ආරාමට්ඨකථා
ආරාමට්ඨකථායෙහිද - ආරාමය පළමුකොට දක්වන්නේ, ‘ආරාමො නාම පුප්ඵාරාමො ඵලාරාමො’ යනු කීයේය. ඔවුනතුරෙහි සීනිද්ද ආදීන්ගේ මල් පිපෙනුයේ පුෂ්පරාම නම්වේ. ආම්රඵලාදීන් පලගැනෙන පෙදෙස ඵලාරාම නම්වේ. ආරාමයෙහි සිවුතැනෙකින් තැබූ භාණ්ඩයේ විනිශ්චය භුම්මට්ඨාදියෙහි කියූනයම වේ.
එහි හටගත්තෙහි වනාහි ‘මූලං’ යනු සුවඳට ඉරිවෙරාදී වූ යම්කිසි මූලෙකි. එය උපුටා හෝ උපුටන ලද්දක් හෝ ගන්නහුට යම් මූලකින් පාරාජික වස්තුව පිරේද, එය ගත්කල්හි පාරාජිකය වේ. අලයද මූල යන වචනයෙන්ම සඞ්ග්රහ කරන ලද්දේය. උපුටන්නහුටද මෙහි ස්වල්පමාත්රයක් නමුත් නොසිඳුනුකල්හි ථුල්ලච්චයම වේ. එහි විනිශ්චය නෙළුඹලයෙහි කියූනයින් දතයුතුය. ‘තචං’ යනු බෙහෙත් පිණිස හෝ සිවුරු රඳන් පිණිස හෝ ප්රයෝජනයට ගැනීමට සුදුසු යම්කිසි රුක්සුඹුලෙකි. එය උපුටා හෝ උපුටන ලද්දක් හෝ ගන්නහුට මූලයෙහි කියූනයින් පාරාජිකය වේ. ‘පුප්ඵං’ යනු දසමන් බෝලිද්ද ආදීවූ යම්කිසි මලෙකි. එය නෙලා හෝ නෙලන ලද්දක් හෝ ගන්නහුට උපුල් පියුම්හි කියූනයින් පාරාජිකය වේ. මල්වල නටුව හෝ බැඳීම හෝ නොසිඳුනේනම් රකියි. කිසියම් මලක නටුව තුළ හිද්දක්වේද, ඕතොමෝ ඔහු නොදරකියි. ‘ඵලං’ යනු අඹඵල තල්ඵල ආදීවූ යම්කිසි ඵලයකි. එය රුකකින් නෙලාගන්නහුගේ විනිශ්චය රුකෙහි එල්ලූ බඩු පොදි ආදිය පිළිබඳ කථාවෙහි කියන ලද්දේය. බැහැරකොට තබන ලද්ද භුම්මට්ඨාදියෙහි සඞ්ග්රහ කරන ලද්දේමය.
‘ආරාමං අභියුඤ්ජති’ යනු අන්සතුවූවක් ‘මෙය මා සතුය’යි බොරු කියා අන්සතු බව දැන දැන තමන් සතුයයි යුක්තිබැණ අයත් කරගනු පිණිස සොරසිතින් සහායභාවාදිය පිණිස දෙවැන්නෙකු සෙවීම් වසයෙන් අභියෝග කෙරේද, අදින්නාදානයෙහි ප්රයොග බැවින් දුක්කටය වේ. ‘සාමිකස්ස විමතිං උප්පාදෙති’ විනිශ්චයෙහි දක්ෂබැවින් හෝ බලවතුන් ඇසුරු කිරීම් ආදියෙන් හෝ අරම්හිමියා හට සැක උපදවා යනුයි. කෙසේදයත්: එසේ විනිශ්චයෙහි යෙදුනු ඔහු දැක අරම්හිමිතෙමේ මෙසේ සිතයි. ‘මම මේ ආරාමය තමන් සතු කරගන්නට හැකිවන්නෙම්ද නොහැකි වන්නෙම්දැයි මෙසේ ඔහුට උපදින විමතිය ඔහු විසින් උපදවන ලද්දී වන්නීය. එහෙයින් ථුල්ලච්චයට පැමිණේ.
‘ධුරං නික්ඛිපති’ යම්කලෙක වනාහි හිමිතෙමේ ‘මෙතෙමේ තදය, කැකුළුය, මාගේ ජීවිතයට හා බ්රහ්මචර්ය්යයට අනතුරු කරන්නේය, දැන් මට මේ ආරමයෙන් කම්නැතැ’යි ධුරනිඃක්ෂෙප කෙරේද චොදක තෙමේ පාරාජිකාවට පැමිණේ. ඉදින් තෙමේත් කළ ධුරනිඃක්ෂෙප ඇත්තේවේද, තවද හිමියා විසින් ධුරනිඃක්ෂෙපය කළ කල්හිද, චොදක තෙමේ ධුරය නිඃක්ෂෙප නොකොටම ‘මොහු මොනවට පෙළ මාගේ අණ පැවැත්ම දක්වා කුම්කරම්දැයි විචාරන්නෙකුගේ තත්ත්වයෙහි ඔහු තබාදෙන්නෙමි’යි දියයුතුබැව්හි උත්සාහසහිතවේද, ඒතාක් රකියි. නැවතත් චොදකතෙමේ අසිඳැ ‘දැන් මොහුට එය නොදෙන්නෙමි’යි ධුරනිඃක්ෂෙපය කෙරේද, හිමිතෙමේ ධුරනිඃක්ෂෙපය නොකෙරේද, පක්ෂයක් සොයාද, ලජ්ජි පිරිසක් ලබම්ද, පසුව දැනගන්නෙමියි ඒතාක් කල්බලා ඉඳීද, නැවත ගැනීමෙහිම උත්සාහ ඇත්තේවේද, රකීමය. යම්කලෙක වනාහි හෙතෙමේද ‘නොදෙන්නෙමි’යිද හිමිතෙමේත් ‘නොලබමි’යිද මෙසේ දෙදෙනම ධුරය බහාතබත්ද, එකල්හි චොදකයා හට පාරාජිකය වේ. නැවත අභියොගකොට විනිශ්චය කරන්නේ විනිශ්චය නොනිම්කල්හි හිමියා විසිනුදු ධුරනිඃක්ෂෙපය නොකළ කල්හි තමන්ගේ අස්වාමිකභාවය දන්නේම එයින් කිසිමලක් හෝ ඵලයක් හෝ ගනීද, බඩුවෙහි අගය විසින් කරවිය යුත්තේය.
‘ධම්මං චරන්තො’ භික්ෂුසඞ්ඝයාගේ සමීපයෙහි හෝ රාජකුලයෙහි හෝ විනිශ්චය කරන්නේ. ‘සාමිකං පරාජෙති’ විනිශ්චය කරන්නවුන්ට අල්ලස් දී කූටසාක්ෂි බස්වා අරම්හිමියා දිනාය යන අර්ත්ථයි. ‘ආපත්ති පාරාජිකස්ස’ පාරාජිකාපත්තිය වන්නීය. හුදෙක් ඔහුටම නොවේ. දැන සිතා ඔහුගේ අර්ත්ථ සිද්ධියෙහි පැවති කූටවිනිශ්චයෙහි නියුක්ත විනයධරයන්ටද, කුට සාක්ෂිකයන්ටද, යන සියල්ලන්ට පාරාජිකය වේ. මෙහිද හිමියාගේ ධුරනිඃක්ෂෙප වශයෙන්ම පරාජය දතයුතුය. අත්නොහළ ධුරය ඇත්තේ නොපරදවන ලද්දේම වේ. ‘ධම්මං චරන්තො පරජ්ජති’ ඉදින් ධර්මයෙන් විනයෙන් ශාස්තෲ ශාසනයෙන් විනිශ්චය පැවති බැවින් තෙමේ පරාජයට පැමිණේද, මෙසේද මුසාවාදයෙන් හිමියන්ට පීඩාකිරීම හේතුවෙන් ථුල්ලච්චයට පැමිණේ.
ආරාමට්ඨකථා නිමි.
විහාරට්ඨකථා
විහාරට්ඨ කථාවෙහිද - සිවු තැනින් බහා තැබූ භාණ්ඩය කියූනය ඇත්තේමය. යුක්ති කියා පෑමෙහිදී සිවුදිසා වැසි සඞ්ඝයා උදෙසා භික්ෂූන්ට දෙනලද මහත්වූද කුඩාවූද විහාරයකට හෝ විහාරය තුළ වෙන් වෙන්ව පවුරින් වටකළ තැනකට හෝ මහත්වූද කුඩාවූද ආවාසයකට හෝ යුක්තිය කියාපාන්නහුගේ යුක්තිය කියාපෑම නොනගියි. අසිඳ ගන්නටද නොහැකි වේ. කුමහෙයින්දයත්: සියල්ලන් පිළිබඳ ධුරනිඃක්ෂෙපය නොකෙරෙත් යයි දීර්ඝභාණකාදි භෙද ඇති ගණයක් සතුවූවකට හෝ එක් පුද්ගලයක් හට සතුවූවකට හෝ යුක්තිය කියා පාන්නේ ඔවුන්ලවා ධුරනිඃක්ෂෙප කරවන්නට හැකිවේද, එහෙයින් එහි ආරාමයෙහි කියූනයින් විනිශ්චය දතයුතුය.