යානට්ඨකථා
යානට්ඨ කථාවෙහි, යානය පළමුකොට දක්වන්නේ ‘යානං නාම වය්හං’ යනාදිය කීය. එහි මතුවෙහි මණ්ඩපයක් වැනිවූ පුවරුවැසුම සියල්ල වෙළුනක්කොට හෝ වසා කරන ලද්ද වය්හ නම්වේ. දෙපස රන් රිදී ආදියෙන් කළ ගොනැස් දී ගුරුළු පියාපත් ලෙසින් කරන ලද්දී සන්දමානිකා නම්වේ. රියද ගැලද ප්රසිද්ධමය. ඒ යානයන් අතුරෙහි යම්කිසි යානයක සවිඤ්ඤාණක වූ හෝ අවිඤ්ඤාණක වූ රාසි ආදි වසයෙන් තැබූ භාණ්ඩයක් සොරසිතින් තුබූ තැනින් පහකරන්නහුට නාවට්ඨයෙහිද ථලට්ඨයෙහිද කියූනයින්ම පාරාජිකය දතයුතුය.
මේවනාහි විශෙෂය වේ: යානයෙහි තුබූ සහල්ආදී බඩුවක් පැසින් ගන්නහුට පැස නොඑසවූ කල්හිද, ඇසට පහරා සහල් ආදීන්ගේ එකටබැඳි බව වෙන්කළ කල්හිද පාරාජිකය වේ. ගොඩබිම තුබූ භාණ්ඩාදියෙහිද මේ නයලැබේ. ‘යානං අවහරිස්සාමි’ යානයක් සොර සිතින් ගන්නෙමියි යනාදියෙහි දෙවැන්නෙකු සෙවීම් ආදීහු කියනලදනය ඇත්තාහුමය. ‘ඨානා චාවෙති’ තුබූ තැනින් පහකෙරේය යන මෙහි වනාහි ගොනුන් දෙදෙනෙකු යෙදූ යානයට, ගොනුන් දෙදෙනාගේ පාඅටද රියසක් දෙකදැයි ස්ථාන දසයෙක් වේ. වියගසෙහි හිඳ ඒ යානය පදවන්නාවූ සොරසිත් ඇති මහණහුට ගොනුන්ගේ පානැගීමෙහිදී ථුල්ලච්චය වේ. පොළොවෙහි පිහිටි පෙදෙසින් රෝද දෙක කෙසගක් පමණ ඉක්මුනු කල්හි පාරාජිකය වේ. ඉදින්වනාහි ගොන්නු ‘මෙතෙමේ අපගේ හිමියා නොවන්නේය’යි දැන වියගස හැරපියා අදිමින් යම්තාක් සිටිත් හෝ වෙත්ද, සොලවත් හෝ වෙත්ද, ඒතාක් රකියි. ගොනුන් නැවත කෙලින් සිටුවා පිළියෙල කොට වියගස නන්වා දැඩිකොට යොදා කැවිටෙන් ඇන පදවන මහණහුට කියූ ලෙසින්ම ඒ ගොනුන්ගේ පානැගීමෙහිදී ථුල්ලච්චය වේ. රියසක් පොළොවෙහි පිහිටි පෙදෙසින් කෙසගක් පමණකුදු ඉක්මනු කල්හි පාරාජිකය වේ.
ඉදින් මඩ සහිත මගෙහි එක් සකක් මඩෙහි එරුණේවේද, දෙවන සක ගොනුන් පෙරළමින් අදිත්ද, එක් සකක් සිටි බැවින් අවහාරයක් නොවේ. ගොනුන් කෙළින් සිටිනසේ පිළියෙලකොට පදවන මහණහුට පිහිටා සිටි සක පැහැසූ පෙදෙසින් කෙසගක් පමණ ඉක්මවූ කල්හි පාරාජිකය වේ. ගොනුන් අටදෙනකු යෙදූ යානයට, සිවුතිසෙකැයි මේ උපායයෙන් ගොනුන් යෙදූ යානය පිළිබඳ ස්ථානභෙදය දතයුතුය.
ගොනුන් නොයෙදූ යම් ස්ථානයක් වියගසෙහි ඉදිරිපස හා පසුපස පිටිවහල්දඬු එකකින් හා පිටිවල්දඬු දෙකකින් රුකුල් දී තබන ලද්දේද, ඒ යානයට රුකුල්දුන් තුන්දඬුකඩ හා දෙසක්හුගේ වසයෙන් පස්තැනක් වේ. ඉදින් වියගසෙහි රුකුල්දඬුව යටපෙදෙසෙහි යම්සේ දෙකොටසකින් යට පිහිටාද, ස්ථාන සයක් වේ. පසුපසින් රුකුල් නොදී වියගසෙහි රුකුල් දෙන ලද්දහුගේම රුකුල්දීම් වසයෙන් ස්ථාන තුනක් හෝ සතරක් වේ. වියගසින් පුවරුයෙක හෝ දැවක හෝ මතුවෙහි තබන ලද්දහුට ස්ථාන තුනක් වේ. පොළොවෙහි තැබූ යානයට එසේය. ඒ යානය ඇද හෝ ඔසවා ඉදිරිපසින් හා පසුපසින්ද තුබූතැනින් පහකරන්නහුට ථුල්ලච්චය වේ. සක් පිහිටිතැන කෙසගක් පමණ ඉක්මුනු කල්හි පාරාජිකය වේ. සක් බැහැරකොට දෙඅක්හිසින් දැවමතුවෙහි තැබූ යානයට ස්ථාන දෙකක් වේ. ඒ යානය අදිනුයේ හෝ ඔසවනුයේ හෝ පැවැසූ අවකාශය ඉක්මවාද පාරාජිකය වේ. බිම තැබු යානයට වියගසින්ද ගැල්බා දෙකෙහි අක්දඬු ශක්තිමත් කරනු පිණිස දෙඇඟිලි මෙන් වැද්දූ දැව ඇණ සතරින්ද පිහිටා සිටීම් වශයෙන් ස්ථාන පසක් වේ. වියගස අල්ලාගෙන ඒ යානය අදින මහණහුට ඒ ඇණවල පැසුළු කෙළවරින් පළමුකෙළවර ඉක්මනු කල්හි පාරාජිකය වේ. ඇණ අල්ලාගෙන අදින මහණහුට ඇණවල ඉදිරිකෙළවරින් පැසුළුකෙළවර ඉක්මනුකල්හි පාරාජිකය වේ. ඒ ඒ පාර්ශවයන් ගෙන අදින මහණහුට ඇණවලම සරස පිහිටි තැන ඉක්මීමෙන් පාරාජිකය වේ. මැදින් අල්ලාගෙන ඔසවන මහණහුට කෙසඟක් පමණ පොළොවෙන් මිදුනු කල්හි පාරාජිකය වේ. නැවත උද්ධිකණු නොවේද, සමවම බාහුවකොට මැදින් විද අක්හිස් වද්දන ලද්දේවේද, ඒ යානය යටතලයෙහි හාත්පසින් සියලු පොළොව පහසා සිටීද, එහි සිවුදිසාවෙහි උඩද පැහැසූ තැන් ඉක්මීම් වසයෙන් පාරාජිකය වේයයි දතයුතුය. නැබින් පොළොවෙහි තැබූ සකටයට එක්ම ස්ථානයක් වේ. එහි පිරිසිඳීම පස්අයුරකින් වේ. නිම්වළලු පසින්ද නැබින්ද පහසා සිටි සකටයට ස්ථාන දෙකක් වේ. නිම්වළල්ලෙන් නැගීසිටි පෙදෙස පයින් පාගා බිම පහසවා අර හෝ නිම්වළල්ල හෝ අල්ලාගෙන ඔසවන්නහුට තමන් පෑගුතැන ස්ථාන නොවේ. එහෙයින් එහි සිටි කල්හිද සෙසු තැන් ඉක්මුනු ඇසිල්ලෙහි පාරාජිකය වේ.