උදකට්ඨකථා
උදකට්ඨකථායෙහි - ‘උදකෙ නික්‍ඛිත්තං හොති’ රාජභයාදියෙන් බියපත් වූවන් විසින් දියෙන් නොනස්නා සැහැවි ඇති තඹලෝ බඳුන් ආදීන්හිලා මැනවින් පිළිසන්කොට වැව් පොකුණු ආදියෙහි ගලානොබස්නා දියෙහි බහාලන ලද්දේද, ඒ භාණ්ඩයට පිහිටි අවකාශයම ස්ථාන වේ. සියලුදිය ස්ථාන නොවේ. ‘ගච්ඡති වා ආපත්ති දුක්කටස්ස’ නොගැඹුරු දියෙහි පයින් යන්නහුට පියවරක් පියවරක් පාසා දුක්කට වේ. ගැඹුරු දියෙහි අත්වලින් හෝ පාවලින් හෝ අත්පාවලින් හෝ ප්‍රයෝග කරන්නහුට ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා දුක්කට වේ. සැළිය නගාගැනීම පිණිස දියෙහි ගැලීම් ඉපිලීම්හි මෙම ක්‍රමය වේ. ඉදින් වනාහි මේ අතර කිසි දිය නයෙකු හෝ සැඬමසෙකු හෝ දැක බියපැමිණියේ පලායේද, අනාපත්තිය වේ. ආමර්‍ශනාදියෙහිලා භූමිගතවූ සැළියෙහි කියූනයින්ම විනිශ්චය දතයුතුය. මේවනාහි විශෙෂය වේ: එහි බිම කැන යටින් අදියි. මෙහි මඩෙහි කිඳාබස්වයි. මෙසේ සයයුරකින් ස්ථාන පරිච්ඡෙදය වේ.
උපුල් පියුම්, හෙලපියුම් ආදීන් අතුරෙහි යම් පුෂ්පයක වස්තුව පිරේද, ඒ පුෂ්පය සිඳි ඇසිල්ලෙහි පාරාජිකය වේ. මෙහි උත්පල ජාතීන්ගේ එකද පසෙක්හි යම්තාක් එකද වැහැරියක් නොසිඳේද, ඒ තාක් රකියි. පද්ම ජාතීන්ගේ වනාහි පියුම්දඬුව සිඳිකල්හි ඇතුළත හුයක් නොසිඳ පැවැත්තේද, නොරකියි. හිමියන් විසින් සිඳතැබූ උත්පලාදීහු වෙත්ද යමක් පාරාජික වස්තුව පුරාද, ඒ පුෂ්පය ඉදුරූ ඇසිල්ලෙහි පාරාජිකය වේ. මල්දසයක් එක්කොට මිටි බඳින ලද්දේ යම් මිටියක පාරාජික වස්තුව පිරේද, ඒ මිටිය ඉදුරූ කල්හි පාරාජිකය වේ. මහත් මිටිකොට බඳින ලද්දාහු වෙත්ද, ඒ මහත් මිටිය උඩ යටදිග් හා සිවුදිගද යන සයයුරින් යම් අයුරකින් තුබූතැනින් පහකරන්නට බිමසිටි සැළියෙහි කියූ ලෙසින් පාරාජිකය වේ. දිග්දඬු ඇති උපුල් ආදීහු වෙත්ද, මල්වල හෝ දඬුවල වැටිකොට දියපිට රැහැන්හි තණ අතුරා තබත් හෝ බඳිත් හෝ ඔවුන්ගේ දිගින් මල් අගින්ද දඬු කෙළවරින්ද සරසද කෙළවරින් යට පිහිටි අවකාශයෙන්ද, උඩද මතුවෙහි සිටියහුගේ පිටින්දැයි සයයුරකින් ඨානාචාවනපරිච්ඡෙදය දතයුතුය.
යම් මහණ දියමතුපිට තැබූ මල්මිටියක් දිය සොලොවා රැළ ගනන්වා කෙසගක් පමණ නමුදු තුබූතැනින් පහකෙරේද, පාරාජික වේ. නැවත ‘මෙහි වූවක් ගන්නෙමි’යි තැන පිරිසිඳ කල්පනා කෙරේද, ඒ තාක් රකියි. ගියතැනදී එය උදුරාගන්නහුට පාරාජිකය වේ. දියෙන් ඉතා උඩට නැගුනු මලට දඬුව හා පැහැසී සිටි දිය සමග එකාබද්ධ වූ සියලු දිය ස්ථාන වේ. එය උපුටා සෘජුව උදුරන්නහුට මල් දඬුවෙහි කෙළවර කෙසඟක් පමණ දියෙන් ඉක්මුනු කල්හි පාරාජිකය වේ. මල් අල්ලාගෙන නවා අදිනුයේ උපුටාගනීද, දියස්ථාන නොවේ. උපුටාගත් ඇසිල්ලෙහි පාරාජිකය වේ. මිටිකොට බඳින ලද මල් දිය තිබෙන තැන හෝ රුකක හෝ ගසක හෝ බැඳතබත්ද, බැඳීම නොමුදා ඈත මෑත කරන්නහුට ථුල්ලච්චය වේ. බැඳීම බිඳීගිය කල්හි පාරාජිකය වේ. පළමු බැඳීම මුදාහැර පසුව ගෙනයේද, මෙහි සයයුරකින් ස්ථාන පරිච්ඡෙදය වේ. මෙදෙක මහාපච්චරී ආදියෙහි කියන ලද්දේය. පියුම් ගසෙහි හටගත් මල් පියුම් ගස සමග ගනු කැමැත්තහුට මල්නටුවෙන්ද, පත්නටුවෙන්ද, පැහැසූ ජලයෙහි වසයෙන් උඩ හා සරසද ස්ථානපරිච්ඡෙදයයි දතයුතුය. ඒ පියුම්ගස නොඋපුටා මල් හෝ පත් හෝ තමාට අභිමුඛව අදින්නාවූ මොහුට ථුල්ලච්චය වේ. උපුටාගත් ඇසිල්ලෙහි පාරාජිකය වේ.
මල් පත් නටු තුබූ තැනින් තොර නොකොටද පළමුකොට පියුම්ගස උපුටන්නහුට ථුල්ලච්චය වේ. පසුව මල් පත් නටු තුබූ තැනින් පහවූ කල්හි පාරාජිකය වේ. උපුටනලද පියුම් ගසෙහි මලක් ගන්නේ වනාහි භාණ්ඩය අගය කරවා කරවිය යුත්තේය. පිටත තැබූ රැස්කළ අතට තරම්වන සේ මිටිකොට බඳින ලද මලෙහිද මේ නයමවේ. නෙළුඹලක් හෝ නෙළුඹුදැල්ලක් හෝ යන යමකින් පාරාජිකවස්තුව පුරාද, එය උපුටන්නහුට පාරාජිකය වේ. මඩෙහි වැදීසිටි අවකාශය වසයෙන්ද මෙහි ස්ථානය පිරිසිඳිය යුතුය. ඒ පියුම් අල උදුරන්නහුට සියුම් මුලක් නමුදු නොසිඳුනේවේද, ඒතාක් රකියි. නෙළුඹල පුරුකෙහි හටගත් පත්‍රයක් හෝ පුෂ්පයක් හෝවේද, එද රකීයයි මහාඅර්‍ත්‍ථකථාවෙහිම කියන ලදී. නෙළුඹල ගැටයෙහි වනාහි යොවුන්බවට පැමිණියවුන්ගේ මුවපිළිකා මෙන් කටුවක්වේද, මෙය නොදිග් බැවින් නොරකියි. සෙස්ස උත්පලාදීන්හි කියූනය ඇත්තේමය.
සස්වාමික වූ මත්ස්‍යකච්ඡපයන්ට වැව් ආදියෙහි සියලු ජලය ස්ථානවේද, එහෙයින් යම් මහණෙක් පෝෂණය කරන තැනක සස්වාමික වූ මසෙකු බිලියකින් හෝ දැලකින් හෝ කුමිනකින් හෝ අතින් හෝ අල්ලාගනීද, ඒ මහණහුට යම් මසකු කරණකොට පාරාජික වස්තුව පිරේද, ඒ මසු කෙසගක් පමණකුදු දියෙන් උඩටගත් ඇසිල්ලෙහි පාරාජිකය වේ. කිසියම් මත්ස්‍යයෙක් අල්ලාගනු ලබන්නේ ඈත මෑත දුවාද, අහසට හෝ පනීද, ඉවුරෙහි හෝ වැටේද, අහසෙහි හෝ සිටි ඉවුරෙහි හෝ වැටුනු ඒ මසු අලාගන්නහුටද පාරාජිකයම වේ. පිටත ගොදුරු සොයාගිය කැස්බහුද අල්ලාගන්නහුටද, මෙම නයවේ. ජලයෙහි සිටියෙකු ජලයෙන් මුදන්නහුට පාරාජිකය වේ.