පදභාජනීයවණ්ණනා
‘සඤ්චිච්ච’ යන මෙය, ‘සඤ්චිච්ච මනුස්සවිග්ගහං’ මාතෘකාවෙහි කියනලද ‘සඤ්චිච්ච’ යන පදයාගේ නගා දැක්වීමය. එහි සං යනු උපසර්‍ගයි. ඒ හා සමග ‘සඤ්චිච්ච’ යන මෙය, පූර්‍වකාල ක්‍රියා වචනයි. සඤ්චෙතනයකොට මොනවට සිතා යනු එහි අර්‍ත්‍ථයි. යම්හෙයකින් වනාහි යමෙක් තෙමේ සිතා දිවි තොර කෙරේ ද, හෙතෙමේ දන්නේ මනාකොට දන්නේ වේ. ඔහුගේ ඒ දිවි තොර කිරීම සිතා සනිටුහන් කොට කළ ව්‍යතික්‍රමය වේ. එහෙයින් ව්‍යඤ්ජනයෙහි ආදරය නො කොට අර්‍ත්‍ථයම දක්වනු පිණිස ‘ජානන්තො සඤ්ජානන්තො වෙච්ච අභිවීතරිත්‍වා විතික්කමො’යි මෙසේ ඔහු පිළිබඳ පදභාජනය වදාරණ ලදී. එහි ‘ජානන්තො’ යනු ප්‍රාණියෙකැයි දන්නේය. ‘සඤ්ජානත්තො’ ජීවිතයෙන් තොර කරමියි මනාකොට දන්නේය. එම ප්‍රාණය දන්නා ආකාරය සමග මනාකොට දන්නේය යන අර්‍ත්‍ථයි. ‘වෙච්ච’ වධක චේතනා වසයෙන් සිතා කල්පනාකොට ‘අභිවීතරිත්‍වා’ උපක්‍රම වශයෙන් මඩිමින් නිසැක සිත යවා ‘විතික්කමො’ මෙසේ පැවැතියහුගේ යම් ව්‍යතික්‍රමයක් වේ ද, මෙය සඤ්චිච්ච ශබ්දයාගේ කෙළ පැමිණි අර්‍ත්‍ථයයි කියන ලද්දේ වේ.
දැන් ‘මනුස්සවිග්ගහං ජීවිතා වොරොපෙය්‍ය’ යන මෙහි වදාළ මිනිසත් බව ප්‍රතිසන්‍ධි විඥානය සමග උපන් කලල රූපය මුල පටන් දක්වනු පිණිස ‘මනුස්සවිග්ගහො නාම’ යනාදිය වදාළ සේක. එහි ගැබ හෝනවුන්ගේ වසයෙන් සියල්ලට වඩා සියුම් අත්බව දක්වනු පිණිස ‘යං මාතුකුච්ඡිස්මිං’ යනු වදාරණ ලදී. ‘පඨමං චිත්තං’ ප්‍රතිසන්‍ධි චිත්තයයි. ‘උප්පන්නං’ උපන්නේය ‘පඨමං විඤ්ඤාණං පාතුභූතං’ යන මෙය එයටම පර්‍ය්‍යාය වචනයි. ‘මාතුකුච්ඡිස්මිං පඨමං චිත්තං’ යන වචනයෙන් ද මෙහි සියලුම පිරිපුන් නො අඩු වූ රූපාදි පඤ්චස්කන්‍ධයන්ගේ ප්‍රතිසන්‍ධිය දක්වන ලද්දී වේ. එහෙයින් ඒ ප්‍රථම චිත්තයක් වේද, ඒ ප්‍රථම චිත්තය හා යෙදී ගත් ත්‍රිවිධ අරූපස්කන්‍ධයෝ ද, ඒ හා උපන් කලල රූපය ද යි යන මෙය සියල්ලට පළමු වූ මිනිස් සිරුරය. එහි ‘කලලරූපං’ යනු ස්ත්‍රීපුරුෂයන්ගේ කාය වස්තුභාව දශක වසයෙන් සමතිස් රූපයෝය. නපුංසකයන්ට කායවස්තු දශක වශයෙන් රූප විස්සක් වේ. එහි ස්ත්‍රී පුරුෂයන්ගේ කලල රූපය හිමාලයෙහි වසන ජාතිඋණණා නම් මකුළුවකුගේ එක් හුයකින් නගාත් එහි අග රැඳී සිටි මසැසට විෂය නොවූ පිරිසිදු වූ වෙසෙසින් පහන් වූ තෙල් බින්දුවක් පමණ වේ. මෙය අර්‍ත්‍ථකථාවෙහි කියන ලද්දේය:
‘තිලතෙලස්ස යථා බින්‍දු - සප්පිමණ්ඩො අනාවිලො,
එවං වණ්ණපටිභාගං - කලලන්ති පවුච්චති’යි
‘තලතෙල් බින්දුවක්, නො කැලඹුනු පහන් ගිතෙලක් යම්සේ ද, එසේ රූ සටහන් ඇත්තේ කලල රූප’යි කියනු ලැබේ.
මෙසේ ස්වල්ප වූ වස්තුවක් ආදිකොට ප්‍රකෘතියෙන් එකසිය විසිවස් ඇති සත්ත්‍වයාගේ මරණ කාලය දක්වා මේ අතර පිළිවෙළින් වැඩීමට පැමිණි මේ අත්බව මනුෂ්‍යවිග්‍රහ නම් වේ.
‘ජීවිතා වොරොපෙය්‍ය’ පළමු සතිය තුළ සන්තති වසයෙන් පැවැති කලල සඞ්ඛ්‍යාත ආත්මභාවය දිවියෙන් තොර කරන්නට හැකි බැවින් කලල කාලයෙහි හෝ හැවීම් මැඩීම්වලින් හෝ බෙහෙත් යෙදීමෙන් හෝ ඒ කලල කාලයෙන් මත්තෙහි හෝ එයට අනුරූප වූ උපක්‍රමයෙන් ජීවිතයෙන් තොර කරන්නේය, යන අර්‍ත්‍ථයි. යම්හෙයකින් වනාහි ජීවිතයෙන් තොර කිරීම අර්‍ත්‍ථ වශයෙන් ජීවිතෙන්‍ද්‍රියයාගේ සිඳීමම වේද, එහෙයින් මේ පිළිබඳ පදභාජනයෙහි ‘ජිවිතින්‍ද්‍රියං උපච්ඡින්‍දති උපරොධෙති සන්තතිං විකොපෙති’යි වදාරණ ලද්දේය. එහි ජීවිතෙන්‍ද්‍රිය පිළිබඳ සන්තතියගේ ගැළපීම සිඳින්නේ වළකාලන්නේ ජීවිතෙන්‍ද්‍රිය සිඳියි, වළකාලයි කියනු ලැබේ. ඒ මේ අර්‍ත්‍ථය තෙමේ ‘සන්තතිං විකොපෙති’ යන පදයෙන් දක්වන ලද්දේය. ‘විකොපෙති’ වෙන් කරයි.
එහි රූපජීවිතෙන්‍ද්‍රිය-අරූපජීවිතෙන්‍ද්‍රියයි ජීවිතෙන්‍ද්‍රිය දෙවැදෑරුම් වේ. එදෙක අතුරෙහි අරූපජීවිතෙන්‍ද්‍රියයෙහි උපක්‍රමයක් නැත්තේය. එය උපක්‍රමයෙන් තොර කරන්නට නොහැක්කේය. රූපජීවිතෙන්‍ද්‍රියයෙහි වනාහි උපක්‍රමය ඇත්තේය. එය තොර කරන්නට හැක්කේය. රූපජීවිතෙන්‍ද්‍රිය තොර කරණුයේ අරූපජීවිතෙන්‍ද්‍රිය ද තොර කරයි. එයට අයත් පැවැතුම් ඇති බැවින් රූපජීවිතෙන්‍ද්‍රිය සමග අරූපජීවිතෙන්‍ද්‍රිය ද නිරුද්ධ වන්නේ ය. කිම? රූප ජීවිතෙන්‍ද්‍රිය තොර කරණුයේ අතීත ජීවිතෙන්‍ද්‍රිය තොර කෙරේ ද, අනාගත ජීවිතෙන්‍ද්‍රිය තොර කෙරේ ද, වර්‍තමාන ජීවිතෙන්‍ද්‍රිය තොර කෙරේ ද: යන මෙහි අතීත ජීවිතෙන්‍ද්‍රිය තොර නොකෙරේමය. එසේම අනාගත ජීවිතෙන්‍ද්‍රිය ද තොර නො කෙරේමය. ඔවුන් අතුරෙහි එකෙක් නිරුද්ධ වූයේ, එකෙක් නො උපන්නේයයි අතීත - අනාගත රූප දෙකම නැත්තේය. නැති බැවින් උපක්‍රමයක් නැත්තේය. උපක්‍රමයක් නැති බැවින් එකකුදු තෙර කරන්නට නොහැකිය.