දුර්‍වච ශික්‍ෂාපද වර්ණනාව
“තෙන සමයෙන බුද්ධො භගවා” දුබ්බච ශික්‍ෂාපදයයි. එහි “ආනාචාරං ආචරති” අනෙකප්‍රකාරවූ කායවාක්ද්වාර ව්‍යතික්‍රමය කරයි. “කින්නු ඛො නාම” මෙය ගර්‍හාවචනයි. “අහං ඛො නාම” මෙය උත්කර්‍ෂ වචනයි. “තුම්හෙ වදෙය්‍යං” මෙය කරවු, මෙය නොකරවු’යි තොපට කියන්නට මම සුදුසු වෙමියි දක්වයි. කුමක් හෙයින්ද යත්, ‘අපගේ බුදුරජාණන් වහන්සේ යම්හෙයකින් කන්‍ථක අසු පිට නැග මා සමග නික්ම පැවිදිවූහයි මේ ආදි අර්‍ත්‍ථය සඳහා කීය. අපගේ ධර්‍මයයි කියා තමන් සතු බැව්හි යුක්තිය දක්වමින් “අම්හාකං අය්‍යපුත්තෙන ධම්මො අභිසමිතො” යනු කීහ. යම්හෙයකින් අපගේ ආර්‍ය්‍යපුත්‍රයා විසින් චතුස්සත්‍ය ධර්‍මය අවබෝධ කරන ලද්දේද, එහෙයින් ධර්‍මයද අපගේයයි කියන ලද්දේ වේ. සඞ්ඝයා තම වෛරීපක්‍ෂයෙහි සිටියහුයි සිතමින් අපගේ සඞ්ඝතෙමේයි නොකියැයි උපමාවක් කියා සඞ්ඝයා පහකරනු කැමතිව “සෙය්‍යථාපි” නාම යනාදිය කීයේය. “තිණකට්ඨපණ්ණසටං” ඒ ඒ තැන වැටුණු තණ වියලි දඬු පරලා නොහොත් තෘණද, හර නැති සැහැල්ලු වියලිදඬුද තිණකට්ඨ නම. ‘පණ්ණසටං’ පුරාණපත්‍ර “උස්සාදෙය්‍ය” රැස් කරන්නේය.
“පබ්බතෙය්‍යා” පර්‍වතයෙන් උපන් ඕ වනාහි වේගවත් දියපහර ඇත්තීය. එහෙයින් ඒ වේගවත් දියපහරම ගනියි. “සඞ්ඛසෙවාලපණකං” යන මෙහි ‘සඞ්ඛො’ යනු දිග්මුල් ඇති කොළසෙවෙල් කියනු ලැබේ. ‘සෙවාලො’ නිල්සෙවෙල් සෙසු රොන්මඩ වියලි පැළුණු කබල් තලබිජු ආදීවූ සියල්ලම පණකයි. ගිනීමට යෙයි. “එකතො උස්සාදිතා” කිසිවෙකු විසින් එක් තැනක පිඬු කරන ලදය. රැස්කරන ලදයයි දක්වයි.
“දුබ්බචජාතිකො” දුර්‍වචසක ස්වභාව ඇත්තේය, කියන්නට නොහැක්කේය යන අර්‍ත්‍ථයි. මේ ශික්‍ෂාපදයෙහි පදභාජනයෙහිද “දුබ්බචො” යන මෙයින් දුකින් අවවාද කටයුත්තේය. සැපසේ කියන්නට නොහැකිය යන අර්‍ත්‍ථය වදාරන ලද්දේය. “දොවචස්සකරණෙහි” දුර්‍වචභාවය කරන්නා වූ යම් ධර්‍මයක් පුද්ගලයා දුර්‍වච කෙරෙත්ද, ඒ ධර්‍මයන්ගෙන් යුක්ත වූයේය යන අර්‍ත්‍ථයි. ඔවුහු වනාහි ඇවැත්නි, දුර්‍වචභාවය කරන ධර්‍මයෝ කවරහුදැ’යි ඇවැත්නි මේ ශාසනයෙහි මහණතෙමේ ලාමක ආසා ඇත්තේවේය, යනාදි නයින් පිළිවෙළින් අනුමාන සූත්‍රයෙහි ආවා වූ ලාමක ආසා ඇතිබව, තමා උසස් තැන තබා අන්හු පහත් තැන තැබීම, ක්‍රොධකරනසුලු බව, ක්‍රෝධය හේතුකොට බද්ධවෛර ඇතිබව, ක්‍රෝධය හේතුකොට ගැටෙනබව, ක්‍රෝධය හේතුකොට ක්‍රෝධයට අසලවූ විහිදෙනබව, චොදකයාහට පටහැනිබව, චොදකයාට ගැරහීම, චොදකයාහට වටාලා චෝදනා කිරීම, අනෙකෙකින් අනික වසනබව, චරිතය සපයා කියන්නට නොහැකිවීම, ගුණමකුව යුගග්‍රාහ ඇතිබව, පරසම්පත්ති නොඉවසීම හා මසුරුබව, නැතිගුණ පහළ කිරීම හා මායා ඇතිබව, තදබව හා අධික මානය ඇතිබව, තමදෘෂ්ටිය පහසු සැහැසිබව ඉක්මවා පසුභාගයෙන් පැහැසීම ඇතිබව, දැඩිව ගැනීම ඇතිබව, යුතුකරුණ දැකද හරින්නට නොහැකි ලබ්ධිය ඇතිබව යන එකුන් විසින් ධර්‍මයෝයයි දතයුතුයි.
අවවාදය නොඉවසයි, නොඋසුලානුයි අක්‍ඛම නම. අනුශාසනා ලෙසින්, නොපිළිපැදීමෙන්, ගෞරවයෙන් අනුශාසනාව නොගනිනුයි අප්පදක්‍ඛිණග්ගාහී අනුසාසනිං නම
“උද්දෙසපරියාපන්නෙසු” ප්‍රාතිමොක්‍ෂාද්දෙශයෙහි යෙදුණු ඇතුළත් වූ “යස්ස සියා ආපත්ති සො ආවීකරෙය්‍ය”යි මෙසේ සඞ්ග්‍රහ කළ බැවින් ප්‍රාතිමොක්‍ෂය තුළ පවතින්නාවූ යන අර්‍ත්‍ථයි. “සහධම්මිකං වුච්චමානො” ප්‍රඥප්ත ශික්‍ෂා පදයෙන් කියනු ලබන්නේ. කරණාර්‍ත්‍ථයෙහි ද්විතීයාවචනයි. පස්මහ දැහැමියන් විසින් හික්මිය යුතු බැවින්, නොහොත් ඔවුන් සතු බැවින් සහධම්මිකයි ලැබූ නම් ඇති බුදුරජුන් විසින් පැණවූ ශික්‍ෂාපදයෙන් කියනු ලබන්නේය යන අර්‍ත්‍ථයි.
“විරමථායස්මන්තො මම වචනාය” යම් වචනයකින් මට කියවුද, ඒ මට කියූ වචනයෙන් වෙන්වවු, මට ඒ වචනය නොකියයි කියන ලද්දේ වේ.
“වදෙතු සහධම්මෙන” සහධාර්මික ශික්‍ෂාපදයෙන් හෝ සහධාර්මිකවූ අනිකුදු ප්‍රාසාදිකභාවය පිණිස පවත්නා වචනයෙන් හෝ කියාවා, “යදිදං” වෘද්ධිකාරණය නිදර්‍ශනාර්‍ත්‍ථයෙහි නිපාතයෙකි. එයින් ඔවුනොවුන්ට යම් මේ හිතවචනයක්වේද, ඇවැතින් නගාසිටුවීමක් හෝ වේද ඒ ඔවුනොවුන්ට කියූ වචනයෙන්ද ඔවුනොවුන් නගාසිටුවීමෙන්ද පිරිස් වැඩෙන්නීයයි මෙසේ පිරිසෙහි වෘද්ධිකාරණය දක්වන ලද්දේ වේ. සෙසු සියලු තන්හි ප්‍රකටමය.