පදභාජනීයවණ්ණනා
මෙසේ උදෙසනලද ශික්‍ෂාපදය පදපිළිවෙළින් විභාගකොට දැන් යම්හෙයකින් යට කියූ පදභාජනයෙහි ‘ඣානං විමොක්‍ඛං සමාධි සමාපත්ති ඤාණදස්සනං -පෙ- සුඤ්ඤාගාරෙ අභිරති’යි මෙසේ සැකෙවින්ම උත්තරිමනුෂ්‍ය ධර්‍මය දක්වන ලද්දේය. විස්තර වශයෙන් නො දක්වන ලද්දේය. ඇවැතට නගා පාළිය තබන ලද්දීය. අර්‍ත්‍ථය සැකෙවින් දැක්වූ කල්හි ද සියල්ලෝ හැමතින් නයක්‍රම ගන්නට අසමර්‍ත්‍ථ වෙත්. එහෙයින් හැමතින් නයක්‍රම ගැනීම පිණිස නැවත ඒ පදභාජනයම මාතෘකාස්ථානයෙහි තබා විස්තර වශයෙන් උත්තරිමනුෂ්‍යධර්‍මය දක්වා ආපත්තිභෙදය දක්වනු කැමැති සේක් ‘ඣානන්ති පඨමං ඣානං දුතියං ඣානං’ යනාදිය වදාළ සේක. එහි ප්‍රථමද්ධ්‍යානාදියෙන් මෛත්‍රීධ්‍යානාදීහු ද, අශුභද්ධ්‍යනාදීහු ද, ආනාපානස්මෘතිසමාධිධ්‍යානය ද, ලෞකිකද්ධ්‍යානය ද, ලොකොත්තරද්ධ්‍යානය ද සඞ්ග්‍රහ කරන ලද්දේමය. එහෙයින් ‘ප්‍රථමද්ධ්‍යානයට පැමිණියෙමි’යි ද -පෙ- චතුර්‍ත්‍ථද්ධ්‍යානයට - මෛත්‍රීද්ධ්‍යානයට - උපෙක්‍ෂාද්ධ්‍යානයට - අශුභද්ධ්‍යානයට -ආනාපානස්මෘති - සමාධිද්ධ්‍යානයට - ලෞකිකද්ධ්‍යානයට - ලොකොත්තරද්ධ්‍යානයට පැමිණියෙමි’යි ද කියන්නේ පාරාජිකම වේ යි දතයුතුය.
මැනැවින් මිදුනේ හෝ නන්වැදෑරුම් කෙලෙසුන්ගෙන් මිදුනේ නු යි හෝ විමොක්‍ඛ නම් වේ. ඒ මේ විමොක්‍ෂය වනාහි රාග ද්වෙශ මොහයන්ගෙන් ශුන්‍ය බැවින් සුඤ්ඤත, රාග ද්වෙෂ මොහ නිමිත්තයන්ගෙන් නිමිත්ත රහිත බැවින් අනිමිත්ත, රාග ද්වෙෂ මොහ ප්‍රාර්‍ත්‍ථනාවන්ගේ අභාවයෙන් අප්පණිහිත, යි කියනු ලැබේ. සිත සමව අරමුණෙහි පිහිටුවා නු යි තබානුයි සමාධි නමි. ආර්‍ය්‍යයන් විසින් මනා කොට සමවැදිය යුතු බැවින් සමාපත්ති නම. මෙහි සෙස්ස කියූ නය ඇත්තේමය. මෙහිද ශුන්‍යතාදිවිමොක්‍ෂත්‍රිකයෙන් ද, සමාධිත්‍රිකයෙන් ද ආර්‍ය්‍ය මාර්‍ගයම වදාරණ ලද්දේය. සමාපත්තිත්‍රිකයෙන් ඵලසමාපත්ති තොමෝ දක්වන ලද්දීය. ඔවුනතුරෙහි යම්කිසි එක් පදයකුදු ගෙණ ‘මම මේ ධර්‍මය ලැබීමි’යි කියනුයේ පාරාජිකම වේ.
‘තිස්සො විජ්ජා’ යනු පූර්‍වෙනිවාසානුස්මෘති, දිව්‍යචක්‍ෂුස්, ආස්‍රවක්‍ෂඥාන යන තිදෙනය. එහි එක් විද්‍යාවකගේ ද නම ගෙන ‘මම මේ විද්‍යාව ලැබීමි’යි කියනුයේ පාරාජික වේ. සඞ්ක්‍ෂෙපාර්‍ත්‍ථ කථාවෙහි වනාහි විද්‍යාවන් ලැබුයේ වෙමියි කියනුයේ ද ‘ත්‍රිවිද්‍යාවන් ලැබුයේ වෙමි’යි කියනුයේ ද පාරාජිකමයයි කියන ලද්දේය. මාර්‍ගභාවනා පදභාජනයෙහි කියනලද සප්තත්‍රිංශත් බොධිපාක්‍ෂික ධර්‍මයෝ මාර්‍ගසම්ප්‍රයුක්ත වූවාහු ලොකොත්තරම වූවාහුයි මෙහි අදහස් කරන ලදහ. එහෙයින් ලොකොත්තරම වූවාහුයි මෙහි අදහස් කරන ලදහ. එහෙයින් ලොකොත්තර සතිපට්ඨාන, සම්මප්පධාන, ඉද්ධිපාද, ඉන්‍ද්‍රිය, බල, බොජ්ඣඞ්ග ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය ලැබුයේ වෙමියි කියන්නහුට පාරාජිකයයි මහාඅර්‍ත්‍ථකථාවෙහි කියන ලදී. මහාපච්චරී ආදියෙහි ‘සතිපට්ඨානයන් ලැබූයේ වෙමි’යි මෙසේ එක් එක් කොටස වසයෙන් ද, ‘කායානුපස්සනා සතිපට්ඨානය ලැබුයේ වෙමි’යි එක් එක් ධර්‍මයාගේ වසයෙන් ද ගෙණ කියන්නහුට පාරාජිකය මැයි කියන ලදී. එ ද සම වේ. කුමක් හෙයින් ද යත්:- මාර්‍ගක්‍ෂණයෙහි උපන් ධර්‍මයන් සඳහා කියූ බැවිනි. ඵල ප්‍රත්‍යක්‍ෂ කිරීමෙහි ද එක් එක් ඵලයක්හුගේ වසයෙන් පාරාජිකය දතයුතුය.
‘රාගස්ස පහාණං’ යනාදි ත්‍රිකයෙහි ක්ලෙශප්‍රහාණයම වදාරණ ලදී. යම්හෙයකින් ඒ ප්‍රහාණය ද මාර්‍ගයෙන් වෙන්ව නොවේ ද, තෘතීය මාර්‍ගයෙන් රාගද්වෙෂයන්ගේ ප්‍රහාණය හා චතුර්‍ත්‍ථමාර්‍ගයෙන් මෝහයාගේ ප්‍රහාණය වේ ද, එහෙයින් ‘මාගේ රාගය ප්‍රහීණ වූයේය’ යනාදිය කියන්නහුට ද පාරාජිකය කියන ලදී.
‘රාගා චිත්තං විනීවරණ්තා’ යනාදි ත්‍රිකයෙහි ලෝකෝත්තර චිත්තයම කියන ලදී. එහෙයින් ‘මාගේ සිත රාගයෙන් පහවූයේය’ යනාදිය කියන්නහුට ද පාරාජිකයම වේ.
ශුන්‍යාගාරපදභාජනයෙහි වනාහි යම්හෙයකින් ධ්‍යානය හා නො ගටා ‘ශුන්‍යාගාරයෙහි ඇලෙමි’ යන වචන මාත්‍රයෙන් පාරාජිකය අදහස් නො කරන ලද්දේ ද, එහෙයින් ‘පඨමෙන ඣානෙන සුඤ්ඤාගාරෙ අභිරති’ යනාදිය වදාරණ ලද්දේය. එහෙයින් යම් මහණෙක් ධ්‍යානය සමග ගටා ‘මෙ නම් ධ්‍යානයෙන් ශුන්‍යාගාරයෙහි ඇලෙමි’යි කියා නම්, මෙතෙමේම පාරාජික වේය’යි දත යුතුය.
‘යාවඤාණං’ යන මේ පදය පිළිබඳ පදභාජනයෙහි අම්බට්ඨ සූත්‍රාදීන්හි කියූ අෂ්ට විද්‍යාවන්හි විපස්සනාඤාණ, මනොමයිද්ධි, ඉද්ධිවිධ, දිබ්බසොත, චෙතොපරියඤාණ වසයෙන් භෙද වූ පස්වැදෑරුම් විද්‍යාවෝ නො ආවාහු ද, ඔවුන් අතුරෙහි එක්ම විදර්‍ශනාව පාරාජිකයට වස්තු නොවේ. සෙස්සෝ පාරාජිකයට වස්තු වෙත්යයි දතයුතුය. එහෙයින් ‘විදර්‍ශනාව ලැබුයේ වෙමි යි ද, විදර්‍ශනා ඥානය ලැබුයේ වෙමි’යි ද, කියන්නට පාරාජිකයක් නැත්තේය. ඵුස්සදෙව ස්ථවිරයන් වහන්සේ වනාහි ‘අන්‍ය වූ ද සිවුවැදෑරුම් වූ විද්‍යාවෝ ඥානය සමග නො ගැටුනාහු පාරාජික වස්තු නොවෙත්. එහෙයින් මනොමයඍද්ධිය ලැබුයේ වෙමි, සෘද්ධිවිධඥානය - දිව්‍ය ශ්‍රොත්‍රඥානය - චෙතොපරියඥානය - ලැබුයේ වෙමි’යි කියන්නහුට ද පාරාජිකය නැතැයි කියත්. එය උන්වහන්සේගේ අතවැසියන් විසින්ම ප්‍රතික්‍ෂෙප කරන ලද්දේය. ‘ආචාර්‍ය්‍යයන් වහන්සේ ආභිධර්මික නොවෙත්. එහෙයින් භූමිවිශෙෂය නො දනිත්. අභිඥාව වනාහි චතුර්‍ත්‍ථද්ධ්‍යානය පාදක කොට සිටියා වූ ම මහද්ගතධර්‍මයෙකි, ධ්‍යානය සමගම සමෘද්ධ වේ. එහෙයින් ‘මනොමයස්ස ලාභීම්හි’යි හෝ, ‘මනොමයඤාණස්ස ලාභීම්හි’යි හෝ යම් ඒ ලෙසකින් කියාවා, පාරාජිකයම වේ යි. ප්‍රතික්‍ෂෙප කරන ලද්දේය. මෙහි නිවණ කිසිසේත් පෙළෙහි නො ආයේ ය. එහෙත් ‘මා නිවණට පැමිණෙන ලදැ’යි කියා හෝ, මා විසින් නිවන සාක්‍ෂාත් කරන ලදැ’යි කියා හෝ කියන්නහුට පාරාජිකයම වේ. කුමක් හෙයින් ද යත්:- නිවණ තමා උපදවන ලද ලොකොත්තර ගුණය ඇති බැවිනි. එසේම ‘චතුස්සත්‍යයන් අවබොධ කෙළෙමි, මා විසින් ප්‍රතිවෙධ කරන ලද්දාහුය’යි කියන්නහුට ද පාරාජිකයම වේ. කුමක් හෙයින් ද යත්:- යම්හෙයකින් සත්‍යප්‍රතිවෙධය වනාහි මාර්‍ගයට පර්‍ය්‍යාය වචනයක් වේ ද, එහෙයිනි. යම්හෙයකින් වනාහි ත්‍රිවිධ ප්‍රතිසම්භිදාවෝ කාමාවචර කුසලයන් අතුරෙන් චතුර්විධඥාන සම්ප්‍රයුක්ත චිත්තොත්පාදයන්හි උපදිත් ද, ක්‍රියාචිත්තයන් අතුරෙන් චතුර්විධ ඥානසම්ප්‍රයුක්ත චිත්තොත්පාදයන්හි උපදිත් ද, අර්‍ත්‍ථප්‍රතිසම්භිදා තොමෝ මොවුන් අතුරෙහි ද චතුර්විධ මාර්‍ගයන්හි ද චතුර්විධ ඵලයන්හි ද උපදීයයි විභඞ්ගයෙහි කියන ලදද, එහෙයින් ‘ධර්‍මප්‍රතිසම්භිදාව ලැබුයේ වෙමි’යි හෝ නිරුක්ති -පෙ- ප්‍රතිභාන ප්‍රතිසම්භිදාව ලැබුයේමියි හෝ ලොකීය අර්‍ත්‍ථප්‍රතිසම්භිදාව ලාභි වූයෙමියි හෝ කියූ කල්හි ද පාරාජිකයෙක් නැත්තේය. ප්‍රතිසම්භිදාලාභී වූයෙමියි කියූ කල්හි ද පාරාජිකයෙක් නැත්තේය. ප්‍රතිසම්භිදාලාභී වූයෙමියි කියූ කල්හි ද ඒ තාක් කෙලවරට නො බසියි. ලොකොත්තර අර්‍ත්‍ථප්‍රතිසම්භිදාව ලාභී වූයෙමි’යි කියූ කල්හි පාරාජිකය වේ.
සඞ්ක්‍ෂෙපාර්‍ත්‍ථකථාවෙහි වනාහි අර්‍ත්‍ථප්‍රතිසම්භිදාව පැමිණියේ වෙමි’යි විශෙෂයක් නො තබා ද කියන්නහුට පාරාජිකය කියන ලද්දේය. කුරුන්‍දියෙහි ද නො මිදේයයි කියන ලදී. මහාඅර්‍ත්‍ථකථාවෙහි ‘මෙපමණකින් පාරාජිකයක් නැත්තේය. මෙපමණකින් කෙළවරට නො බස්නේය, මෙපමණකින් පාරාජිකයක් නොවේ ය’යි විචාරණය කළ බැවින් අනිකක් ප්‍රමාණ කරන්නට නො හැක්කේය’යි කියන ලදී.