වග්ගුමුදාතීරියභික්ඛුවත්ථුවණ්ණනා
‘තෙන සමයෙන බුද්ධො භගවා වෙසාලියං විහරති -පෙ- ගිහීනං කම්මන්තං අධිට්ඨෙම’ ගිහීන්ගේ කෙත්වල ද අරම් ආදියෙහි ද කටයුතු කිස සංවිධානය කරමු, ‘මෙසේ කටයුතුය, මෙසේ නො කටයුතුයයි කියමු, අනුශාසනා ද කරමු’යි කියන ලද්දේ වේ. ‘දූතෙය්යං’ දූතකර්මය. ‘උත්තරිමනුස්සධම්මස්ස’ මනුෂ්යධර්ම ඉක්ම වූ ධ්යානාදි ධර්ම පිළිබඳ. මනුෂ්යත්වය ඉක්මවා බ්රහ්මත්වයට හෝ නිර්වාණයට පමුණුවන්නා වූ ධර්මය පිළිබඳය යන අර්ත්ථයි. නොහොත් උත්තරි මනුෂ්යධර්මයට පැමිණි ශ්රේෂ්ඨ පුරුෂයන්ගේ ද, ධ්යායීන්ගේ ද, ආර්ය්යයන්ගේ ද ධර්මය පිළිබඳ. ‘අසුකො භික්ඛු’ යනාදි තන්හි තුමූ මෙසේ මන්ත්රණයකොට පසුව ගිහියන්ට කියන්නාහු, ‘බුද්ධරක්ඛිත නම් මහණ තෙමේ ප්රථමද්ධ්යානය ලැබූයේය. ධම්මරක්ඛිත තෙමේ ද්විතීයද්ධ්යානය ලැබුයේය’යි මෙසේ නම් වසයෙන්ම ගුණ කියූහයි දත යුතුය. එහි ‘එසෙව ඛො ආවුසො සෙය්යො’ කර්මාන්ත සංවිධානය හා පණිවුඩ ගෙන යෑම ද බොහෝ සතුරන් ඇත්තකි. මහත් උවදුරු ඇත්තකි. ශ්රමණයන්ට යොග්ය ද නොවේ. ඒ දෙකටම වඩා ‘යො අම්හාකං ගිහීනං අඤ්ඤමඤ්ඤස්ස උත්තරිමනුස්සධම්මස්ස වණ්ණො භාසිතො’ යන මෙයම ශ්රේෂ්ඨය. ඉතා පැසසිය යුතුය. ඉතා සුන්දරය. කුමක් කියන ලද්දේ වේ ද යත්: ප්රධන්වීර්ය්යයට සුදුසු පරිදි ඉරියවු පිහිටුවා හුන්නා වූ හෝ සක්මන් කරන්නා වූ මහණකු ගැන විචාරන්නා වූ හෝ හෝ නො විචාරන්නා වූ හෝ ගිහියන්ට ‘මේ අසුවල් මහණ තෙමේ ප්රථමද්ධ්යානලාභීය’ යන මේ ආදි ක්රමයෙන් අප අතර අනෙකකු විසින් අනෙකක්හුගේ උත්තරිමනුෂ්යධර්මය පිළිබඳ යම් ගුණයෙක් කියන ලද්දේ වන්නේ ද, මෙයම ශ්රේෂඨ වේය යනුයි. අනාගත සම්බන්ධයක් වනාහි නැති කල්හි මොවුන් විසින් ඒ මොහොතෙහි ඒ උත්තරිමනුෂ්යධර්ම ගුණය නො කියන ලද්දේම යම්හෙයකින් නො යෙදේ ද, එහෙයින් අනාගතය සම්බන්ධ කොට ‘යම් ගුණයක් මෙසේ කියන ලද්දේ වන්නේ ද, එය ශ්රෙෂ්ඨ නු යි. මෙසේ මෙහි අර්ත්ථ දතයුතුය. මෙහි ලක්ෂණ ශබ්දශාස්ත්රයෙන් සෙවිය යුතුය.
‘වණ්ණවා අහෙසුං’ ඔවුන්ට අන්ය වූ ම අලුත් සිරුරු පැහැයක් උපන්නේය. ඒ උපන් පැහැයෙන් වර්ණවත් වූවාහුය. ‘පීණින්ද්රියා’ පඤ්ච ප්රසාදරූපයන් විසින් වැදුනු හෘදයවස්තුරූපය පිරිපුන් බැවින් මනස සවන කොට ඇති ඉන්ද්රියයන් නො මැලවුනු බැවින් පිණාගිය ඉඳුරන් ඇත්තාහ. ‘පසන්නමුඛවණ්ණා’ අවිශෙෂයෙන් සාමාන්යයෙන් වර්ණවත් වූවාහුය. ශරීරවර්ණයට වඩා ඔවුන්ගේ මුඛවර්ණය ඉතා වැඩියක් පහන් වූයේය. නිර්මලය. නො කැළඹුනේය. පිරිසිදුය. යන අර්ත්ථයි. ‘විප්පසන්නඡවිවණ්ණා’ ඔවුහු කිණිහිරි මල් ඈ සමාන වූ යම් වර්ණයකින් වර්ණවත් වූවාහු ද, මොවුන්ට මෙන් අන් මිනිසුන්ට ද එබඳු වූ වර්ණයක් ඇත්තේ ද, ඔවුන්ගේ ඡවිවර්ණය එසේ විප්රසන්න නොවේ. එහෙයින් ‘විප්පසන්නඡවිවණ්ණා’යි වදාරණ ලදය. මෙසේ ඒ භික්ෂූහු උද්දෙශපරිවෘච්ඡාවන්හි නොම යෙදුනාහු, කර්මස්ථානයන්හි නො යෙදුනාහු, කුහක බැවින් නැති ගුණ කියා පෑමෙන් ලැබූ පිණි බොජුන් වළඳා සුව ඇති පරිදි නිදිඇලුම්හි සමූහ ඇලුම්හි යෙදෙන්නාහු මේ ශරීරශොභාවට පැමිණියාහුය. භ්රාන්ත මෘගයන් වැනි බාලයෝ යම්සේ ද, කටයුතු නො කටයුතු නො දන්නා බැවින් මොවුහු ද එසේය.
‘වග්ගුමුදාතීරියා’ වග්ගුමුදාගංතෙරවැසියෝ. ‘කච්චිභික්ඛවෙ ඛමනීයං’ ‘මහණෙනි! කිම? තොපට සිවුඉරියවුවකින් යුත් නවදොරක් ඇති මේ ශරීරයන්ත්රය ඉවසිය හැකිද? ඉවසන්නට උසුලන්නට පරිහරණය කරන්නට හැකිද? කිසි දුකක් නො උපදවාද?. ‘කච්චි යාපනීයං’ කිම? සියලු කටයුතුවල යැපෙන්නට පවතින්නට හැකිද? කිසි අනතුරක් නො දක්වාද? ‘කුච්ඡිපරිකන්තො’ කුස කපාගැණීම උතුම් වන්නේය. ‘පරිකත්තො’ යන පාඨය ද යෙදේ. මෙසේ වග්ගුමුදාගංතෙර වස් විසූ භික්ෂූන්ට නොයෙක් අයුරින් ගරහා දැන් යම්හෙයකින් ඔවුන් විසින් කළ කර්මය, චෞරකර්මයක් වේ ද, එහෙයින් මතුවෙහි අන්හට ද මෙබඳු කර්ම නො කරනු පිණිස ‘අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි’ ඉක්බිති භාග්යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතු සේක.
අමතා ද වනාහි ‘පඤ්චිමෙ භික්ඛවෙ මහාචොරා’ යනාදිය වදාළ සේක. එහි ‘සන්තො සංවිජ්ජමානා’ ඇත්තාහු ද දක්නා ලැබෙත් දැයි කියන ලද්දේ වේ. ඉධ මේ සත්ත්ව ලොකයෙහි. ‘එවං හොති’ මෙසේ පූර්වභාගයෙහි ආශාව උපදියි. ‘කුදස්සුනාමාහං’ යන මෙහි සු යනු නිපාතයි. කවදා නම් යන අර්ත්ථයි. ‘සො අපරෙන සමයෙන’ හෙතෙමේ පූර්වභාගයෙහි මෙසේ සිතා පිළිවෙලින් පිරිස වඩන්නේ මං පැහැරීම් පසල්ගම් කොල්ලකෑම් යන මේ ආදිය කොට මහත් බවට පැමිණි පිරිස් ඇත්තේ ගම් නො ගම් ද දනවු නො දනවු ද කරමින් ‘හනන්තො ඝාතෙන්තො -පෙ- පචන්තො පාචෙන්තො’ මරමින් මරවමින් - දවමින් දවවමින් වෙසෙයි.
මෙසේ බැහැරී මහසොරහු දක්වා ඒ සොරු සමාන වූ ශාසනයෙහි පස් මහසොරුන් දක්වන්නට ‘එවමෙව ඛො’ යනාදිය වදාළ සේක. එහි ‘පාපභික්ඛුනො’ අන් තන්හි මුල් සිඳුනු පාරාජිකාපත්තියට පැමිණියේ ‘පාපභික්ඛු’යි කියනු ලැබේ. මෙහි වනාහි පාරාජිකාවට නො පැමිණියේ, කැමැති සේ හැසිරීමෙහි සිටියේ ක්ෂුද්රානුක්ෂුද්රක ශික්ෂාපදයන් මැඩ හැසිරෙනුයේ ‘පාපභික්ඛු’යි අදහස් කරන ලද්දේය. ඔහුට ද බැහැරී මහසොරුට මෙන් පූර්වභාගයෙහි ‘කුදස්සු නාමාහං -පෙ- පරික්ඛාරානං’යි. මෙසේ අදහස් වේ. එහි ‘සක්කතො’ සත්කාරයට පැමිණියේ. ‘ගරුකතො’ ගරුකාරයට පැමිණියේ. ‘මානිතො’ සිතින් ප්රිය කරන ලද්දේ. ‘පූජිතො’ සිවුපසය එළවීමෙන් පුදන ලද්දේ ‘අපචිතො’ පූජාවට පැමිණියේය. එහි යමක්හට සිවුපසය සකස්කොට මැනැවින් පිළියෙල කොට ඉතා ප්රණීත කොට දෙත් ද, හෙතෙමේ සත්කාර කරන ලද්දේ වේ. යමකු කෙරෙහි ගරු බව පිහිටුවා දෙත් ද, හෙතෙමේ ගරු කරන ලද්දේ වේ. යමකු සිතින් ප්රිය කෙරෙත් ද, හෙතෙමේ සිතින් ප්රියකරන ලද්දේ වේ. යමක්හට මේ සියල්ල කෙරෙත් ද හෙතෙමේ පුදන ලද්දේ වේ. යමක්හට වැඳීම් නැගීසිටීම් ඇඳිලි බැඳීම් ආදිවාසයෙන් ඉතා යටත් පහත් පැවතුම් දක්වත් ද, හෙතෙමේ පූජාවට පැමිණියේය. ලොකාමිෂය පතන්නා වූ මොහුට මෙසේ මේ සියල්ල වන්නේය.