අනාපත්තිභෙදකථා
මෙසේ විස්තර වශයෙන් ආපත්තිභෙදය දක්වා දැන් අනාපත්තිභෙදය දක්වන සේක් ‘අනාපත්ති අධිමානෙන’ යනාදිය වදාළ සේක. එහි එහි ‘අධිමානෙන’ අධිකමානයෙන් කියූ ආකාර ඇති උත්තරිමනුෂ්යධර්මය අත්තුපනායික කොට ආරොචනය කරන්නහුට ඇවැත් නොවේ. ‘අනුල්ලපනාධිප්පායස්ස’ කුහකබවෙහි හෝ ඉච්ඡාචාරයෙහි හෝ නො පිහිටා නො කියන අදහස් ඇත්තා වූ ද සබ්රම්සරුන් වෙත රහත්බව ප්රකාශ කරන්නහුට ඇවැත් නො වේ. උන්මත්තකාදීහු පෙර කියූ නය ඇත්තාහුමය. මෙහි වනාහි වග්ගුමුදාතීරිය භික්ෂූහු ආදිකර්මිකයෝය. ඔවුන්ට ඇවැත් නොවේ.
පදභාජනීය වර්ණනා නිමි.
සමුට්ඨානාදීන් අතුරෙහි මේ ශික්ෂාපදය ත්රිසමුත්ථානය. හස්තමුද්රාවෙන් සැලකරන්නහුට කායචිත්තයෙන්, වාග්භෙදයෙන් සැලකරන්නහුට වාචාචිත්තයෙන්, කායචිත්ත - වාචාචිත්ත දෙකින් සැලකරන්නහුට කායවාචාචිත්තයෙන් සමුත්ථානය වේ. ක්රියාවෙන් පැමිණිය යුතු බැවින් ක්රියා සමුත්ථානය වේ. ව්යතික්රම සංඥාවගේ අභාවයෙන් මිදෙන බැවින් සංඥාවිමොක්ෂය. සිත් ඇතිව කටයුතු බැවින් සචිත්තකය. ලොකවද්යය. කායකර්මයි. වාක්කර්ම යි. අකුශලචිත්ත යි. ත්රිවෙදන යි. සිනාසෙන්නේ ද සොම්නස් ඇත්තෙක්ව ප්රකාශ කරයි. මා කෙරෙහි උත්තරිමනුෂ්යධර්මය නැති බව දන්නා අන්යයෝ ද ඇත්තාහයි බිය වන්නේ ද මද්ධ්යස්ථ ද වූයේයයි.
විනිශ්චිත කථාවස්තු
විනීතවස්තූන් අතුරෙහි - අධිමාන වස්තුව අනුප්රඥප්තියෙහි කියවා ලද නය ඇත්තේමය.
ද්විතීය වස්තුවෙහි - ‘පණිධාය’ ප්රාර්ත්ථනා කොට ‘එවං මං ජනො සම්භාවෙස්සති’ මෙසේ ජනතෙමේ අරණ්යයෙහි වසන මා රහත්බවෙහි හෝ ශෛක්ෂ්යභූමියෙහි හෝ ලා සම්භාවනා කරන්නේය. එයින් ලොකයා විසින් සත්කාර කරණ ලද්දෙම් ගරු කරණ ලද්දෙම් බුහුමන් කරන ලද්දෙම් පුදන ලද්දෙම් වන්නෙමියි ප්රාර්ත්ථනා කොට. ‘ආපත්ති දුක්කටස්ස’ මෙසේ ප්රාර්ත්ථනා කොට ‘වනයෙහි වසන්නෙමි’යි යන්නහුට පියවරක් පියවරක් පාසා දුක්කටය වේ. එසේ වනයෙහි කුටිකිරීම් සක්මන් කිරීම් හිඳීම් හැඳීම් පෙරවීම් ආදී වූ සියලු කටයුතුවලදී ප්රයොගයක් ප්රයොගයක් පාසා දුක්කටය වේ. එහෙයින් වනයෙහි මෙසේ නො විසිය යුතුය. මෙසේ වසනුයේ ද සම්භාවනය ලබාවා හෝ නො ලබාවා හෝ දුක්කටයට පැමිණේ. යමෙක් ධුතාඞ්ග සමාදන්වූයේ ‘ධුතාඞ්ග රකින්නෙමි’යි හෝ ‘ග්රාමාන්තයෙහි වසන මාගේ සිත විසිරෙන්නේය, එහෙයින් වනය සැපය’යි සිතා හෝ වනයෙහි දී එකාන්තයෙන් කාය - චිත්ත - උපධි යන ත්රිවිධ විවෙකයන්ගෙන් එක්තරා එකකට පැමිණෙන්නෙමියි හෝ වනයට පිවිස රහත්බවට නො පැමිණ නො නික්මෙන්නෙමියි හෝ අරණ්යවාසය භාග්යවතුන් වහන්සේ විසින් පසස්නා ලද්දේය, මා ද වනයෙහි වසන කල්හි බොහෝ සබ්රහ්මචාරීහු ග්රාමාන්තය හැර ආරණ්යකයෝ වන්නාහයි හෝ මෙසේ නිරවද්ය වාසයෙන් වසනු කැමැත්තේ වේ ද ඔහු විසින් විසිය යුතුය.
තෘතීය වස්තුවෙහි - අත් පා දිගුකිරීම් ආදිය මනාව පිහිටුවා පිඬු පිණිස හැසිරෙන්නෙමියි හැඳීම් පෙරවීම් කිසපටන් වැළඳීම කෙළවර තෙක් ප්රයොගයක් ප්රයොගයක් පාසා දුක්කටය වේ. සම්භාවනය ලබාවා හෝ නො ලබාවා හෝ දුක්කටයම වේ. බන්ධකවත්ත සෙඛියවත්ත පුරණු පිණිස හෝ සබ්රහ්මචාරීන්ගේ දිට්ඨානුගතියට පැමිණෙනු පිණිස හෝ පැහැදීම එළවන යෑම් ඊම් ආදියෙන් යුක්තව පිඬුපිණිස පිවිසෙනුයේ නුවණැත්තන් විසින් උපවාද නො කටයුත්තේය.
චතුර්ත්ථ - පඤ්චම වස්තූන්හි ‘යො තෙ විහාරෙ වසී’ යන මෙහි කියූ නයින්ම ‘මමැ’යි නොකියූ බැවින් පාරාජිකයක් නැත්තේය. තමන් කෙරෙහි උත්තරිමනුෂ්යධර්මය හෝ උත්තරිමනුෂ්යධර්මය කෙරෙහි තමන් හෝ පමුණුවාම කියන්නහුට පාරාජිකය වදාරණ ලදී.
‘පණිධාය චඞ්කමි’ යනාදීහු යට කියූ නය ඇත්තාහුමය.
සංයොජනවස්තුවෙහි ‘සංයොජනා පහීණා’ දසසංයොජනයෝ ප්රහීණ කරන ලදහයි ද, එක් සංයොජනයක් ප්රහීණ කරන ලදැයි ද කියන්නහු විසින් ක්ලෙශ ප්රහාණයම සැලකරන ලද්දේ වේ ද, එහෙයින් පාරාජිකය වේ.
රහෝ වස්තූන්හි ‘රහො උල්ලපති’ රහසිගතව ‘මම රහත්මි’යි කියයි. සිතින් සිතන ලද්දක්ම නො කරයි. එහෙයින් මෙහි දුක්කටය වදාරණ ලදී.
විහාරවස්තුව හා උපට්ඨාන වස්තුව ද කියූ නය ඇත්තේමය.
න දුක්කර වස්තුවෙහි- ‘ආර්ය්ය පුද්ගලයෝම භාග්යවතුන් වහන්සේගේ ශ්රාවකයෝයි ඒ මහණහුගේ මේ ලබ්ධිය වේ. එහෙයින් ‘යෙ ඛො තෙ භගවතො සාවකා තෙ එවං වදෙය්යුං’ යනු වදාළ සේක. සිල්වත් වූ පටන්ගත් විදසුන් ඇත්තහු විසින් රහත්බව පැවසීම දුෂ්කර නොවේ. හෙතෙමේ රහත් බවට පැමිණීමෙහි ප්රතිබල වේය’ යනු යම්හෙයකින් මොහුගේ මෙහි අදහස වේ ද, එහෙයින් ‘අනුල්ලපනාධිප්පායො අහං’ යනු වදාළ සේක.
විරියවස්තුවෙහි ‘ආරාධනීයො’ සතුටු කරන්නට හැක්කේය. සපයන්නට උපදවන්නට හැක්කේය යන අර්ත්ථයි. සෙස්ස කියූ නය ඇත්තේමය.
මච්චු වස්තුවෙහි - ඒ මහණතෙමේ යමක්හට විපිළිසරයක් උපදී ද, හෙතෙමේ කියන්නේය. මාගේ වනාහි අවිප්රතිකාරවස්තුක ශීලය පිරිසිදුය. ඒ මම කිම, මරණයට බිය වන්නෙමි ද යි මේ අර්ත්ථය සඳහා ‘නාහං ආවුසො මච්චුනො භායාමි’යි කීයේය. එහෙයින් මේ මහණහුට ඇවැත් නොවේ.
විප්පටිසාරවස්තුවෙහි ද මේ නයම වේ. ඉන් මතුවෙහි එන වස්තුත්රය විරියවස්තුව සමාන වේ.
වෙදනා වස්තූන් අතුරෙහි ප්රථමවස්තුවෙහි වනාහි ඒ මහණ තෙමේ ප්රතිසඞ්ඛ්යාන නම් වූ ස්මෘති බලයෙන් අධිවාසනක්ෂාන්තියෙහි සිට ‘න ආවුසො සක්කා යෙන වා තෙන වා අධිවාසෙතුං’ ඇවැත්නි! යමකින් හෝ එයින් හෝ ඉවසන්නට නො හැක්කෙමියි කීයේය. එහෙයින් මේ මහණහුට ඇවැත් නොවේ.
ද්වීතීයවස්තුවෙහි වනාහි අත්තූපනායික නොකොට ‘න සක්කා පුථුජ්ජනෙන’ ඇවැත්නි! පෘථග්ජනයා විසින් නො හැක්කේයයි පරියායයෙන් කියූ බැවින් ථුල්ලච්චය වේ.
බ්රාහ්මණවස්තුවෙහි - ඒ බ්රාහ්මණ තෙමේ ‘ආයන්තු හොන්තො අරහන්තො’ පින්වත් රහත්හු එත්වා, යනු පමණක් නො කීයේය. ඔහුගේ මුඛයෙන් යම් යම් වචනයක් නිකුත් වේ ද, ඒ සියලු වචන ‘රහතුන්ට අසුන් පණවවු, පාදෝනා පැන් දෙවු, රහත්හු පා දොවත්වා’යි අරහන්තවාද ප්රතිසංයුක්තම වූයේය. ඒ වනාහි මොහු ශ්රද්ධාචරිතයකු බැවින් තමන්ගේ ශ්රද්ධාබලයෙන් තදින් උත්සාහවත් වූ මොහුගේ ප්රසාදයෙන් කියයුතු වූ වචනයි. එහෙයින් භාග්යවතුන් වහන්සේ ‘අනාපත්ති භික්ඛවෙ පසාදභඤ්ඤෙ’යි වදාළ සේක. මෙසේ කියනු ලබන තුටු පහටු වූ ම මහණහු විසින් වනාහි සිවුපසය පරිභොග කටයුතුය. රහත් බවට පමුණුවන පිළිවෙත පුරන්නෙමි’යි මෙසේ යොග කටයුතුය.