පච්චයපටිසංයුත්තවාරකථා
පච්චයපටිසංයුත්තවාරයෙහි ද - සියලු වාරපෙය්යාලභෙදය ද පෙර ආවා වූ පදයන්ගේ අර්ත්ථ ද කියූ නයින්ම දැන පාලික්රමය පළමුකොට මෙසේ දතයුතුය. මෙහි වනාහි ‘යමෙක් තාගේ විහාරයෙහි විසූයේ ද, යමෙක් තාගේ සිවුරු පරිභොග කෙළේ ද, යමෙක් තාගේ පිණ්ඩපාතය වැළඳූයේ ද, යමෙක් තාගේ සෙනසුන් පරිභොග කෙළේ ද යමෙක් තාගේ ගිලන්පස බෙහෙත් පිරිකර වැළඳූයේ ද, යන මේ පස් වැදෑරුම් පච්චත්තවචනවාරයෝ ‘යමකු විසින් තාගේ විහාරය පරිභොග කරන ලද්දේ ද යනාදී වූ පස්වැදෑරුම් කරණවචනවාරයෝ තෝ යමකු උදෙසා විහාරය දුන්නේ ද, යනාදී වූ පස්වැදෑරුම් උපයොග වචන වාරයෝ කියන ලද්දාහු ද, ඒ වාරයන්ගේ වසයෙන් මෙහි කියන ලද ශුන්යගාර පදය සමග පෙර කියූ ප්රථමද්ධ්යානාදී වූ සියලු පදයන්හි වාරපෙය්යාලභෙදය දතයුතුය. ‘යො තෙ විහාරෙ, යෙන තෙ විහාරො, යං ත්වං ආගම්ම විහාරං’යි මෙසේ පිළිවෙළින් කියූ බැවින් වනාහි ‘අහං’යි නො කියූ බැවින් ද දැනගන්නහුට කියූ කල්හි ද මෙහි ථුල්ලච්චය වේ. නො දන්නහුට කියූ කල්හි දුක්කටය වේ ය යනු මෙහි විනිශ්චය වේ.
අනාපත්තිභෙදකථා
මෙසේ විස්තර වශයෙන් ආපත්තිභෙදය දක්වා දැන් අනාපත්තිභෙදය දක්වන සේක් ‘අනාපත්ති අධිමානෙන’ යනාදිය වදාළ සේක. එහි එහි ‘අධිමානෙන’ අධිකමානයෙන් කියූ ආකාර ඇති උත්තරිමනුෂ්යධර්මය අත්තුපනායික කොට ආරොචනය කරන්නහුට ඇවැත් නොවේ. ‘අනුල්ලපනාධිප්පායස්ස’ කුහකබවෙහි හෝ ඉච්ඡාචාරයෙහි හෝ නො පිහිටා නො කියන අදහස් ඇත්තා වූ ද සබ්රම්සරුන් වෙත රහත්බව ප්රකාශ කරන්නහුට ඇවැත් නො වේ. උන්මත්තකාදීහු පෙර කියූ නය ඇත්තාහුමය. මෙහි වනාහි වග්ගුමුදාතීරිය භික්ෂූහු ආදිකර්මිකයෝය. ඔවුන්ට ඇවැත් නොවේ.
පදභාජනීය වර්ණනා නිමි.
සමුට්ඨානාදීන් අතුරෙහි මේ ශික්ෂාපදය ත්රිසමුත්ථානය. හස්තමුද්රාවෙන් සැලකරන්නහුට කායචිත්තයෙන්, වාග්භෙදයෙන් සැලකරන්නහුට වාචාචිත්තයෙන්, කායචිත්ත - වාචාචිත්ත දෙකින් සැලකරන්නහුට කායවාචාචිත්තයෙන් සමුත්ථානය වේ. ක්රියාවෙන් පැමිණිය යුතු බැවින් ක්රියා සමුත්ථානය වේ. ව්යතික්රම සංඥාවගේ අභාවයෙන් මිදෙන බැවින් සංඥාවිමොක්ෂය. සිත් ඇතිව කටයුතු බැවින් සචිත්තකය. ලොකවද්යය. කායකර්මයි. වාක්කර්ම යි. අකුශලචිත්ත යි. ත්රිවෙදන යි. සිනාසෙන්නේ ද සොම්නස් ඇත්තෙක්ව ප්රකාශ කරයි. මා කෙරෙහි උත්තරිමනුෂ්යධර්මය නැති බව දන්නා අන්යයෝ ද ඇත්තාහයි බිය වන්නේ ද මද්ධ්යස්ථ ද වූයේයයි.
විනිශ්චිත කථාවස්තු
විනීතවස්තූන් අතුරෙහි - අධිමාන වස්තුව අනුප්රඥප්තියෙහි කියවා ලද නය ඇත්තේමය.
ද්විතීය වස්තුවෙහි - ‘පණිධාය’ ප්රාර්ත්ථනා කොට ‘එවං මං ජනො සම්භාවෙස්සති’ මෙසේ ජනතෙමේ අරණ්යයෙහි වසන මා රහත්බවෙහි හෝ ශෛක්ෂ්යභූමියෙහි හෝ ලා සම්භාවනා කරන්නේය. එයින් ලොකයා විසින් සත්කාර කරණ ලද්දෙම් ගරු කරණ ලද්දෙම් බුහුමන් කරන ලද්දෙම් පුදන ලද්දෙම් වන්නෙමියි ප්රාර්ත්ථනා කොට. ‘ආපත්ති දුක්කටස්ස’ මෙසේ ප්රාර්ත්ථනා කොට ‘වනයෙහි වසන්නෙමි’යි යන්නහුට පියවරක් පියවරක් පාසා දුක්කටය වේ. එසේ වනයෙහි කුටිකිරීම් සක්මන් කිරීම් හිඳීම් හැඳීම් පෙරවීම් ආදී වූ සියලු කටයුතුවලදී ප්රයොගයක් ප්රයොගයක් පාසා දුක්කටය වේ. එහෙයින් වනයෙහි මෙසේ නො විසිය යුතුය. මෙසේ වසනුයේ ද සම්භාවනය ලබාවා හෝ නො ලබාවා හෝ දුක්කටයට පැමිණේ. යමෙක් ධුතාඞ්ග සමාදන්වූයේ ‘ධුතාඞ්ග රකින්නෙමි’යි හෝ ‘ග්රාමාන්තයෙහි වසන මාගේ සිත විසිරෙන්නේය, එහෙයින් වනය සැපය’යි සිතා හෝ වනයෙහි දී එකාන්තයෙන් කාය - චිත්ත - උපධි යන ත්රිවිධ විවෙකයන්ගෙන් එක්තරා එකකට පැමිණෙන්නෙමියි හෝ වනයට පිවිස රහත්බවට නො පැමිණ නො නික්මෙන්නෙමියි හෝ අරණ්යවාසය භාග්යවතුන් වහන්සේ විසින් පසස්නා ලද්දේය, මා ද වනයෙහි වසන කල්හි බොහෝ සබ්රහ්මචාරීහු ග්රාමාන්තය හැර ආරණ්යකයෝ වන්නාහයි හෝ මෙසේ නිරවද්ය වාසයෙන් වසනු කැමැත්තේ වේ ද ඔහු විසින් විසිය යුතුය.
තෘතීය වස්තුවෙහි - අත් පා දිගුකිරීම් ආදිය මනාව පිහිටුවා පිඬු පිණිස හැසිරෙන්නෙමියි හැඳීම් පෙරවීම් කිසපටන් වැළඳීම කෙළවර තෙක් ප්රයොගයක් ප්රයොගයක් පාසා දුක්කටය වේ. සම්භාවනය ලබාවා හෝ නො ලබාවා හෝ දුක්කටයම වේ. බන්ධකවත්ත සෙඛියවත්ත පුරණු පිණිස හෝ සබ්රහ්මචාරීන්ගේ දිට්ඨානුගතියට පැමිණෙනු පිණිස හෝ පැහැදීම එළවන යෑම් ඊම් ආදියෙන් යුක්තව පිඬුපිණිස පිවිසෙනුයේ නුවණැත්තන් විසින් උපවාද නො කටයුත්තේය.