භාරට්ඨකථා
මෙයින් මතු භාරයම භාරට්ඨ නම්වේ. ඒ භාරය. සීසභාරාදීන්ගේ වසයෙන් සිවුපරිද්දෙකින් දක්වන ලද්දේ වේ. එහි සීසභාරාදියෙහි නොමුළාබව පිණිස ශීර්‍ෂාදීන්ගේ පිරිසිඳීම මෙසේ දතයුතුය. එහි හිස පිළිබඳ ඉදිරියෙහි බෙල්ලෙන් මතු ගලවළුය. කිසිවකුන්ගේ බෙල්ලෙහි පිටිපස කෙසයන්ගේ කෙළවර සුළියක් වේ. බෙල්ලෙහිම දෙපස කිසිවකුන්ගේ කෙසයෝත් පහතට බැස හටගනිත්. ඔවුහු කර්‍ණචූළිකායි කියනු ලබත්. ඔවුන්ගේ යට කොටසදැයි මේ යටපසින් පිරිසිඳීමය. එයින් උඩ හිසය. මේ අතර සිටි භාරය සීසභාර නම්වේ.
දෙපස කන්සිළුපටන් යට, වැලමිටපටන් උඩ, බෙල්ලෙහි පිට මැදසුළිය පටන්ද, ගලවළුයෙහි පටන්ද යට, පිට මැද සුළිය පටන්ද, උරහිස පිරිසිඳීම පිළිබඳ මැද හෘදයාවාටය පටන්ද, මතුයෙහි ස්කන්‍ධයයි. මේ අතර සිටි භාරය ඛන්‍ධභාර නම්වේ.
පිටමැද සුළියෙන්ද හෘදයාවාටයෙන්ද පටන්, යට පානිය සිළුව දක්වා වූ පෙදෙස කටිය පිළිබඳ පිරිසිඳීමය. මේ අතර හාත්පස සිරුරෙහි සිටි භාරය කටිභාර නම්වේ.
වැලමිට පටන් යට අත්නියසිළු දක්වා වූ මේ පෙදෙස ඔලම්බකපරිච්ඡෙදයයි. මේ අතර සිටිභාරය ඔලම්බක නම්වේ.
දැන් ‘සීසභාරං’ යනාදි තන්හි පෙර නොකියූ මේ විනිශ්චය වේ. යම් මහණෙක් ‘මෙය ගෙන මෙහි යව’යි අයිතිකරුවන් විසින් නොඅණවන ලදුයේ, තෙමේම ‘මට මෙනම් භාණ්ඩය දෙවු, මම තොපගේ භාණ්ඩය උසුලමි’යි ඔවුන්ගේ භාණ්ඩය හිසින් ගෙන යනුයේ සොරසිතින් ඒ භාණ්ඩය පහසාද, දුක්කටය වේ. පෙර කියූ සීසපරිච්ඡෙදය නොඉක්මවන්නේම හිසෙන් නොඔසවමින්ම ඈත මෑත ගටමින් හසුරුවාද, නැවත නැවත හසුරුවාද, ථුල්ලච්චය වේ. කරට බාගත් ඇසිල්ලෙහි ‘උසුලාවා’යි අයිතිකරුවන්ට සිතක් ඇත්තේද, ඔවුන් විසින් ඒ පිණිස නොඅණවනලද බැවින් පාරාජිකය වේ. කරට නොනගාම හිසින් කෙසගක් පමණ මුදන්නහුට පාරාජිකය වේ. බර දෙකක් අතුරෙහි එක් බරක් හිසෙහිද එක් වරක් පිටෙහිද පිහිටියේ වේ. එහි දෙතැනක්හුගේ වසයෙන් විනිශ්චය දතයුතුය. මේවනාහි සුද්ධසීසභාරාදීන්ගේ වසයෙන්ම දේශන අරඹන ලද්දීය. යම් මේ විනිශ්චයක් සීසභාරයෙහි කියන ලද්දේද, බන්‍ධභාරාදියෙහිද මේ විනිශ්චය වේ.
‘හත්‍ථෙ භාරං’ යන මෙහි වනාහි අතින්ගත් බැවින් එල්බෙන බර, අතෙහි බරැයි කියන ලද්දේය. ඒ අතෙහි වූ බර, පළමුකොටම බිමින් හෝ ගන්නා ලද්දේ වේවා, පිරිසිදු සිතින් සීසාදියෙන් හෝ ගන්නා ලද්දේ වේවා, අතෙහි බරැයි කියාම ගිනීමට යන්නේය. ඒ අතෙහි බර සොරසිතින් එබඳු වූ ග්‍රහණස්ථානයක් දැක බිම හෝ ගස් ආදීන් අතුරෙහි හෝ තබන්නහුට අතින් මිදුනු ඇසිල්ලෙහි පාරාජිකය වේ. ‘භූමිතො ගණ්හාති’ යන මෙහිවනාහි ඒ බරඅතුරෙහි යම්කිසිවක් උදය වැළඳීම් ආදී වූ කරුණක් හේතුකොට පිරිසිදු සිතින් බිම තබා නැවත සොර සිතින් කෙසගක් පමණ නගාගන්නහුට පාරාජිකය වේ.
භාරට්ඨකථා නිමිය.
ආරාමට්ඨකථා
ආරාමට්ඨකථායෙහිද - ආරාමය පළමුකොට දක්වන්නේ, ‘ආරාමො නාම පුප්ඵාරාමො ඵලාරාමො’ යනු කීයේය. ඔවුනතුරෙහි සීනිද්ද ආදීන්ගේ මල් පිපෙනුයේ පුෂ්පරාම නම්වේ. ආම්‍රඵලාදීන් පලගැනෙන පෙදෙස ඵලාරාම නම්වේ. ආරාමයෙහි සිවුතැනෙකින් තැබූ භාණ්ඩයේ විනිශ්චය භුම්මට්ඨාදියෙහි කියූනයම වේ.
එහි හටගත්තෙහි වනාහි ‘මූලං’ යනු සුවඳට ඉරිවෙරාදී වූ යම්කිසි මූලෙකි. එය උපුටා හෝ උපුටන ලද්දක් හෝ ගන්නහුට යම් මූලකින් පාරාජික වස්තුව පිරේද, එය ගත්කල්හි පාරාජිකය වේ. අලයද මූල යන වචනයෙන්ම සඞ්ග්‍රහ කරන ලද්දේය. උපුටන්නහුටද මෙහි ස්වල්පමාත්‍රයක් නමුත් නොසිඳුනුකල්හි ථුල්ලච්චයම වේ. එහි විනිශ්චය නෙළුඹලයෙහි කියූනයින් දතයුතුය. ‘තචං’ යනු බෙහෙත් පිණිස හෝ සිවුරු රඳන් පිණිස හෝ ප්‍රයෝජනයට ගැනීමට සුදුසු යම්කිසි රුක්සුඹුලෙකි. එය උපුටා හෝ උපුටන ලද්දක් හෝ ගන්නහුට මූලයෙහි කියූනයින් පාරාජිකය වේ. ‘පුප්ඵං’ යනු දසමන් බෝලිද්ද ආදීවූ යම්කිසි මලෙකි. එය නෙලා හෝ නෙලන ලද්දක් හෝ ගන්නහුට උපුල් පියුම්හි කියූනයින් පාරාජිකය වේ. මල්වල නටුව හෝ බැඳීම හෝ නොසිඳුනේනම් රකියි. කිසියම් මලක නටුව තුළ හිද්දක්වේද, ඕතොමෝ ඔහු නොදරකියි. ‘ඵලං’ යනු අඹඵල තල්ඵල ආදීවූ යම්කිසි ඵලයකි. එය රුකකින් නෙලාගන්නහුගේ විනිශ්චය රුකෙහි එල්ලූ බඩු පොදි ආදිය පිළිබඳ කථාවෙහි කියන ලද්දේය. බැහැරකොට තබන ලද්ද භුම්මට්ඨාදියෙහි සඞ්ග්‍රහ කරන ලද්දේමය.
‘ආරාමං අභියුඤ්ජති’ යනු අන්සතුවූවක් ‘මෙය මා සතුය’යි බොරු කියා අන්සතු බව දැන දැන තමන් සතුයයි යුක්තිබැණ අයත් කරගනු පිණිස සොරසිතින් සහායභාවාදිය පිණිස දෙවැන්නෙකු සෙවීම් වසයෙන් අභියෝග කෙරේද, අදින්නාදානයෙහි ප්‍රයොග බැවින් දුක්කටය වේ. ‘සාමිකස්ස විමතිං උප්පාදෙති’ විනිශ්චයෙහි දක්‍ෂබැවින් හෝ බලවතුන් ඇසුරු කිරීම් ආදියෙන් හෝ අරම්හිමියා හට සැක උපදවා යනුයි. කෙසේදයත්: එසේ විනිශ්චයෙහි යෙදුනු ඔහු දැක අරම්හිමිතෙමේ මෙසේ සිතයි. ‘මම මේ ආරාමය තමන් සතු කරගන්නට හැකිවන්නෙම්ද නොහැකි වන්නෙම්දැයි මෙසේ ඔහුට උපදින විමතිය ඔහු විසින් උපදවන ලද්දී වන්නීය. එහෙයින් ථුල්ලච්චයට පැමිණේ.