝ සිල්වත්වම භාග්‍යවතුන් වහන්සේ සමග ජනපද චාරිකාවෙහිද හැසිරෙති. ඔවුහු පෙර නොකළ වැරදි කරත්. හෙවත් කණිකාරාදීවූ අලුත් මල්වතු වවත්. අන් සියල්ලෝ අලජ්ජීහුය. පෙර නොකළ වැරැදි ද කරත්. පැණවූ සිකපදද මඩිත් “අලජ්ජිනො පාපභික්‍ඛු” යනු එහෙයින් වදාළ සේක.
“එවරූපං” මෙබඳු සැහැවි ඇති. “අනාචාරං ආචරන්ති”, නොහැසිරිය යුත්තෙහි හැසිරෙත්. නොකටයුත්ත කරත්. “මාලාවච්ඡං” තරුණමල් රුක්ය. තුරුණ මල්රුක්ද මල්ගස්ද මාලාවච්ඡයි කියනු ලැබෙත්. ඔවුහුද නන්වැදෑරුම් වූ මල්ගස් මල්රුක් තුමූද රෝපණය කරත්. අන්හු ලවාද රෝපණය කරවත්, “මාලාවච්ඡං රොපෙන්තීපි රොපාපෙන්තීපි”යි වදාරන ලදී. “සිඤ්චන්නි” තුමූම දිය ඉසිත්. “සිඤ්චා පෙත්තිපි” අන්හු ලවාද දිය ඉස්වත්,
මෙහිලා අකැප ව්‍යවහාරය, කැපව්‍යවහාරය, පරියාය, ඔභාසය, නිමිත්තකම්මය යන මේ පස දතයුත්තේය. එහි අකප්පිය වොහාරය නමි, තෙත් නිල් තණ සිඳීම, සිඳවීම, වළ කැණීම, කැණවීම, මල්ගස් මල්රුක් සිටුවීම, සිටුවාලීම, නියර බැඳීම, බැඳවීම, දිය ඉසීම, ඉස්වාලීම, දිය ඇළ තමා දෙසට නමා ගැනීම, කැපදිය ඉසීම, අත්මුව පා දෝනට. නෑමට දිය ඉසීමය යන මේ වේ. කප්පිය වොහාරය නම්, මෙරුක දනුව, මේ වළ දනුව, මේ මල්රුක් මල්ගස් දනුව, මෙහි පැන් දනුව යන වචනය. වියළි ඇළ සෘජු කිරීමද වේ. පරියාය නම්, පණ්ඩිතයා විසින් මල්ගස් ආදිය සිටුවාලිය යුතුය. නොබෝ කලකින්ම උපකාරය පිණිස පවතින්නේය යනාදිය කීමය. ඔභාසය නම්, උදලු, බිම කණිනහුල් ආදියද, මල්ගස්ද ගෙන සිටීමය. සාමණෙරාදීහු මෙසේ සිටියහු දැක ‘ස්ථවිරතෙමේ කරවනු කැමැත්තේයයි ගොස් කරත්, නිමිත්තකම්ම නම්, උදලු, බිම කණිනහුල්, වෑපොරෝ, දිය බඳුන් ගෙනවුත් සමීපයෙහි තැබීමය.
මේ පසම කුලසඞ්ග්‍රහය පිණිස සිටුවීමෙහි නොවටියි. ඵලපරිභොගය පිණිස කැප අකැප ව්‍යාවහාර දෙකම නොවටියි. පරියාය ඔභාස නිමිත්තකම්ම තුන ඵලපරිභොගය පිණිස වටියි. මහාපච්චරියෙහි කැප ව්‍යවහාරයද වටියි, තමන්ගේ පරිභෝගය පිණිස යමක් වටීද, එය අන්‍ය පුද්ගලයෙකු පිණිස හෝ සඞ්ඝයා පිණිස හෝ චෛත්‍යයක ප්‍රයොජනය පිණිස හෝ වටීයයි කියනලදී.
ආරාමය පිණිසද වනය පිණිසද සෙවන පිණිසද අකැප ව්‍යවහාර මාත්‍රයක්ම නොවටියි. සෙස්ස වටියි. හුදෙක් සෙසු සියල්ල පමණක් නොවේ. වියලි නොවියලි යම්කිසි ඇළක සෘජු කරනු පිණිස කැපදිය ඉසින්නටද නානකොටුවක්කොට නාන්නටද, අත්පා මුවදෝනා දියද එහි දමන්නට වටියි. මහාපච්චරියෙහිද කුරුන්‍දියෙහිද කැප පොළොවෙහි තමා විසින් සිටුවන්නටද වටීයයි කියන ලදී. ආරමාදිය පිණිස වනාහි රොපණය කරන ලද්දක හෝ රොපණය කරවන ලද්දක හෝ ඵලය පරිභොග කරන්නටද, වටියි.