විනිශ්චිත කථාවස්තු
විනීතවස්තු කථාවන් අතුරෙහි ප්‍රථම වස්තුවෙහි ‘කාරුඤ්ඤෙන’ ඒ භික්‍ෂූහු ඔහුගේ මහත් වූ ගිලන් බවෙන් හටගත් දුක දැක කරුණාව උපදවා ‘තෝ සිල්වත් වෙහි, කළ කුසල් ඇත්තෙහි, කුමක් හෙයින් මියෙන්නේ බිය වෙහිද, සිල්වත්හට ස්වර්‍ගය නම් මරණ මාත්‍ර ප්‍රතිබද්ධමය’යි මෙසේ මරණය කැමැත්තාහුමව මරණය කැමැති බව නො දන්නාහු මරණයෙහි ගුණ වැණූහ. ඒ මහණ තෙමේ ද ඔවුන්ගේ ඒ ගුණ වැනීමෙන් අහර ගැනීම වළකා සිට අතරදීම කලුරිය කෙළේය. එහෙයින් ඇවැතට පැමිණියාහුය. ව්‍යවහාර වශයෙන් ‘කාරුඤ්ඤෙන මරණවණ්ණං සංවණ්ණෙසුං’ යනු වදාරණ ලද්දේය. එහෙයින් දැනුදු නුවණැති මහණහු විසින් ගිලන් මහණහුට මෙසේ මරණයෙහි ගුණ නො වැඩිය යුතුය. ඉදින් ඔහුගේ මරණ ගුණ වැණුම් අසා ආහාර වළකාලීම් ආදී වූ උපක්‍රමයෙකින් එක් ජවන් වාරයක් ඉතිරිව සිටි ආයුෂයෙහි අතර දී කලුරිය කෙරේ නම්, මොහු විසින්ම මරණ ලද්දේ වේ. ‘සිල්වත්හට නම් මාර්‍ගඵල ලැබීම අරුමයක් නොවේ. එහෙයින් වෙහෙර අරම් ආදියෙහි ආලය නොකොට බුදුන් කෙරෙහි බැස ගත් ධර්‍මය කෙරෙහි බැස ගත් සඞ්ඝයා කෙරෙහි බැස ගත් කයෙහි බැසගත් සිහිය එළවා මනස්කාරයෙහි අප්‍රමාදය කටයුතුය, යන මේ නයින් අවවාද දිය යුතුය. මරණ ගුණ වැණූ කල්හි ද හෙතෙමේ ඒ ගුණ වැනීමෙන් කිසි උපක්‍රමයක් නොකොට තමන්ගේ ධර්‍මතාවෙන් ආයු පරිදි ආයු පිරිසිදීම් පරිදි මැරීයේද ඒ හේතුවෙන් ඒ ගුණ වැණූ තැනැත්තේ ඇවැතින් නො කටයුතුය.
ද්විතීය වස්තුවෙහි ‘න ච භික්‍‍‍ඛවෙ අප්පටිවෙක්‍ඛිත්‍වා’ ‘කෙබඳු අසුනක් පරීක්‍ෂා කටයුතු ද? කෙබඳු අසුනක් පරීක්‍ෂා නො කටයුතු ද?’ යන මෙහි යම් අසුනක් ඇතිරිලි නො ඇතුරූ පිරිසිදු අසුනක් වේ ද, යම් අසුනක් අවුත් සිටියවුන් බලා සිටියදීම අතුරණු ලැබේද, ඒ අසුන පරීක්‍ෂා නො කටයුතුය. එහි හිඳීම වරද නැත. මිනිස්සු තමන් අතින් මැඩ ‘ස්වාමීනි! මෙහි හිඳිනු මැනැවැ’යි යම් අසුනක් දෙත් ද, එහිද හිඳීම සුදුසුය. පළමුවම අවුත් හුන්නාහු පසුව පැමිණියවුන්ට ඉඩ දෙනු පිණිස උඩට හෝ පහළට හෝ යෙත් ද, එහිද පසුව පැමිණියවුන්ට පරීක්‍ෂා කිරීමක් නැත්තේය. යම් අසුනක් තුනී වතකින් අතුරන ලද්දේ යම්සේ තට්ටුව පෙනේ ද, මෙසේ අසන ලද්දේ වේ ද එහිද පරීක්‍ෂණයක් නැත්තේය. යම් අසුනක් පළමුකොටම උතුරුසළු කොඳුපලස් ආදියෙන් අතුරණ ලද්දේ වේ ද, එය අතින් පහසාම සලකා බලා හිඳිය යුතුය. මහාපච්චරියෙහි වනාහි ඝනවස්ත්‍රයකින් නමුදු ඇතුරූ කල්හි යම් අසුනෙක රැලි නො පෙනේ ද, එය පරීක්‍ෂා කටයුතුයයි කියන ලදී.
මූසල වස්තුවෙහි - ‘අසඤ්චිච්චො’ යනු වධ නො කරන සිත් ඇතියෙම්ය. ඒ විරුද්ධ ප්‍රයොගයක්මය. ‘අසඤ්චිච්චො අහං’ යනු එහෙයින් වදාළ සේක. උදුක්‍ඛල වස්තුව ප්‍රකටමය. ඛුඩ්ඪපබ්බජිත වස්තූන් අතුරෙහි ප්‍රථම වස්තුවෙහි භික්‍ෂු සඞ්ඝයාහට ප්‍රතිබන්‍ධයක් පලිබොධයක් නො කරවයි පහ කෙළේය. ද්විතීයවස්තුවෙහි සඟ මැද ද ගණ මැද ද මහලු තෙරහුගේ පුත්‍රයි කියනු ලබන්නේ ඒ වචනයෙන් පෙළෙනු ලබන්නේ මෙතෙමේ මැරේවා’යි බැහැර කෙළේය. තෘතීය වස්තුවෙහි ඔහුට දුක් ඉපදවීමෙන් ථුල්ලච්චය වේ.
එයින් අන්‍ය වූ වස්තු තුන ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය. විසගතපිණ්ඩපාත වස්තුවෙහි සාරාණීයධර්‍මය පුරණ ඒ භික්‍ෂු තෙමේ අග්‍රපිණ්ඩය සබ්‍රම්සරුන්ට දීලාම වළඳන්නේය. ‘අග්ගකාරිකං අදාසි’ යනු එහෙයින් වදාරණ ලදී. අග්ගකාරිකං යනු අග්‍රක්‍රියාය. පළමු ලද පිණ්ඩපාතය ඉතා අග්‍ර වූ හෝ ඉතා ප්‍රණීත වූ හෝ පිණ්ඩපාතය යන අර්‍ත්‍ථයි. ඔහුගේ දානසඞ්ඛ්‍යාත වූ යම් අග්‍ර ක්‍රියාවක් වේ ද, එය දෙන්නට නො හැකිය. හෙතෙමේ පිණ්ඩපාතය ථෙරාසනය පටන් දුන්නේය. ‘තෙ භික්‍‍‍ඛූ’ ථෙරාසනය පටන් වැළඳු පිණ්ඩපාතය ඇති ඒ භික්‍ෂූහුය. ඒ සියලු භික්‍ෂූහුම කලුරිය කළහ. මෙහි සෙස්ස ප්‍රකටමය. ශ්‍රද්ධා නැති මිත්‍ථ්‍යාදෘෂ්ටික වූ කුලයන්හි සකස් කළ ප්‍රණීත භොජනයක් ලැබ පරීක්‍ෂා නොකොට තමන් විසින්ම නො වැළඳිය යුතුය. අන්හට නො දිය යුතුය. පිළුනු වූ යම් බතක් හෝ කැවිල්ලක් හෝ එතැනින් ලැබේද, එ ද නො වැළඳිය යුතුය. නො වසා තැබූ වස්තුවක් සර්‍ප ගෝනුසු ආදීන් විසින් හෝනා ලද්දෙ හළයුතු ස්වභාවය ඇත්තේ වේ ද, එබඳු වස්තු ද ඒ කුලයෝ දෙන්නාහුය. ගඳ කහා ආදිය වැකුනා වූ පිණ්ඩපාතය ද නො පිළිගත යුතුය. ඒ කුලයෝ සිරුරෙහි රෝගස්ථාන පිස දමා තැබු බත ද දිය යුතුයි සිතන්නාහ.