නාවට්ඨකථා
නාවට්ඨ කථාවෙහි, පළමුකොට නැව දක්වන්නේ ‘නාවා නාම යාය තරති’ යනු කීය. එහෙයින් මෙහි යටත්පිරිසෙයින් රඳන් දෙණද උණ ලීයෙන් කළ පහුරද නාවායි දතයුතුය. සීමාසම්මතයෙහිදී වනාහි නිතර හැසිරෙන නෞකා ඇතුළත කැන හෝ පුවරුවලින් බැඳ හෝ කරන ලද්දී යටත් පිරිසිඳීමෙන් තුන් දෙනෙකු උසුලන්නීම වටී. මෙහිවනාහි එකකු උසුලන්නීද නාවායි කියනු ලැබේ. ‘නාවාය නික්‍ඛිත්තං’ ඉන්‍ද්‍රියබද්ධ වූ හෝ ඉන්‍ද්‍රිය බද්ධ නොවූ හෝ යම්කිසිවක්වේද, එහි අවහාර ලක්‍ෂණය ඵලට්ඨයෙහි කියූනයින්ම දතයුතුය. ‘නාවං අවහරිස්සාමි’ යනාදියෙහිද දෙවැන්නෙකු සෙවීම සෑම පැහැසීම සෙලවීම යන මොවුහු කියූනය ඇත්තාහුම වෙත්. ‘බන්‍ධනං මොචෙති’ යන මෙහිවනාහි යම්තාක් බැම්ම මිදුනු ඇසිල්ලෙහි තුබූ තැනින් පහ නොවේද, ඒ නැවෙහි බැම්ම යම්තාක් නොමිදුනේවේද, ඒ තාක් දුක්කටය වේ. මිදුනු කල්හි වනාහි ථුල්ලච්චයද පාරාජිකයද වේ. එය ඉදිරියෙහි පහළ වන්නේය. සෙස්ස කියූනය ඇත්තේමය. මේවනාහි පාලිවර්‍ණනාය.
මෙහිවනාහි මේ පාලිමුක්තක විනිශ්චයයි: සැඩ දියපහරෙහි බැඳතැබූ නැවට එක් ස්ථානයක් වේ. ඒ නම් බැඳීමය. ඒ බැඳීම මිදුනු ඇසිල්ලෙහි පාරාජිකය වේ. එහි යුක්තිය මළපුඩුවෙහි බැඳි ශූකරයාගේ විනිශ්චයයෙහිලා කියන ලද්දීය. විෂමවාතාදියෙන් විනාශයට පැමිණ දියෙහි ගැලී පොළෝතලයට නොපැමිණ මැද සිටි නැව යම් යම් දිය පෙදෙසක් පැතිරගෙන සිටියාවේද, ඒ පෙදෙස මේ නැවට ස්ථානය වේ. එහෙයින් ඒ නැව උඩට හෝ ඔසොවා සොලොවන්නහුට, යටට හෝ ගිල්වන්නහුට, සිවුදිසාවෙහි හෝ පහසලද අවකාශය ඉක්මවන්නහුට ඉක්මුනු ඇසිල්ලෙහි පාරාජිකය වේ. නිශ්චල ජලයෙහි නොබැඳුනු තමන්ගේ සැහැවියෙන් සිටි නැව ඉදිරියෙන් හෝ පසුපසින් හෝ වම්දකුණුපසින් හෝ අදින්නහුට, එක් කෙළවරකින් පහසන ලද අවකාශය, දියෙහි පිහිටි අනික් කෙළවරින් ඉක්මුනු ඇසිල්ලෙහි පාරාජිකය වේ. උඩට කෙසඟක් පමණ දියෙන් මිදීසිටිකල්හි යට නැව්තෙලෙන් පහසනලද අවකාශය මුවවිට ඉක්මුනු ඇසිල්ලෙහි පාරාජිකය වේ. ඉවුරෙහි බැඳ නිශ්චල ජලයෙහි තැබූ නැවට බැඳීම හා නැව සිටි අවකාශයදැයි ස්ථාන දෙකක් වේ. ඒ නැව පළමුකොට බැඳුමෙන් මුදාද, ථුල්ලච්චය වේ. පසුව සයයුරෙන් එක්තරා අයුරකින් තුබූතැනින් පහ කෙරේද පාරාජිකය වේ. පළමුකොට තුබූතැනින් පහකොට පසුව බැඳීම මුදා හැරීමෙහිද මෙම නයවේ.
ගොඩබිමට නගා උඩහුරුකොට තැබූ නැවට පහසන ලද අවකාශයම ස්ථාන වේ. පස් අයුරකින් ඒ නැවෙහි ස්ථාන පරිච්ඡෙදය දතයුතුය. යටිහුරුකොට තැබූ නැවට වනාහි මුවවිටින් පවසනලද අවකාශයම ස්ථාන වේ. ඒ නැවෙහිද පස් අයුරකින් ස්ථාන පරිච්ඡෙදය දැන යම්කිසි තැනකින් පහසලද අවකාශය උඩට කෙසගක් පමණ ඉක්මුනු ඇසිල්ලෙහි පාරාජිකය දතයුතුය. ගොඩබිමට නගා දැවගැට දෙකක් මතුවෙහි තැබූ නැවෙහි ඒ දාරුඝටිකයන්ගේ පහස ලද අවකාශයම ස්ථාන වේ. එහෙයින් එහි ඇඳපා මතුවෙහිම එලූ බැඳුනු සළුවෙහිද නාගදන්තයන්හි තැබූ භිණ්ඩිවාලයෙහිද කියූනයින් විනිශ්චය දතයුතුය.
යොතින් බැඳි නැවෙහි වනාහි හැටහැත්තෑ බඹපමණ දිගයොත නොමුදාම ඇද පොළොවෙහි ලැගුනක්කොට යොත සමග ගොඩබිම තැබූ නැවට පැහැසූ අවකාශමාත්‍රයම ස්ථාන නොවේ. තවද යොතෙහි කෙළවර පටන් නැව පොළොවෙහි පිහිටි අවකාශය පිළිබඳ පශ්චිමාන්තය යම්තාක්ද, ඒතාක් දිගින්ද, සරස වනාහි නැව හා යොතද පොළොවෙහි පිහිටි කෙළවර පමණක් ස්ථානයයි දතයුතුය. ඒ නැව දිගින් හෝ සරසින් අදින්නහුට එක් කෙළවරකින් පහසලද අවකාශය, පොළොවෙහි පිහිටි අනික් කෙළවරින් ඉක්මුනු ඇසිල්ලෙහි උඩින් කෙසගක් පමණ යොත සමග පොළොවෙන් මිදුනු කල්හි පාරාජිකය වේ. යම් මහණෙක් තොට තුබූ නැවකට නැගී සොරසිත් ඇත්තේ රිටකින් හෝ පළුපතකින් හෝ පදීද, පාරාජික වේ. ඉදින්වනාහි කුඩය හෝ දිග හැර සිවුර හෝ පාවලින් පාගාගෙන අත්වලින් ඔසොවා රුවල සමාන කොට හුළං ගන්වාද බලවත් වාතයකින් නැව ගෙනයේද, වාතයෙන්ම ඒ නැව ගෙනයන ලද්දේ වේ. පුද්ගලයාහට අවහාරයක් නැත්තේය. ප්‍රයොගය ඇත්තේය. ඒවනාහි ඨානාචාවන ප්‍රයොගය නොවේ. ඉදින් වනාහි මෙසේ යන ඒ නැව පියවි ගමන සිඳදමා අන් දිසාභාගයකට පමුණුවාද, පාරාජික වේ. තෙමේම යම්කිසි ගම්තොටකට පැමිණි නැව තුබූතැනින් පහනොකරණුයේ විකුණායේද අවහාරයක් නැත්තේය. භණ්ඩදෙය්‍ය වේ.
නාවට්ඨකථා නිමි.
යානට්ඨකථා
යානට්ඨ කථාවෙහි, යානය පළමුකොට දක්වන්නේ ‘යානං නාම වය්හං’ යනාදිය කීය. එහි මතුවෙහි මණ්ඩපයක් වැනිවූ පුවරුවැසුම සියල්ල වෙළුනක්කොට හෝ වසා කරන ලද්ද වය්හ නම්වේ. දෙපස රන් රිදී ආදියෙන් කළ ගොනැස් දී ගුරුළු පියාපත් ලෙසින් කරන ලද්දී සන්‍දමානිකා නම්වේ. රියද ගැලද ප්‍රසිද්ධමය. ඒ යානයන් අතුරෙහි යම්කිසි යානයක සවිඤ්ඤාණක වූ හෝ අවිඤ්ඤාණක වූ රාසි ආදි වසයෙන් තැබූ භාණ්ඩයක් සොරසිතින් තුබූ තැනින් පහකරන්නහුට නාවට්ඨයෙහිද ථලට්ඨයෙහිද කියූනයින්ම පාරාජිකය දතයුතුය.
මේවනාහි විශෙෂය වේ: යානයෙහි තුබූ සහල්ආදී බඩුවක් පැසින් ගන්නහුට පැස නොඑසවූ කල්හිද, ඇසට පහරා සහල් ආදීන්ගේ එකටබැඳි බව වෙන්කළ කල්හිද පාරාජිකය වේ. ගොඩබිම තුබූ භාණ්ඩාදියෙහිද මේ නයලැබේ. ‘යානං අවහරිස්සාමි’ යානයක් සොර සිතින් ගන්නෙමියි යනාදියෙහි දෙවැන්නෙකු සෙවීම් ආදීහු කියනලදනය ඇත්තාහුමය. ‘ඨානා චාවෙති’ තුබූ තැනින් පහකෙරේය යන මෙහි වනාහි ගොනුන් දෙදෙනෙකු යෙදූ යානයට, ගොනුන් දෙදෙනාගේ පාඅටද රියසක් දෙකදැයි ස්ථාන දසයෙක් වේ. වියගසෙහි හිඳ ඒ යානය පදවන්නාවූ සොරසිත් ඇති මහණහුට ගොනුන්ගේ පානැගීමෙහිදී ථුල්ලච්චය වේ. පොළොවෙහි පිහිටි පෙදෙසින් රෝද දෙක කෙසගක් පමණ ඉක්මුනු කල්හි පාරාජිකය වේ. ඉදින්වනාහි ගොන්නු ‘මෙතෙමේ අපගේ හිමියා නොවන්නේය’යි දැන වියගස හැරපියා අදිමින් යම්තාක් සිටිත් හෝ වෙත්ද, සොලවත් හෝ වෙත්ද, ඒතාක් රකියි. ගොනුන් නැවත කෙලින් සිටුවා පිළියෙල කොට වියගස නන්වා දැඩිකොට යොදා කැවිටෙන් ඇන පදවන මහණහුට කියූ ලෙසින්ම ඒ ගොනුන්ගේ පානැගීමෙහිදී ථුල්ලච්චය වේ. රියසක් පොළොවෙහි පිහිටි පෙදෙසින් කෙසගක් පමණකුදු ඉක්මනු කල්හි පාරාජිකය වේ.