සුද්ධිකවාරකථාවණ්ණනා
මෙසේ ධ්‍යානාදී වූ දශමාතෘකාපදයන් විස්තරකොට දැන් උත්තරිමනුෂ්‍යධර්‍මය පවසනුයේ යම් සම්පජානමුසාවාදයක් කියාද, ඒ සම්පජාන මුසාවාදයෙහි අඞ්ග දක්වා ඔහුගේම විස්තර වශයෙන් චක්‍රපෙය්‍යාලය බඳින සේක් ‘සමාපජ්ජති’ යනාදීන් කියන ආකාරය ද ආපත්තිභෙදය ද දක්වන්නට ‘තීහාකාරෙහි’ යනාදිය වදාළ සේක. එහි සුද්ධිකවාර - වත්තුකාමවාර - පච්චයපටිසංයුත්තවාර යි මහාවාර තුනක් වේ. ඔවුනතුරෙහි සුද්ධිකවාරයෙහි ප්‍රථමද්ධ්‍යානය ආදිකොට ‘මොහා චිත්තං විනීවරණපදං’ යනු යම්තාක් ද ඒ තාක් එක් එක් පදයෙහි ‘සමාපජ්ජිං, සමාපජ්ජාමි, සමාපන්නො, ලාභිම්හි, වසිම්හි, සච්ඡිකතං මයා’ යන මේ සපදයෙහි එක් එක් පදයක් අන් අයුරකින් සිවු අයුරකින් පස් අයුරකින් සයයුරකින් සත් අයුරකින්යි මෙසේ පස්වරක් යොදා සුද්ධිකනය වදාරණ ලද්දේය. ඉක්බිති ‘පඨමඤ්ච ඣානං, දුතියඤ්ච ඣානං’යි මෙසේ ප්‍රථමද්ධ්‍යානය සමග එක් එක් පදය ගළපන්නහු විසින් සියලු පද ගළපා ඒ විස්තරයෙන්ම ඛණ්ඩ චක්‍රය වදාරණ ලද්දේය. නැවත එය ගෙන අවුත් ප්‍රථමද්ධ්‍යනාදිය සමග නො යොදන ලද්දේය. එහෙයින් ඛණ්ඩචක්‍රයි කියනු ලැබේ. ඉක්බිති ‘දුතියඤ්ච ඣානං, තතියඤ්ච ඣානං’යි මෙසේ ද්විතීයද්ධ්‍යානය සමග එක් එක් පදය ගළපා නැවත ගෙන අවුත් ප්‍රථමද්ධ්‍යානය සමග සම්බන්‍ධකොට ඒ විස්තාරයෙන්ම බද්ධචක්‍ර නමැයි වදාරණ ලදී. ඉක්බිති ද්විතීයද්ධ්‍යානය සමග යම්සේ ද, මෙසේ තෘතීයද්ධ්‍යානාදිය සමග එක් එක් පදය ගළපා නැවත ගෙන අවුත් ද්විතීයද්ධ්‍යානාදිය සමග සම්බන්‍ධකොට ඒ විස්තාරයෙන්ම අන්‍ය වූ ද එකුන් තිස් බද්ධචක්‍රයන් දක්වා එකමූලකනය නිමකරණ ලද්දේය. පාඨය වනාහි සැකෙවින් දක්වන ලද්දේය. එය නො මුළා වන්නහු විසින් විස්තර වශයෙන් දතයුත්තේය.
එකමූලකනය යම්සේ ද ද්විමූලකාදීහු ද එසේය. සර්‍වමූලකනයෙහි කෙළවර දක්වා සාරසියයක්හුගේ මතුවෙහි පන්තිස් නය දෙනෙක් දක්වන ලදහ. ඔවුහු කවරහු ද යත්:- ද්විමූලකයෝ එකුන්තිසෙක, ත්‍රිමූලකයෝ අටවිස්සෙක චතුර්මූලකයෝ සත්විස්සෙක. මෙසේ පංචමූලකාදීහු ද එක එක අඩුකොට තිංසමූලකයෝ යම්තාක් ද ඒ තාක් දතයුතුය. පාඨයෙහි වනාහි ඔවුන්ගේ නම ද හකුළා කෙටි කොට මෙය සර්‍වමූලකැයි එක් තිංසමූලක නයක් දක්වන ලද්දේය. යම්හෙයකින් ශුන්‍යාගාරපදය ධ්‍යානය සමග නො ගැටුනේ ද, කෙළවරට නො බස්නේ ද, එහෙයින් එය ආමර්‍ශනය නොකොට මොහාචිත්ත විනීවරණපදය කෙළවරකොට ඇති හැම තැන යොජනා තොමෝ දක්වන ලදැයි දතයුත්තීය. මෙසේ ප්‍රථමද්ධ්‍යානාදිය පිළිවෙළින් හෝ උපිළිවෙළින් හෝ ද්විතීයද්ධ්‍යානාදීන් සමග ගටා හෝ නො ගටා හෝ ‘සමාපජ්ජිං’ යනාදී නයින් කියන්නහුට මුක්තියක් නැත්තීය. පාරාජිකයට පැමිණේමය යි
මේ අර්‍ත්‍ථය දැක්වීම් වසයෙන් කියනලද ඒ සුද්ධික මහාවාරයෙහි මේ වනාහි සැකෙවින් කළ අර්‍ත්‍ථ වර්‍ණනාය. ‘තීහාකාරෙහි’ සම්පජානමුසාවාදයට අඞ්ග වූ කරුණු තුනෙන් ‘පුබ්බෙවස්ස හොති’ පූර්‍වභාගයෙහිම මේ පුද්ගලයාහට ‘බොරු කියන්නෙමි’යි මෙබඳු සිතක් වේ. ‘භණන්තස්ස හොති’ කියන්නහුට මෙබඳු සිතක් වේ. ‘භණිතස්ස හොති’ කියූ කල්හි මොහුට මෙබඳු සිතක් වේ. යමක් කියයුත්තේ නම් එය කියූ කල්හි වේය, යන අර්‍ත්‍ථයි. නොහොත් ‘භණිතස්ස’ කියූ වචනයෙන් නිමියා වූ වචන ඇත්තහුට වන්නේයයි මෙසේ යමෙක් පූර්‍වභාගයෙහි දී දනී ද, කියනුයේත් දනී ද, පසුවත් ‘මා විසින් බොරු කියන ලදැ’යි දනී ද, හෙතෙමේ ප්‍රථමද්ධ්‍යානයට සමවැදුනෙමියි කියනුයේ පාරාජිකයට පැමිණේයයි. මෙහි ‘තීහඞ්ගෙහ සමන්නාගතො මුසාවාදො’ යන මේ අර්‍ත්‍ථය දක්වන ලද්දේය. එසේ දක්වන ලද්දේ නමුත් මේ මෙහි වෙනසය:- පළමුකොට විචාරීමෙක් වේ. ‘බොරු කියන්නෙමි’යි ද බොරු කියන්නහුට බොරු කියමි’යි ද දන්නහුට, පසුභාගයෙහි ‘මා විසින් බොරු කියන ලද්දේය’යි නො වන්නට නො හැක්කේය. ඉදින් නොවේ නමුදු පාරාජිකයම වේ. පළමු අඞ්ග දෙකම මෙයට ප්‍රමාණ වේ. යමක්හට වනාහි පූර්‍වවභාගයෙහි ‘බොරු කියන්නෙමි’යි අදහසක් නැත්තේ ද, කියන්නේ වනාහි ‘බොරු කියමි’යි දනී ද, කියූ කල්හි ද ‘මා විසින් බොරු කියන ලදැ’යි දනී ද, ඔහුට ඇවැත් නො නැගිය යුතුය. එහිලා පූර්‍වභාගයම ප්‍රමාණතර වේ. එය නැති කල්හි වහා කියන ලද්දක් හෝ අනිකක් කියනු කැමැතිව පැකිල අනිකක් කියන ලද්දක් හෝ වේයයි