ආනාපානස්සතිසමාධිකථා
‘අථ ඛො භගවා -පෙ- භික්ඛූ ආමන්තෙසි අයම්පි ඛො භික්ඛවෙ’ ආමන්ත්රණය කොට ද භික්ෂූන්ට රහත්බවට පැමිණීම පිණිස පෙර දේශනා කළ අශුභකර්මස්ථානයෙන් පිටත් අනික් කාරණයක් දේශනා කරණ සේක් ‘ආනාපානසතිසමාධි’ යනු වදාළ සේක.
දැන් යම්හෙයකින් භාග්යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට ශාන්තප්රණීත කර්මස්ථාන දක්වනු පිණිසම මේ පාළිය වදාරණ ලද්දීය. එහෙයින් නො පිරිහෙළා අර්ත්ථයොජනාක්රමය මෙහි වර්ණනා කරන්නෙමි. එහි පළමුකොට ‘අයම්පි ඛො භික්ඛවෙ’ යන මේ පදයාගේ මේ යොජනාය:- ‘මහණෙනි! හුදෙක් අශුභ භාවනාවම කෙලෙස් දුරු කිරීම පිණිස නො ද පවතියි. අනෙකුදු ඇත. ‘අයම්පි ඛො ආනාපානසති සමාධි -පෙ- වූපසම්මෙති’ යන
මෙහි මේ වනාහි අර්ත්ථවර්ණනාය:- ‘ආනාපානසති’ යනු ආශ්වාස ප්රශ්වාසයන් තදින් අල්ලාගත් සිහියය. පටිසම්භිදාවෙහි -
ආනං යනු ආශ්වාසයය. ප්රශ්වාසය නොවේ. අපානං යනු ප්රශ්වාසය. ආශ්වාසය නොවේ. ආශ්වාසය අරමුණුකොට එළඹසිටි සිහි තොමෝය. ඔහුට එළැඹ සිටි සිහි තොමෝය. යමෙක් ප්රශ්වාස කෙරේ ද, ඔහුට එළැඹ සිටීය’යි. මෙය කියන ලද්දේය.
සමාධි යනු ආනාපානය අරබයා පැවැති සිහිය සමග උපන් චිත්තෙකාග්රතාය. මේ දෙශනා තොමෝ සමාධිශීර්ෂයෙන් කරන ලද්දීය. ස්මෘතිශීර්ෂයෙන් නොකරන ලදය. එහෙයින් ආනාපාන ස්මෘතිය සමග යෙදී ගත් සමාධිය ආනාපානස්මෘතිසමාධි නම් වේ. ආනාපානස්මෘතියෙහි හෝ සමාධිය ‘ආනාපානසතිසමාධි’යි මෙසේ ද මෙහි අර්ත්ථ දතයුතුය. ‘භාවිතො’ උපදවන ලද්දේය. වඩන ලද්දේ ද වේ. ‘බහුලීකතො’ නැවත නැවත කරන ලද්දේය. ‘සන්තො චෙව පණීතො ච’ ශාන්ත ද ප්රණීත ද වේ. දෙතැන්හිම වූ එම ශබ්දයෙන් නියමය දතයුතුය. කුමක් කියන ලද්දේ වේ ද යත්: අශුකර්මස්ථානය යම් සේ හුදෙක් ධ්යානප්රතිවෙධ වශයෙන් ශාන්ත වූයේද ප්රණීත වූයේද ඖදාරික අරමුණක් බැවින්ද පිළිකුල් අරමුණක් බැවින්ද, අරමුණු වසයෙන් ශාන්ත නොවේමය. ප්රණීත නොවේමය. මේ ආනාපානසතිතොමෝ එසේ කිසි කරුණකින් ශාන්ත නොවූයේ හෝ ප්රණීත නො වූයේ හෝ නොවේ. වැලි කිම? ආලම්බනය පරමසුඛුම බවට පැමිණීමෙන් ශාන්ත බැවින් ද ශාන්ත වේ. අතිශයින් ශාන්ත වේ. නිවුනු සියලු පරිදාහ ඇත්තේ වේ. ප්රතිවෙධසඞ්ඛ්යාත අඞ්ගශාන්තභාවයෙන් ද ආලම්බන ප්රණීතභාවයෙන් ද ප්රණීතය. අතෘප්තිකරය. අඞ්ග ප්රණීතභාවයෙන් ද ප්රණීතය. අතෘප්තිකරය. ‘සන්තො චෙව පණීතො ච’යි එහෙයින් කියනලදී.
‘අසෙචනකො ච සුඛො ච විහාරො’ යන මෙහි වනාහි ශාන්ත ප්රණීතභාවය එළවන කිසි වැගිරීමක් මොහුට නැත්තේනුයි අසෙචනක නමි. වැගිරීමක් නැති බැවින් නොතෙත්ය. නොතෙත් බැවින් පරිකර්මාදියෙන් අසම්මිශ්රය. එහෙයින් වෙන්ව සිටියේය. අසාධාරණය. මෙහි පරිකර්මයෙන් හෝ උපචාරයෙන් හෝ ශාන්තභාවයක් නැත්තේය. මුල් මෙනෙහි කිරීමෙහි පටන් තමන්ගේ ස්වභාවයෙන්ම ශාන්ත ද ප්රණීත ද වේය, යන අර්ත්ථයි. උත්තරවිහාරවාසීහු ‘අසෙචනකො’ යන්නට ලං කොට ඉසීමෙන් නොතෙත් වූයේය. ඔදවත් වේ. ස්වභාවයෙන්ම මිහිරිය, යන අර්ත්ථ කියත්, මෙසේ මෙය අසෙචනක වූයේ ද සමවන් සමවන් කෙරෙහි කය සිත පිළිබඳ සැප ලැබීම පිණිස පවත්නා බැවින් සැපවූ විහරණ ඇත්තේය’යි වදතයුතුය.
‘උප්පන්නුප්පන්නෙ’ යටපත් නොකළ, යටපත් නොකළ. ‘පාපකෙ’ ලාමක වූ ‘අකුසලෙ ධම්මෙ’ අවිද්යාවෙන් හටගත් ධර්මයන්. ‘ඨානසො අන්තරධාපෙති’ ක්ෂණයකින්ම අතුරුදහන් කරයි. යටපත් කරයි. ‘වූපසමෙති’ මොනවට සන්සිඳුවයි. නිර්වෙධභාගීයභාවයෙන් හෝ පිළිවෙළින් ආර්ය්යමාර්ගයෙන් වැඩීමට පැමිණියේ මුළුමනින් සිඳලන්නේය. සන්සිඳුවා ලන්නේය යන අර්ත්ථයි.
‘සෙය්යථාපි’ යන මෙය උපමා දැක්වීමය. ‘ගිම්හානං පච්ඡිමෙ මාසෙ’ ඇසළ මාසයෙහි. ‘ඌභතං රජොජල්ලං’ අඩ මසෙහි සුළඟින් හා අව්වෙන් වියලී ගියා වූ ගොමහිසාදීන්ගේ පාපහරින් බිඳුනු පොළොවෙන් අහසට නැගි උඩට නැගි අහසෙහි පිහිටි රජස් හා රේණු ද ‘මහාඅකාලමෙඝො’ සියලු අහස තදින් පැතිර ගෙන නැගී සිටියා වූ ඇසළ මස පුරපසැ සියලු අඩමස මුළුල්ලෙහි වස්නා මෙඝය තෙමේ. ඒ මෙඝය වනාහි වැසිකාලය නොපැමිණියදීම හටගත් බැවින් අකාලමෙඝයයි මෙහි අදහස් කරන ලද්දේය. ‘ඨානසො අන්තරධාපෙති වූපසමෙති’ ක්ෂණයකින්ම නොදැක්වීමට පමුණුවයි. පොළොවෙහි හිඳුවාලයි. ‘එවමෙව ඛො’ යන මෙය උපමා ප්රතිපාදනයයි. එයින් මත්තෙහි කියූනයම වේ.
දැන් ‘කථං භාවිතො ච භික්ඛවෙ ආනාපානසතිසමාධි’ යන මෙහි කථං යනු ආනාපානසති සමාධි භාවනාව නොයෙක් අයුරින් විස්තර කරණු කැමැති පිළිවිසීමය. ‘භාවිතො ච භික්ඛවෙ ආනාපානසතිසමාධි’ යනු නොයෙක් අයුරින් විස්තර කරනු කැමැත්තෙන් විචාළ ධර්මයාගේ දැක්වීමය. දෙවන පදයෙහි ද මේනයම වේ. මේ වනාහි මෙහි සඞ්ක්ෂෙපාර්ත්ථයයි:- ‘මහණෙනි! කවර ප්රකාරයකින් කවර අයුරකින් කවර විධියකින් ආනාපානසතිසමාධිය වඩන ලද්දේ කවර ප්රකාරයකින් බහුල කරණ ලද්දේ ශාන්ත වේ ද -පෙ- ව්යපශමනය කෙරේදැ’යි
දැන් ඒ අර්ත්ථය විස්තර කරන සේක් ‘ඉධ භික්ඛවෙ’ යනාදිය වදාළ සේක. එහි ‘ඉධ භික්ඛවෙ භික්ඛු’ යන මෙහි ‘මහණෙනි! මේ ශාසනයෙහි මහණ තෙමේ යන අර්ත්ථයි. මෙහි මේ ඉධ ශබ්දයතෙමේ සර්වප්රකාරයෙන් ආනාපානසතිසමාධිය උපදවන පුද්ගලයා හට සංනිශ්රය වූ ශාසනය දක්වනසේක් තීර්ථකශාසනයෙහි පුද්ගලයාහට සංනිශ්රය වූ ශාසනය දක්වනසේක් තීර්ථකශාසනයෙහි තථාභාවය ප්රතිෂෙධය කරන සේක. මෙය ‘ඉධෙව භික්ඛවෙ සමණො -පෙ- සුඤ්ඤා පරප්පවාදා සමණෙහි අඤ්ඤෙ’යි වදාරණ ලද්දේය. එහෙයින් ‘ඉමස්මිං සාසනෙ භික්ඛු’ යනු ද වදාරණ ලදී.
‘අරඤ්ඤගතො වා -පෙ- සුඤ්ඤාගාරගතො වා’ යන මෙය මේ යෝගීහට ආනාපානසතිසමාධි භාවනාවට අනුරූප වූ සෙනසුන් ගැන්ම දැක්වීමය. මේ මහණහුගේ බොහෝ කලක් මුළුල්ලෙහි රූපාදී වූ අරමුණුවල විසුරුණු සිත ආනාපානසතිසමාධි අරමුණට නගින්නට කැමැති නොවේ. කුළුගොනකු යෙදූ රියක් මෙන් නොමගටම දුවන්නේය. එහෙයින් යම්සේ ගොපලුතෙමේ, කුළුදෙනකගේ කිරි බී වැඩුනු කුළුවසු දමනු කැමැත්තේ දෙනගෙන් ඈත් කොට එක් පසෙක බිම මහත් කණුවක් සිටුවා එහි යොතකින් බඳින්නේය, එකල්හි ඒ වසු ඈතට මෑතට පැන සැලී පලායන්නට නොහැක්කේ ඒ කණුව වෙතම හිඳින්නේ හෝ වේ ද, නිදන්නේ හෝ වේ ද, එපරිද්දෙන්ම මේ මහණහු විසින් ද බොහෝ කාලයක් මුළුල්ලෙහි රූපාරම්මණාදි රසපානයෙන් වැඩුනු දුෂ්ටචිත්තය දමනු කැමැත්තහු රූපාදිආරම්මණයන්ගෙන් ඈත් කොට වනයට හෝ -පෙ- ශුන්යාගාරයකට හෝ ඇතුල් කරවා එහි ආශ්වාස ප්රශ්වාස නැමැති කණුවෙහි ස්මෘති නැමැති යොතින් බැඳිය යුතුය. මෙසේ මේ මහණහුගේ සිත ඔබ මොබ සැලී ද පෙර පුරුදු අරමුණක් නො ලබන්නේ ස්මෘති නැමැති යොත සිඳපියා පැනයන්නට නොහැකි වන්නේ ඒ ආශ්වාස ප්රශ්වාස අරමුණ වෙතම උපචාර අර්පණා වශයෙන් එළැඹ හිඳීම ද කරයි. හොවීම ද කරයි. එහෙයින් පොරාණයෝ: